News

ආණ්ඩු හැදිය යුත්තේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නයි

මෙවර ජනාධිපතිවරණයේ ක්‍රියාකාරිත්වය දෙස බැලීමෙන්ම රටේ ජනතාාවට නිවැරදි තීන්දුව ලබාගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක….

දිගු ඉතිහාසයකට යන්නේ නැතිව මේ මැතිවරණයේ ක්‍රියාකාරිත්වය දෙස බලල වුණත් අපේ රටේ ජනතාවට තීන්දු කරන්න පුළුවන්, මෙවර ජාතික ජන බලවේගයට තමයි ඡන්දය දෙන්න ඕනැ කියලා. අපි දැක්කා පසුගිය දිනවල මැතිවරණ වේදිකාව කෙසේද කියා. බොහෝදුරට කියන්නේ දෙපැත්ත කැපෙන වචන. උසුළු විසුළු කරන වේදිකා. ඒ වගේම රට හා ජනතාව මුහුණදීලා තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන අන්දම ගැන සාකච්ඡා කිරීම පසෙක තබා සුපුරුදු යාචක ආර්ථිකයේ ප්‍රකාශයන් කරමින් යනවා. ඒ යාචක ආර්ථික ප්‍රතිපත්තිය සහිත වේදිකා දෙක වෙනුවට ඊට ප්‍රතිපක්ෂව රටේ ජනතාවට වැදගත් දේශපාලන පණිවුඩයක්, දේශපාලන සාකච්ඡාවක් ගෙනෙන වේදිකාවක් තිබෙනවා. ඒ වගේම මේ රට මුහුණදී තිබෙන අභියෝග භාරගෙන ඒවාට මුහුණ දී රට ගොඩනැඟීමේ මාවත පිළිබඳව කියලා දෙන වේදිකාවක් තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව. අර වේදිකා දෙකට සමීප කොටසකුත් ඉන්නවා. එක වේදිකාවක් තමන්ට පක්ෂ කට්ටියක් ඒ වේදිකාවට නඟින විට ‘හූ’ කියනවා. ඔබ දැක තිබෙන්නේ යම් වේදිකාවක තමන්ට පක්ෂව කථා කරනවා නම් අත්පුඩි ගහනවා. හැබැයි ලංකාවේ පළමු වතාවට අපි දැකලා තිබෙනවා තමන්ට පක්ෂව වේදිකාවට නැග්ග අයට ‘හූ’ කියනවා. ‘හූ’ කියන තරම කොච්චරද කියනවා නම් මහින්ද මහත්තයාටත් ‘හූ’ කියනවා. මං අහගෙන එතුමාම කියනවා මේ දඹදෙනියේ පැත්තේ නම් රැස්වීම් හවසට තියලා වැඩක් නැහැ. පාන්දර තියන්න වෙයි කියලා. මොකද තමන් විසින්ම පොවල ගෙනාපු කණ්ඩායමකට තමයි ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ. තව වේදිකාවක මම දැක්කා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තමන්ගේ නායකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරලා එ.ජා.ප.ය විනාශ කළා කියලා කියන විට පාක්ෂිකයෝ ‘ජයවේවා’! කියනවා. එතකොට කථිකයා කියනවා “යකෝ ජයවේවා! නොවෙයි අපරාදේ කියලා කියපියව්” කියලා. එවැනි ප්‍රේක්ෂක ජනතාවක් ඉන්න වේදිකාවක් තිබියදී, ජනතාවට දෙන දේශපාලන පණිවුඩය මොකක්ද. ඒක මීයට පිම්බා සේ අහගෙන ඉන්න ජනතාවක් එක් රැස්වෙච්ච වේදිකාවකුත් තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ වේදිකාවයි.