විශේෂාංග

ආනන්දේදි ගෝඨාභය පෙරළාගෙන දෝසි කෑවෙමු

මෙයට අඩසිය වසරකටත් පෙර මා ආනන්ද බෝඩිමට ඇතුළු වූ දවස මට අද මෙන් මතකය. ඇඳුම් පැලඳුම් ලස්සනට අඩුක්කරන ලද ට්‍රන්ක් පෙට්ටියත් රැගෙන මගේ තාත්තා සමග “කනිෂ්ඨ බී” ඩෝමැට්‍රියට මා ඇතුළු වන විට එවැනිම තාත්තලා හා අම්මලා විස්සක් පමණ තම තමන්ගේ පුංචි පුතාලා සමග එහි පැමිණෙමින් සිටියහ.

මාව බෝඩිම් පාලක (පසුව විදුහල්පති) රාජපක්‍ෂ සර්ට භාරදී තාත්තා ආපසු ගිය පසු මට ඇති වූයේ මහා දුකකි. ඉමහත් පාළුවකි. හා පුරා කියා ආනන්දයට ඇතුළු වූ කාමරේ අනෙක් යාළුවන්ද තමන්ගේ දෙමව්පියන් පිටවූ පසු එවැනිම පාළුවකින් හා දුකකින් සිටිනවා මට පෙනුණි.

නමුත් මගේ අල්ලපු ඇඳට අලුතින් ආ අලුත් යහළුවාට එවැනි පාළුවක් නැති බව මට දැනුණේ සීනියර් ඩෝමැට්‍රියක සිටි ඔහුගේ අයියා තම මල්ලිගේ තනිවට සිටි නිසාය. පුංචි මල්ලිගේ ට්‍රන්ක පෙට්ටිය ඇඳ යටට දැමූ ඔහු දත් බෙහෙත්, බුරුසුව වෙනම තැන්පත් කරමින් පුංචි මල්ලිට ඔවදන් දුන්නේ මෙසේය.

“මල්ලි ගෙදරදී වගේ බැහැ. උදේ 5.30 ට තමයි නැගිටින්න බෙල් එක ගහන්නේ. කාමරේ ඔක්කෝම බාත්රූම් එකට යන්න ඉඩ මදි එක වෙලාවට. ඒ හින්දා බෙල් එකට විනාඩි 20කට විතර කලින් එලාම් එක තියලා නැගිටලා කාටත් කලින් මූණ හෝදා ගන්න.”
මතක තියා ගන්න, ඇඳෙන් නැගිට්ට ගමන් ලස්සනට ඇඳ හදන්න ඕනා.” මේ ලොකු අයියා තම පුංචි මල්ලිට කියන දේවලට හොරෙන් ඇහුම්කන් දෙමින් බෝඩිමේ පිළිපැදිය යුතු නීතිරීතී මමත් වටහා ගතිමි.

ලංකාවෙ උසස්ම බෞද්ධ විදුහලට ඇතුළත් වූ මට සතුටට වඩා ඇත්තේ පාළුව කාන්සිය හා දුකය. අල්ලපු ඇඳට ආ අලුත් ළමයාගේ අයියාත් දැන් තමන්ගේ ඩෝමැට්‍රියට ආපසු ගොසින්ය. ඔහු මා මෙන්ම තනිවී වටපිට බලන සෙයකි. මම ධෛර්ය උපදවා ඔහු ළඟට කිට්ටු වුණෙමි.
‘‘ඔයාගේ නම මොකක්ද? ගම කොහේද? මගේ නම රෝහණ. ගම ඉතින් මාතර තමා.’’
මාතරෙන් හැතැප්ම 50ක් ඈත හිටියත් අපි මාතරය කීම දකුණේ අයගේ පුරුද්දක් නිසා මේ යාළුවත් මාතරින් ආවේ නැති බව මම අනුමාන කළෙමි.

‘‘මම දෙව්සිරි. මහින්දෙන් ආවේ” මම උත්තර දුන්නෙමි.
දකුණෙන්ම පැමිණියකු සමග මුලින් යාළු වෙන්නට ලැබීම ගැන රෝහණට සතුටක් ඇති වී ඇති බව පෙනේ. ඔහු ඊළඟට මගෙන් ඇසුවේ මාර ප්‍රශ්නයකි.

‘‘දෙව්සිරි ඔයා යූඑන්පීද ශ්‍රී ලංකාද?’’ මගේ ආනන්දයේ ප්‍රථම යාළුවා තද දේශපාලන පොරක් බව ඒ ප්‍රශ්නයෙන් මට වැටහුණේය.

