කතුවැකි

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයකු නොවීමට නම්…

අදින් වසර දෙකකට පෙර මේ රටේ ලොකු කුඩා පක්ෂ විපක්ෂ සියලු ආගමිකයන්, සියලු දෙනා එකාවන්ව කතා කළ මාතෘකාවක් තිබුණේය. ඒ පාස්කු ප්‍රහාරයයි. එකල සියලු දෙනාගේම මතය වූයේ පාස්කු ප්‍රහාරය එතෙක් මෙරට ඉතිහාසය තුළ සිදු වූ ම්ලේච්ඡතම ප්‍රහාරය ලෙසය. අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරය, අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය ඉදිරිපිට ප්‍රහාරය මෙන්ම කාත්තන්කුඩියේ මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයද ඒ වන විට මේ සියලු දෙනාට අමතකව තිබිණ. අද වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතකයට සිදුව ඇත්තේද ඒ සන්තෑසියමය. බොහෝ දෙනකුට එවැනි ප්‍රහාරයක් සිදු වූ බවක් හෝ මතක ඇත්දැයි සැක සහිතය. ප්‍රහාරයට වගකිව යුත්තන් උල තියන්නට කතා කළ අය අද සොයා ගන්නටත් නැත.

වර්ෂ 2019 අප්‍රේල් මස 21 දිනට යෙදී තිබූ පාස්කු දිනයේ 269 දෙනකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසක් ආබාධිතයන් බවට පත් කළ ප්‍රහාරයක් සිදු වූ බවත් තවමත් ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලැබී නොමැති බවත් සිහිපත් කරන්නේ කතෝලික පල්ලියයි. කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික ප්‍රකාශක කමිටුව පසුගිය අඟහරුවාදා (13 වැනිදා) ද මේ බව සිහිපත් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය. මාසයක් ඇතුළත පිළිගත හැකි පිළිතුරක් නොලැබෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බව එම ලිපියෙන් දැනුම් දී තිබේ.

මෙම ලිපිය මගින් අවධාරණය කරන ප්‍රධාන කාරණා දෙකකි. එකක් නම් ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීමේ ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයයි. දෙවැන්න නම් දැනට සිදුව ඇති පරීක්ෂණවල ඇති අඩුපාඩු නිසා මතුව ඇති සැකයන්ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත් වූ පරීක්ෂණවලින් හෙළි වූ කරුණු මත පදනම්ව හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට නඩු පැවරීමට සූදානම් බව ප්‍රකාශ වී තිබේ. මෙම මාසය අවසන් වීමට පෙර එම නඩු කටයුතු ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබේ. මේ අනුව ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව ප්‍රමාද වී හෝ නීතිමය පියවර ගැනෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එහෙත් එහිදී මෙම ප්‍රහාරයට වගකිව යුතු ප්‍රධානතම පුද්ගලයන් දෙතුන් දෙනකු මගහැර තිබෙන්නේ කුමක් නිසාදැයි ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මගින් විමසා ඇත.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම රාජකාරීමය වගකීම පැහැර හැර තිබෙන බව ඒ පිළිබඳ සොයා බැලූ ජනාධිපති සිරිසේන විසින්ම පත් කළ කොමිසම පෙන්වා දී තිබේ. එහෙත් නඩු පැවරීමට නියමිත චූදිත ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වී නැත.

එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ලිහිල් ප්‍රතිපත්තිය පාස්කු ප්‍රහාරයට මග සැලසූ බව පිළිගන්නා ජනාධිපති කොමිසම ඔහු ඊට වගකිව යුත්තකු ලෙස නම් කර නැත. මේ ගැන බරපතළ සැකයක් පවතින බව ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

