කතුවැකි

ආණ්ඩුව අලුත් වුණාට විදුලිබල මණ්ඩලය තවම පරණයි

තවදුරටත් ගල් අඟුරු බලාගාර ඉදි නොකළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ගල් අඟුරු බලාගාරයක් ඉදි කරන්නට යෝජනා කර ඇතැයි කියන පුවතක් ඊයේ ‘‘සති අග අරුණ’’ පුවත්පතේ ප්‍රධාන පුවතක් ලෙස පළවී තිබිණ. එම ප්‍රවෘත්තියට අනුව ඔවුන් මෙම ගල් අඟුරු බලාගාරය යෝජනා කර ඇත්තේ නොරච්චෝලේ විදුලි බලාගාරයේ සිව්වැනි අදියර ලෙසය. එම බලාගාරය ඉදි නොකළහොත් තවත් වසර දෙකකින් විදුලිබල අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි මේ විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවා තිබේ.

විදුලි බලය නොව කුමන සේවාවක් වුවත් අර්බුදයක් බවට පත්වන්නේ ඉල්ලුමේ තරමට සැපයුමක් නොමැති විටය. දිනෙන් දින රටේ විදුලිබල ඉල්ලුම වැඩිවනවා මිස අඩුවන්නේ නැත. මෙම වැඩිවන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම කළ නොහැකි වුවහොත් විදුලිය අර්බුදයක් ඇති වනු ඇතැයි කියන්නට විදුලි ඉංජිනේරුවෙක් වීමට නම් අවශ්‍ය නැත. යම් හෙයකින් ඉදිරි වසරේ හෝ දෙකේ රට තුළ නියඟයක් ඇති වුවහොත් දැනට නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණය හෝ නිපදවීමට හැකි වන්නේ නැත.

මෙවන් කරුණු කාරණා ගැන පුරෝකථනය කරමින් ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සුදුසු පියවර ගැනීමේ වගකීම ඇත්තේ විදුලිබල අමාත්‍යාංශයට හා විදුලිබල මණ්ඩලයටය. ඒ අනුව බලන විට ඉදිරියේ ඇතිවිය හැකි විදුලිබල අර්බුදයකට මුහුණදීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම මගින් විදුලිබල මණ්ඩලය තම වගකීම සහ යුතුකම ඉටු කර ඇතැයි කෙනකු සිතන්නට ඉඩ තිබේ.

අපට එසේ සිතන්නට නොහැක්කේ විදුලි අර්බුදයක් සඳහා පිළියම් නිර්දේශ කිරීම කළ යුතු නමුත් ඒ නිර්දේශය හොඳම එක නොවීම නිසාය. නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය වර්තමානයේ මෙරට ජාතික විදුලිබල පද්ධතියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන නමුත් එය ඉදි කිරීමට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධයක් පැවැතියේය. ඊට හේතු වූයේ ගල් අඟුරු බලාගාර විදුලිය උත්පාදන මාධ්‍යයක් වුවත් ඒ වෙනුවෙන් පරිසරයට ​ගෙවන්නට සිදුවන මිල අතිමහත් නිසාය.

ගල් අඟුරු බලාගාර නිසා පරිසරයට සිදුවන හානිය සැලකිල්ලට ගනිමින්, නොරච්චෝලේ බලාගාරය ඉදි කළ චීනයත් තම රට තුළ මින් ඉදිරියට ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට තීරණය කර තිබේ. එපමණක් නොව ඔවුන් දැනට එරට ඇති ගල් අඟුරු බලාගාරද කාලානුරූපව අක්‍රිය කරන්නට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 2030 වනවිට මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70%ක්ම ලබාගැනීමට අපේක්ෂා කරන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙනි. මේ අනුව මින් ඉදිරියට ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට අවසර නොදෙන බව ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

අප රට පමණක් නොව මුළු ලෝකයම බලශක්ති උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි වැඩි බරක් තබමින් කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසාය. පළමුවැන්න නම් මෙතෙක් බහුල වශයෙන් භාවිත වූ පොසිල ඉන්ධන ප්‍රභවයන් ක්ෂය වෙන්නට පටන් ගැනීමය. දෙවැන්න දිගින් දිගටම පොසිල ඉන්ධන මූලයන් භාවිත කිරීම නිසා පරිසරයට ගෙවා නිම කළ නොහැකි පාඩුවක් සිදුවීම හා පෙරළා ඒ පාඩුව මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වීමය.

අපේ විදුලිබල මණ්ඩලයට යළිත් වරක් ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදි කරන්නට කැස කවන්නේ මෙවැනි තත්ත්වයක් තිබියදීය. අපට වෙන කරන්නටම දෙයක් නැත්නම් ගල් අඟුරු බලාගාර ඉදි කරන්නට යෝජනා කළාට කමක් නැතැයි කිව හැකිය. න්‍යෂ්ටික බලාගාර වැනි තැනකට යන්නට අපට තවමත් නොහැකි නමුත් සුළං හා සූර්යය බල ශක්තිය පරිසරයට හානියක් නොකර විදුලිය ලබා ගන්නට අපට ඇති හොඳ බලශක්ති ප්‍රභවයන් දෙකකි.