‘‘අපි අපේ පරම්පරාවම ඉතින් යූඑන්පීකාරයෝනේ? ඊළඟ ඡන්දේදී කඹුරුපිටියට යූඑන්පීයෙන් ඉල්ලන්න කියලා ඩඩ්ලි සේනානායක මහත්තයා ඊයේ පෙරේදත් තාත්තාට ලියුමක් එවලා තිබුණා’’ මම පවුලේ රහසක් අලුත් යාළුවාට ආඩම්බරයෙන් ප්‍රකාශ කළෙමි.
‘‘අපේ තාත්තා නම් දැනටමත් මන්ත්‍රීවරයෙක්” මගේ හුළං බින්දුවටම බස්සමින් රෝහණ කීවේය.

මා කතා කරන්නේ මන්ත්‍රී පුත්‍රරත්නයකට බව ආරංචි වූ ඩෝමැට්‍රියේ සියල්ලෝම අප වටේ රොක්වූහ. ‘‘මොන ඉස්​ෙකා්ලෙන්ද ආවේ? ගම කොහේද?’’ අපි හැම ප්‍රශ්නයක්ම එකිනෙකාගෙන් ඇහුවෙමු. ඉන්පසු අපි සියල්ලන්ටම යාළුවන් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මගේ අසල්වැසියා බෙලිඅත්තේ ගරු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්‍ෂගේ පුතු බැසිල් රෝහණ බවත් ඔහුගේ අයියා ගෝඨාභය බවත් අපි දැන ගත්තේ එවෙලේය.

ආනන්ද බෝඩිමේ මන්ත්‍රී පුත්තු දුසිම් දෙකක් පමණ සිටි නමුත් ඒ කිසිම පුතෙකු දැන් කාලයේ ඇතැම් මන්ත්‍රී පුත්තු ලෙස අහංකාරව හැසිරුණේ නැත. ගෝඨාභය හා බැසිල්ට තාත්තාගේ මන්ත්‍රී උෂ්ණය වැලඳී තිබ්බේ නැත. ඔවුන් අපට කතා කළේ හා සැලකුවේ සම තත්ත්වයේ මිතුරන් ලෙසය.

බෝඩිමේ ක්‍රිකට් පිට්ටනිය තිබුණේ ආනන්ද වත්තේ ඈත කොනේ ගෝතමී පාරේ පල්ලිය පිටුපසයි. අපේ ඩෝමැට්‍රි හතේම යාළුවන් හවස තේ පානයෙන් පසුව හැන්දෑ වනතුරුම ක්‍රිකට් ගැසුවේ එතැනය. සාමාන්‍යයෙන් මෙතන එක විට ක්‍රිකට් මැච් හතරක් පමණ සෙල්ලම් කෙරුණි. හවස තේ පානය ඉවර වූ පසු හැම කාමරයකම එක කොල්ලෙක් බැට් එකක් උස්සන් ගල් ඔයට දුවන්නේ පිට්ටනියේ ජනප්‍රියතම ස්ථානය වූ මැද පිච් එක අල්ලා ගැනීමටය.

ජ්‍යෙෂ්ඨ අයියලාගේ කෑම කාමරය තිබුණේ අපේ කනිෂ්ඨ කෑම කාමරයට වඩා දුරකින් නිසා බොහෝ දිනවල ඔවුන්ට කලින් දුවගෙන ගොස් මැද පිච් එක උඩ බැට් එක දමා එය අයිතිකර ගැනීමට අපි පුංචි කොල්ලන්ට පුළුවන්කමක් තිබුණි. ඒ සම්ප්‍රදායට ගරු කළ ලොකු අයියලා මැද පිච් එක අල්ල ගන්නට බැරිවූ දාට අපට අරියාදු නොකොට පිට්ටනියේ කොනක ක්‍රිකට් ගැසුවෝය.

නමුත් එක දවසක් තේ පානයෙන් පසු පණ කඩාගෙන ගල්ඔයට බැට් එක උස්සා දුව ගොස් මැද පිච් එක අල්ලා ගත් මට එහි රැඳී සිටීමට ඉඩක් නොලැබුණි. මා පිටුපසින් දුවගෙන ආ ඉන්ටර් සී ඩොමැට්‍රියේ හරීන්ද පිණිදිය (හිටපු උප පොලිස්පති) සම්ප්‍රදායට පයින් ගසමින් මැද පිච් එක බලෙන් උදුරා ගත්තේය. “නෑ නෑ අයියේ අපිට අද ජූනියර් බී එකත් එක්ක බිග් මැච් එකක් තියෙනවා” කියා කී විට “යනවා අහකට. අපිටත් අද බිග් මැච් එකක් තියෙනවා” කියමින් පිණිදිය අයියා මාව තවත් ඈතට තල්ලු කර දැම්මේය. අඬනවා ඇරෙන්නට මට කරන්නට වෙන කිසි දෙයක් නොවීය.

