කතුවැකි

ආණ්ඩුව අසමත්ද?

ආණ්ඩුව අසමත් බව කියන මතයක් සමාජගත කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක් විපක්ෂය විසින් ආරම්භ කර තිබේ. විපක්ෂය කියන්නේ කොරෝනා වයිරසය පාලනය කිරීමෙන් ආණ්ඩුව ෆේල් වී ඇති බවය. ඔවුන් කියන ආකාරයට දැන් කොරෝනා වයිරසය රටපුරා පැතිරෙමින් තිබෙන්නේ ආණ්ඩුව ෆේල් වීම හෙවත් අසමත්වීම නිසාය. ආණ්ඩුව ෆේල් යැයි කියමින් විපක්ෂය විශාල සතුටක් ලබන බවද පෙනෙන්නට තිබේ. ආණ්ඩුව සමත්ද අසමත්ද යන්නට වඩා අපට මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ඇත්තෙන්ම විපක්ෂය කියන ආකාරයට ආණ්ඩුව අසමත් වුවත් විපක්ෂයට ඉන් සතුටක් ලැබිය හැකිද යන්නය.

විපක්ෂයක් හැම විටම කැමැති වන්නේද ප්‍රාර්ථනා කරන්නේද ආණ්ඩුවක් සමත්වනවාට නොව අසමත් වනවා දකින්නටය. ආණ්ඩුවේ අසමත්වීම විපක්ෂයේ බලය තහවුරු කිරීමට මඟ පාදන බැවිනි. ආර්ථිකය, දේශපාලනය වැනි කාරණාවලදී තත්ත්වය එසේ වුවත් කොරෝනා වැනි ආපදාවකදී වගකිව යුතු විපක්ෂයකට ආණ්ඩුවේ අසමත්වීම ප්‍රාර්ථනා කරන්නට හෝ නොහැකි බව අපගේ අදහසය. මෙවැනි ව්‍යසනයකදී ආණ්ඩුව අසමත් නම් – ඉන් කියැවෙන්නේ ජනතාව විශාල අවදානමකට මුහුණ පා සිටින බවය. ජනතාව එවැනි අවදානමකට මුහුණ පා සිටියදී ආණ්ඩුව අසමත් යැයි කියමින් ස්වයං වින්දනයක් ලබාගත හැක්කේ මළමිනී මතින් වුව බලය ලබා ගන්නට හෝ රැකගන්නට උත්සාහ කරන පක්ෂයකට පමණකි.

කොරෝනා වයිරස අවදානම යනු ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සමත් අසමත්කම් ප්‍රදර්ශනයට හෝ ගණනය කිරීමට ඇති අවස්ථාවක් නොව ජීවිතය හෝ මරණය තෝරා බේරාගත යුතු අවස්ථාවකි. කොරෝනා වයිරසය දැනටමත් ලෝක ආර්ථිකයට පහරදී අවසන්ය. ලෝකයම සටන් කරමින් සිටින්නේ මිනිස් ජීවිත බේරා ගැනීමටය. මෙවැනි අවස්ථාවක ආණ්ඩුවේද වගකීම විය යුත්තේ තනියම ලකුණු දාගන්නට නොගොස් සියලුදෙනාගේ සහාය ලබාගෙන මේ අභියෝගයට මුහුණදීමය. විපක්ෂයද කළ යුතුව ඇත්තේ ආණ්ඩුවට ලකුණු ලැබෙනු ඇතැයි නොසිතා කොරෝනා මර්දනයට සහාය දීමය. එසේත් නොහැකි නම් බාධා නොකර සිටීමය. එසේ නොවුණහොත් අසමත් වන්නේ ජනතාව බව ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම තේරුම් ගත යුතුය.

ආණ්ඩුව ෆේල් යැයි විපක්ෂය කියන අර්ථයෙන් නොව විපක්ෂයට එසේ කියන්නට ඉඩ ලැබීමෙන් නම් ආණ්ඩුව ෆේල් බව අපටද පෙනී ගොස් තිබේ. ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ හැමෝටම කාර් ගන්නට, බ්‍රේස්ලට් දාන්නට හෝ සමෘද්ධිය ලබාගන්නට නොව – මහ බැංකු හොරු අල්ලන්නටය. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දෙන්නටය. රට විදේශ බලපෑමෙන් මුදා ගන්නටය. සැමට එක නීතියක් ගෙනැවිත් යුක්තිය සාධාරණත්වය ඉටුකරන්නටය.