සුළං හා සූර්යය බලශක්තියෙන් විදුලිය නිපදවා ගැනීම ගැන අප බොහෝ කලක සිට කතා කරමින් සිටින නමුත් එය සියයට සියයක් යථාර්ථයක් කරගන්නට තවමත් අපට හැකිවී නැත. ඇත්තෙන්ම කිව යුත්තේ ‘‘හැකිවී නැතැ’’යි කියා නොව අප එසේ කරන්නට උනන්දු නොවන බවය. ගල් අඟුරු බලාගාර ඉදිකරන්නට විදුලිබල මණ්ඩලයට ඇති උනන්දුව සුළං හෝ සූර්යය බලශක්තියෙන් විදුලිය උපදවා ගන්නට ඇත්තේ නැත. ඔවුන් ඊට උනන්දු නොවනවා පමණක් නොව ඒ සඳහා දරන උත්සාහයන්ද අඩාළ කරන්නට කටයුතු කරමින් සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඒ සඳහා ඔවුන්ගේ ඇති උනන්දුව කොතෙක්ද යත් විදුලිය පාරිභෝගිකයන්ගේ නිවෙස්වල සූර්යය විදුලි ජනන පද්ධති ඉදිකරවීමේ වැඩසටහනට බාධාවන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීමෙන් තේරුම්ගත හැකිය. විදුලිබල මණ්ඩලය මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ විදුලිබල අමාත්‍යාංශයද නොදැනුවත්ව හා එහි අනුමැතියකින් තොරවය.

විදුලිබල මණ්ඩලයේ මේ පිළිවෙතට හේතුව ඉතා පැහැදිලිය. සූර්ය විදුලි ජනන වැඩසටහන සාර්ථක වුවහොත් ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීමෙන් ඔවුන්ට ලැබෙන සන්තෝෂම් හා කොමිස් කුට්ටි ලබාගත නොහැකි වීමය. පෞද්ගලික ජලවිදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය උනන්දුවන්නේද රටේ විදුලිය අවශ්‍යතාව සපුරා ගැනීමට වඩා ඉන් ලද හැකි කොමිස් මුදල් නිසා බවට චෝදනාවක් ඇත්තේ කලක සිටය. ඔවුන්ගේ මේ කොමිස් උණ කොතරම්ද යත් පෞද්ගලික ජල විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා ආණ්ඩුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය ඉවත් කරන බවද කියැවේ. එම ජලාශවල ජලය අඩු වූ විට විදුලිය අර්බුදයක් පෙන්වා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී හා ඩීසල් විදුලිය ජනනය වැඩි කිරීමට ඩීසල් මිලදී ගැනීමේදී තමන්ගේ මඩිය තරකර ගැනීමට හැකියාව ලැබෙන නිසාය.

විදුලි ඉංජිනේරු මාෆියාව මේ ආකාරයට රටේ විදුලි අවශ්‍යතාව උකසට තබමින් හම්බ කරමින් සිටින්නේ අනෙකුත් රාජ්‍ය හා සංස්ථා සේවකයන්ට සාපේක්ෂව ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබමින් සිටියදීය. විදුලිබල මණ්ඩලය රටේ ඇති අති විශාල පාඩු ලබන අංක එකේ රාජ්‍ය ආයතනයක් වුවත් එහි සිටින ඉහළ වැටුප් ලබන සියලු දෙනාගේ උපයන විට බදු ගෙවනු ලබන්නේ ආයතනය විසිනි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මේ රටේ අනෙකුත් සියලු රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් පවතින නීතියට අනුව තම වැටුපට සාපේක්ෂව රජයට ගෙවන බදු මුදල විදුලිබල සේවකයන් ගෙවන්නේ නැත.

අප කල්පනා කරන ආකාරයට නම් විදුලිබල මණ්ඩලයේ පවතින මෙවන් වැරදි කළමනාකරණ තීරණ වෙනස් කළ හැකි නම් එම ආයතනය ලබන අති දැවැන්ත පාඩුව අවම කර ගත හැකි වනු ඇත. මේ සඳහා මීට පෙරත් සිටි ඇමැතිවරුන්, සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල උත්සාහ කර ඇතත් ඉන් පළක් වී නැත. එවැනි අවස්ථාවල එක්කෝ සිදුවන්නේ ඇමැතිවරයා හා සභාපතිවරයාද විදුලි මාෆියාව හා එක්වෙමින් තමන්ට හැකි පමණ ගසා කෑමය. එසේ නොවී දිගින් දිගටම සටන් කළ අයට සිදුවූයේ පරාද වී ගෙදර යන්නටය.

වත්මන් විදුලිබල අමාත්‍යාවරයාට, රාජ්‍ය අමාත්‍යවරයාට හෝ අලුතින් පත්වීම් ලබා එන්නට නියමිත විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එසේ නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.!