මගේ වාසනාවට පිච් එක අල්ලා ගැනීමේ ධාවන තරගයේ තුන්වැනියා වූ ගෝඨාභය අයියා මේ ආරවුල ඈතින් සිට බලා හිටියේය “ඒයි පිණිදිය මල්ලි පල් වැඩ කරන්න එපා” ඔහු කෑ ගසමින් එතැනට පැමිණියේය. “ඔයයි මමයි දෙන්නටම කලින් නේ මේ පුංචි මල්ලි මැද පිච් එකේ බැට් එක තිබ්බේ. දැන් ඒක එයාලාගේ ඩෝමැට්‍රියටයි අයිති. ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න දීලා අර කොනේ පිච් එකට යන්න” ඔහු තරවටු ස්වරයෙන් කීය. පිණිදිය අයියා ඔහුට අවනතව ඉවත්ව ගියේය- මේ බූලියාගෙන් (Bully) අපිව බේරා ගත් ගෝඨා අයියාට ස්තුතිවන්ත වෙමින් අපේ ඩෝමැට්‍රියේ කොල්ලෝ එදා සතුටෙන් මැද පිච් එකේ සෙල්ලම් කළෝය.

අපි පුංචි කාලයේ අපගේ ඉතාම ප්‍රියතම ආහාරය වූයේ අයිස්ක්‍රීම්ය. තාත්තලා අම්මලා දෙන පොකට් මනිවලින් වැඩිහරියක් අපි වියදම් කළේ අයිස්ක්‍රීම් කෑමටය. පොප්සිකල් එකක් කෑමට අතේ සතේ නැතිවුණ දවසට බැසිල්ටත් මටත් මානසික ආතතිය හැදුණි. ඒවාට බෙහෙත් වශයෙන් අපි ඉඳහිට අපේ පාඩම් පොත් පරණ පොත් කඩයට විකුණා ශත 25ක් 30ක් උපයා ගත්තෙමු. විකුණා ගන්නට පොතක්වත් නැති දවසට බැසිල් මිත්‍රයා මාවත් ඇදගෙන ගෝඨාභය අයියා හමුවන්නට යන සිරිතක් තිබුණි. අපි තරප්පුව නැග ගෙන එන විටම අපි එන්නේ මොකාටද කියා දන්නා දිවැස් නුවණක් නන්දෙ අයියාට තිබුණේය. “ආ ආ අදත් දෙන්නට පොප්සිකල් කන්න දොලදුක හැදිලාද? පොප්සිකල් විතරක් නෙවි රටකජු ගොට්ටක් ගන්නත් එක්ක මේන් ශත 25ක්. කාලා ගිහින් පාඩම් කරන්න” කියා සෙනෙහබර ගෝඨා අයියා බැසිල්ට සල්ලි දෙයි.

පසු කලෙක මගේ අයියා නිමල්ද 9 වෙනි ශ්‍රේණියේ සිසුවකු වශයෙන් ආනන්ද බෝඩිමට ඇතුළු වූයේ ගෝඨාභයගේ ඩෝමැට්‍රියටය. ඒ වනවිට අපේ බෝඩිමේ අයියලා මල්ලිලා කට්ටල දුසිමක් පමණ සිටියෝය. අයියලා මල්ලිලා එකම බෝඩිමේ සිටින එක බොහෝ විට අයියලාට මාර වදයකි- මේ අයියලාට තිබුණු ලොකුම ප්‍රශ්නය වූයේ තමන්ගේ මල්ලිලා ඉදිරියේ ආදර්ශමත් ලෙස හැසිරීමේ පාට් එක රඟ දක්වන අතරේ ඔවුන් නැති තැන පුළුවන් තරම් දඟ වැඩ කරමින් විනෝද වන්නේ කෙසේද යන්නයි.