එහෙත් මහ බැංකු හොරු ගැන දැන් කවුරුත් කතා කරන්නේ නැත. හොරු යහතින් සිටින අතරේ ඉන් සිදුවූ මූල්‍ය පාඩුව අදත් විඳිමින් සිටින්නේ රටේ ජනතාවය. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් දීම සිහිනයක් බවට පත්ව ඇත්තේ චූදිතයන් හිටිහැටියේ නිදහස් කිරීමට පටන්ගත් දිනයේ සිටය. මහ බැංකු හොරු ඇල්ලීම කෙසේ වෙතත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගණන් රාජ්‍ය මුදල් අයථා භාවිතයට එරෙහිව හෝ පියවර ගන්නේ නම් ආණ්ඩුව ෆේල් යැයි කියන්නට විපක්ෂයට ධෛර්යයක් ඇති නොවන්නට ඉඩ තිබිණ.

ආණ්ඩුව අසමත් වේ නම් නියමිත අවස්ථාවේ ජනතාව ඒ බව තීරණය කරනු ඇත. විපක්ෂය කී පමණින් ඒ බව පිළිගන්නට තරම් ජනතාව ආඥාන යැයි අප සිතන්නේ නැත. මේ නිසා ආණ්ඩුව අසමත් යැයි විපක්ෂය කී පමණින් ආණ්ඩුව කලබල විය යුතු නැත. එහෙත් ආණ්ඩුව හැසිරෙන අන්දමින් පෙනී යන්නේ විපක්ෂයේ චෝදනාව හමුවේ ආණ්ඩුව බොහෝ සේ කලබලයට පත්වී ඇති බවය. කලබලයට කොරොස් කටෙත් අත දාගන්නට නොහැකි යැයි කියමනක් තිබේ.

ආණ්ඩුව අසමත් යැයි විපක්ෂය කියූ පමණින් ජනතාව පිළිනොගන්නවා සේම තමන් සමත් යැයි ආණ්ඩුව පුන පුනා කීවත් එය එලෙසින්ම පිළිගන්නටද ජනතාව සූදානම් නොමැති බව ආණ්ඩුව තේරුම්ගත යුතුය.

මේ නිසා ආණ්ඩුව කළ යුත්තේ තමන් අසමත් නොවන බව වචනයෙන් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම නොව ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීමය. එසේ නොකර තමන් අසමත් නොවන බව පුනපුනා කියන විට ඇත්තටම ආණ්ඩුව සමත් දැයි සැකයක් ජනතාව තුළ ඇති වන්නටද ඉඩ තිබේ.

අනෙක් අතට කිසිදු ආණ්ඩුවකට හැම විටෙකම සියයට සියයක්ම සාර්ථකවන්නට, නිවැරදි වන්නට හැකියාවක් නැත. එවැනි අවස්ථාවක අනුන් පිට වරද පටවා නිදොස් වන්නට උත්සාහ කිරීමද අසමත් ආණ්ඩුවක ලක්ෂණයකි. වරදක් පිළිගැනීම අසමත්වීමක් නොව සමත් වීමට තබන පළමු පියවරය. වරදක් සිදුවූ විට පිළිගත හැකි හේතු ඉදිරිපත් කිරීම නිවැරදි කිරීමට කටයුතු කිරීම අසමත් වීමක් නොව සමත් විය හැකි බවට පෙන්වන ගුණයකි. ආණ්ඩුවේ සමත් අසමත් බව තීරණය කිරීමේදී ජනතාව මෙම ගුණාංගද සැලකිල්ලට ගනු ඇත. තමන් තුළ මේ ගුණාංග ඇතැයි ආණ්ඩුවට විශ්වාසයක් ඇත්නම් ආණ්ඩුව අසමත් යැයි විපක්ෂය කී පමණින් කලබල විය යුතු නැත.