පාස්කු ප්‍රහාරයට එක් වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුගේ බිරිඳ බව කියන සාරා හස්තුන් නමැත්තිය අතුරුදන් වීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රහාරකයන් සමග සම්බන්ධතා පැවැත් වූ බවට පලව ඇති වාර්තා සම්බන්ධයෙන්ද මෙතෙක් පැහැදිලි පිළිතුරක් ලැබී නැත. පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවට හිටපු නීතිපතිවරයා කර ඇති ප්‍රකාශයක් නිසා මෙකී කාරණා සම්බන්ධයෙන් ඇති සැකය තීව්‍ර වී තිබේ. මෙම සැකයට තවත් හේතුවක් වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව තවමත් ප්‍රකාශයට පත්ව නැතැයි කියන කාරණයයි.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබූවත්, ඒ ගැන සැකයක් ඉතිරිවිය හැකි බවය. සැකය හැම විටම නිවැරදි යැයි කිව නොහැකි නමුත් එවැනි සැකයන් ඉතිරිවන්නේ ආණ්ඩුවේ වරදින් බව කිව යුතුය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ ක්‍රියාමාර්ගය තුළ සැක මතුවන තැන් තිබෙන බව අපටද පෙනී ගොස් තිබෙන නිසාය. පරීක්ෂණ ක්‍රියාමාර්ගයේ පුදුම සහගත ප්‍රමාදය කා තුළ වුවත් සැකයක් ඇති කරන්නට හේතුවන ප්‍රධාන කාරණයකි.

පාස්කු ප්‍රහාරය සිදුව මේ වන විට වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ. වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ඇදි ඇදී ගිය ඒ පිළිබඳ ජනාධිපති කොමිසම් අවසන් වාර්තාව නිකුත් වී මාස පහකට වැඩිය. ජීවිත 269 ක්, බිලිගනිමින් සිදු කළ මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ මේ තරම් ප්‍රමාද වන විට ඒ ගැන සැකයක් ඇති නොවන්නේ කාටද?

දැන් මේ සැකයේ පාපයෙන් ගැලවීමට නම් ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමය. අපේ රාජ්‍ය තාන්ත්‍රයේත්, අධිකරණ ක්‍රියාමාර්ග තුළත් ප්‍රමාදය, කල්මැරීම සුපුරුදු ලක්ෂණයක් බව අපි කවුරුත් දන්නා කාරණයකි. එහෙත් පාස්කු ප්‍රහාරය සාමාන්‍ය මිනීමැරීමක්, මෝටර් රථ අනතුරක් වැනි සිදුවීමක් නොව ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වූ සිදුවීමකි. ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කිරීම නොව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ කල්පනා කරන්නේනම් ආණ්ඩුව තවදුරටත් මෙම කටයුතු ප්‍රමාද කළ යුතු නැත.

කෙසේ වෙතත් නෛතික ක්‍රියාමාර්ගයන් කඩිනම් කළේ වුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ හා ඒවායේ තීන්දුවලට සුජාතභාවයක් ලැබෙනු ඇත්ද යන්න නම් සැක සහිතය. විශේෂයෙන්ම කොමිසම විසින් නිර්දේශ කර තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට චෝදනා පත්‍ර ගොනු නොවන්නේ කෙසේද? රනිල් වික්‍රමසිංහ මෙම සිදුවීමේ වගඋත්තරකරුවකු නොවන්නේ කෙසේද? යන ප්‍රශ්න හමුවේ නිහඬව සිටීමට ආණ්ඩුවට නොහැකි වනු ඇත.

එසේ වුවද මෙම සැකයන් මතු කරන කාදිනල් හිමියන් ප්‍රමුඛ සියලු පාර්ශ්වයන් දැනගත යුතු කාරණයක්ද තිබේ. එනම් කුමන අපරාධයක් සම්බන්ධයෙන් වුවත් තීන්දුව මුලින්ම ගෙන එය සනාථ කිරීම සඳහා පරීක්ෂණ සිදු කළ නොහැකි බවය. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සම්බන්ධයෙන් පියවර ගන්නැයි හඬ නගන ඇතැමුන් තමන් විසින් තීරණය කළ වරදකරුවන්ට දඬුවම් කිරීම සඳහා පරීක්ෂණ සිදු කළ යුතු බව සිතන බවක්ද පෙනී යන නිසාය. කෙසේ වෙතත් දැන් මේ සම්බන්ධයෙන් සැකයේ වාසිය ලැබී තිබෙන්නේ විත්තියට නොව පැමිණිල්ලටය.

ආණ්ඩුව හමුවේ ඇති මේ උභතෝකෝටිකයට ඇති එකම විසඳුම ලෙස අපට නම් පෙනෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යළි ආරම්භ කිරීමය. එහෙත් එම පියවර ගත යුත්තේද ප්‍රශ්නය මගහැර සිටීමේ පියවරක් ලෙස නොව ඇත්තම සත්‍යය සොයා ගැනීම සඳහාය. එසේ නොවුණහොත් ආණ්ඩුව ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයකු බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.