ගෝඨාභය හා මගේ නිමල් අයියාට ද ඔය ප්‍රශ්නය තදින්ම බලපෑවේය. මමත් බැසිලුත් රෑ පාඩම් කාලයෙන් පසු මොකක්හරි වුවමනාවක් වූ විට ඉහළ මාලයේ ඉන්ටර් බී කාමරය දෙස බලමින් ගෝඨයියේ නිමල් අයියේ කියමින් කෑ ගසමු. නමුත් ඒ දෙන්නා වෙනුවට බැල්කනියෙන් ඔළුව දමන්නේ ඔවුන්ගේ යාළුවෙකි. “ආ ගෝඨා අයියා තවම නානවා. නිමල් අයියාත් මූණ හෝදන්න ගිහින් වගේ” යි කියයි. තව පැයකින් විතර එන්න කියා ඔහු අපව ආපසු පිටත් කරයි.

නමුත් අණ්ඩර මල්ලිලා වූ අපට පොත දමන්නට අපේ අයියලාගේ යාළුවන්ට බැරිය. ගෝඨාභය හා නිමල් අයියලා මහ රෑ නාන්නට යන ජාතියේ බඩු නොවන බව අපි දනිමු. ඔවුන්ගේ යාළුවන් අපට බොරු කියන්නේ මේ අයියලා අණ්ඩයන් දෙදෙනා බෝඩිමේ පිටුපස තාප්පයෙන් පැන තෝස කඩේකට ගොස් ඇති නිසා බව අපි ඉවෙන් දනිමු.
ඔවුන්ගේ දස්කම් ගැන හිනා වෙමින් බැසිලුත් මමත් ආපසු අපේ ජූනියර් ඩෝමැට්‍රියට යන්නෙමු. ගෝඨා හා බැසිල් බෝඩිම් පරිප්පුවන් වුව ද ඔවුන්ගේ බාල මල්ලී ඩඩ්ලි දවස්කෝලයෙකු (Day Schooler) විය. මේ තුන්දෙනා හැම විවේක කාලයේදීම Tuck Shop එකේ වාඩි වී බනිස් කට්ලස් කකා තේ බොමින් සතුටු සාමීචියේ යෙදෙමින් ප්‍රීති වෙනවා මා නිතර දුටුවෙමි.

පාර්ලිමේන්තුවේ කාරක සභාපති ධුරයක් දැරූ ඩී.ඒ. රාජපක්ෂ තම පුතුන් දෙදෙනා බැලීමට එකල දුරබැහැර මන්ත්‍රීවරු නවාතැන්ගෙන සිටි ශ්‍රාවස්තියේ සිට පැමිණියේ බස් එකෙනි. නැත්නම් මතුගම මන්ත්‍රී දයා පැස්කුවල්ගේ මෝටර් රථයෙනි’ දරුවන් බලන්නට බෝඩිමට එන අම්මලා, තාත්තලා බොහෝ විට කාමරයේ යාළුවන් සමග බෙදාගෙන රස විඳිය හැකි ටොපි, බිස්කට්, චොකලට්, රඹුටන් වැනි දේ ගෙනාවෝය. ආනන්ද බෝඩිමේ අපි ගෙදරින් ලැබෙන එම රස කෑමට කීවේ ‘දෙවොල්’ කියාය.

දෝසි පාර්සලත් අතේ තියාගෙන ගෝඨාභය හා බැසිල්ගේ තාත්තා ඔවුන්ගේ සුවදුක් විමසන්නේ අපේ (Junior Dining Room) කනිෂ්ඨ කෑම ශාලාව ඉදිරියේය. තාත්තලා පුතාලගේ කතාව විනාඩි දහය ඉක්මවයි. දැන් විනාඩි විස්සත් පහුවෙයි. ගෝඨාභයගේ තාත්තා තවම පුතාලා සමගය. දෝසි පාර්සලයට ඇහැ ගසාගෙන ඉන්නා අපිට ඉවසුමක් නැත. තාත්තා යන පාටක්ද නැත. හදිසියේම තාත්තාට පෙන්වීමට පාසැල් පොතක් ගැනීමට බැසිල් කාමරයට දිව එයි. අපි ඔහුව වට කර ගනිමු.

‘‘මචං තාත්තට පාර්ලිමේන්තුවේ වැඩත් ඇතිනේ. අගමැතිනියත් තාත්තා එනකම් බලං ඇති. ඉක්මනට තාත්තව පිටත් කරන්න” මම බැසිල්ට ආයාචනා කරමි.
මොහොතකින් මන්ත්‍රීතුමා රථයට නැගී නොපෙනී යයි. දක්ෂ රගර් ක්‍රීඩකයන් රැසක් මෙන් අපි ගෝඨාභය පෙරළාගෙන දෝසි පාර්සලය බදා ගනිමු. යාළුවන් ටික පොරකමින් දෝසි පාර්සලය ඉවර කරයි. ගෝඨාභය හා බැසිල්ට ඉතුරුවන්නේ දෝසි කුඩු විතරය’ කොයි දෙමව්පියන් බෝඩිමට දෙවොල් රැගෙන ආවත් ඒවාට සිදුවූයේත් දෝසි පාර්සලයට සිදුවූ දෙයමය.

ළමුන්ගේ සහජ හැකියා දියුණු කරදීම සඳහා ආනන්ද බෝඩිමේ සෑම සෙනසුරාදාම පැවතුණ “සබය” නමැති සන්ධ්‍යා සුහද රැස්වීමේදී ගෝඨාභය හා බැසිල් තම කථිකත්වය මනාව පිළිබිඹු කළෝය. එසේම ගෝඨාභය තම සගයන් දෙතුන් දෙනෙකු සමග සභාව ඉදිරියට පැමිණ “වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ, මොකටද මා දුප්පත් වී ඉපදුණේ” යන සේවිකාවකගේ දුක්බර ගීතය ඉතා ලස්සනට ගැයූ හැටි මට තවමත් මතකය.

අවාසනාවකට බැසිල් හා ගෝඨාභයට ආනන්ද බෝඩිමේ සුන්දරත්වය වසර තුන හතරකට වඩා අත්දැකීමට ඉඩක් නොලැබිණි. පවුලේ ගැහැනු දරුවන් වූ ප්‍රීති හා ගාන්ධනී ගේ ඉගෙනීමට පහසුවීම සඳහා බැසිල්ගේ මන්ත්‍රී තාත්තා නුගේගොඩ නන්ද මාවතෙන් ගෙයක් කුලියට ගත්තේය. බැසිල් හා ගෝඨාභය දෙදෙනාම බෝඩිමෙන් අස්වී යන දා ඔවුන් තම යාළුවන්ගෙන් සමුගත්තේ කඳුළු පිරි දෙනෙත්වලින්ය. බෝඩිමෙන් අස්ව ගියත් බැසිල් හා ගෝඨාභය පරණ බෝඩිම් මිතුරන් අමතක කළේ නැත. විවිධ පන්තිවල සිටියත් අපි පාසල් කාලය තුළ නිතර එක් වී විනෝද වූයෙමු. ගෝඨාභයගේ තාත්තා 65 මැතිවරණයට තරග කරද්දී සීනියර් කාමරයේ සිටි ඔහුගේ යහළුවෝ බොහොම දෙනෙක් තම වියදමින් බෙලිඅත්තට ගොස් ඡන්ද කටයුතුවල යෙදෙමින් එතුමාට උදව් කළෝය. නමුත් ‘‘පොඩි උන්ට මොන ඡන්දද” කියා තරවටු කළ රාජපක්ෂ සර් අපට බැසිල් සමග යෑමට අවසර දුන්නේ නැත.

බැසිල්ලාගේ නුගේගොඩ ගෙදරට අල්ලපු ගෙදර සිටියේ බෝඩිමේ සිටි මගේ හොඳම මිත්‍රයා වූ ලලිත් චන්ද්‍රදාසගේ දෙමව්පියන්ය. රජයේ ස්ථිර ලේකම්වරයෙකු වූ ලලිත්ගේ පියා ලලිත්ව බෝඩිමේ නැවැත්තුවේ ළමයෙක් හැදෙන්න ඕනා නම් ඉස්කෝල බෝඩිමක මාස තුනක්වත් ඉන්න ඕනා කියා තරයේ විශ්වාස කළ නිසාය (අන්තිමට ලලිත් චන්ද්‍රදාස මිත්‍රයා ප්‍රේම විවාහයකට පත් වූයේ අල්ලපු ගෙදර සිටි ප්‍රීති රාජපක්‍ෂ සමගය. එය වෙනම කතාවකි. ලලිත් චන්ද්‍රදාස මිතුරාගේ තාත්තා එදා කීවේ රත්තරන් කතාවකි. ඕනෑම දරුවකුට තම බොඩිම් රටාව හා දින චර්යාවෙන් මුළු ජීවිත කාලය සඳහාම හොඳ විනයක්, හික්මීමක්, ශික්‍ෂණයක් ලැබේ. ගෙදර සිට පාසල් යන දවස්කෝලයන්ට (Day Scholar) ඒ වාසනාව නැත.

ආනන්ද බෝඩිමේ දී ගෝඨාභය බැසිල්ලා ඇතුළු අප සියල්ලෝම උදේ බෙල් එකට නැගිට්ට ගමන්ම තමන්ගේ ඇඳ ඇතිරිලි ක්‍රමානුකූලවත් ලස්සනටත් සකස් කිරීමටත් පුරුදු වූහ. එහෙම නොකරා නම් අපිට යන්නට වෙන්නෙ බොඩිම් මාස්ටර් වෙතටය. එකමුතුකම, මිතුරන් සමඟ සුහදව වාද කිරීම, යාළුවන් අතර බෙදාගෙන කෑම, වෙලාවට වැඩ කිරීම, නිදහසට කරුණු ඉදිරිපත් නොකොට වරද පිළිගැනීම, අනුන්ගේ මතයට ගරු කිරීම, විරුද්ධවාදියාට අපහාස නොකිරීම, විජයග්‍රහණයේදී උදම් නොවීම, නැති බැරි අයට සැලකීම පරාජය නිහතමානීව පිළිගෙන ජයග්‍රාහකයාට සුබ පැතීම, අනුන්ට උදව් කිරීම වැනි දහසක් ගුණාංග අපි ඉගෙන ගත්තේ ආනන්ද බෝඩිමෙනි. මැතිවරණ වේදිකාවලදී විපක්ෂ කථිකයන් ගෝඨාභයට ඉතා දරුණු අන්දමින් අපහාස කරද්දී හා මඩ ගසද්දි එතුමා සජිත් ප්‍රේමදාසට වචනයකින්වත් නින්දා නොකළේ ඔහු ආනන්ද බෝඩිම තුළ විනයක් හා හික්මීමක් ඇතුව හැදී රටට බිහිවුණ ශිෂ්ට සම්පන්න පුරවැසියකු වූ නිසාය.

මේ අන්දමට වටිනා හික්මීමක් හා ගුණගරුක බවකින් යුතුව ආනන්ද බෝඩිමෙන් රටට දායාද වූ අපේ සීනියර් රූම් එකේ අයියා ගෝඨාභය රාජපක්‍ෂ නව ජනාධිපතිතුමා මුළු ශ්‍රී ලංකාව තුළම උගත් හා විනයගරුක සමාජයක් ගොඩනඟන බවට මට කිසිම සැකයක් නැත. එදා ආනන්දයේ “ගල්ඔය” පිට්ටනියට බැට් එක උස්සාගෙන දුවගෙන පැමිණි පුංචි කොල්ලෙකු අසාධාරණයෙන් බේරා ගත් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ හැට නව ලක්‍ෂයක ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබා ගෙන ජනාධිපති ධුරය නමැති බැට් එක රැගෙන රට බේරා ගැනීමට ඉදිරියට පැමිණ ඇත. ගෝඨාභය රාජපක්‍ෂ රුවන්වැලි සෑය ඉදිරියේ දිවුරුම් දුන් ප්‍රථම ලංකා රාජ්‍ය නායකයා පමණක් නොව ජාතිය අමතා කළ මංගල කතාවේ දී තමා උගතෙකු හා විශිෂ්ට පුරවැසියෙකු බවට පත්කළ තම පාසල් මාතාව ආදරයෙන් සිහිපත් කළ ප්‍රථම ජනාධිපතිද විය.

‘‘මම රටේ හැමෝගෙම ජනාධිපතියි. මා යටතේ මේ රටේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ ආගම ඇදහීමේ නිදහස මා ලබා දෙනවාය. රටේ ආරක්‍ෂාව මා බලා ගන්නා නිසා ඔබ නොබියව සිටින්නැ’’යි ඔහු ප්‍රකාශ කරද්දී ඔහු සමග සිටි පරණ ආනන්ද බෝඩිම්කාරයකු වශයෙන් මට ඇති වූ ආඩම්බරය හා සතුට අප්‍රමාණය.

මට පමණක් නොව ශ්‍රී ලංකාවේ පක්‍ෂ හා විපක්‍ෂ ලක්‍ෂ සංඛ්‍යාවක ජනතාවට එතුමාගේ කතාව බලවත් ප්‍රීතියක් හා නව ජීවයක් දුන් බවට සැක නැත.

බ්‍රිතාන්‍ය ඉංජිනේරු,ගාල්ලේ
දෙව්සිරි පී.හේවාවිදාන
ලන්ඩන් නුවර සිට ලියයි