විශේෂාංග

ආණ්ඩුව අඩු කළ බදු කොහෙද ගියේ?

ගඟට ඉණි කැපීම පැරණි පිරුළකි. ප්‍රයෝජනයට ගැනීම අරමුණු කරගෙන ගහක අතු කපා ඒවායෙන් දිග ඉණි සකස්කරගත් පුද්ගලයෙකු ඒවා ගලාගෙන යන ගඟ දියට දැමීමය. හෙතෙම කල්පනා කළේ පහළින් ගොඩට ගැනීමය. ගඟට කැපූ ඉනි සොයාගත නොහැකිව පා වී ඈතට ගියේය. මහන්සිය අපතේ ගිය අතර ගහටත් නැත. ගහ කැපූ මිනිහටත් නැත. එම ඇබැද්දිය ආණ්ඩුවට ද අත්පත් වී තිබේ. රට හදන අරමුණ ඇතිව බදු සංශෝධන ගණනාවක් කළේය. බදු අඩු කරන විට ආණ්ඩුව කරගෙන යා හැකි ද යන ප්‍රශ්නය මතු කෙරිණි. ආර්ථිකයේ හැසිරීම ගැන දැන සිටි ඇතැම් විද්වත්හු විමතිය පළ කළහ. අඩු කළ බදු වල පාවී ගොස් තිබේ. ආණ්ඩුවට ආදායම අහිමි වී ඇති අතර තමන්ට සහනයක් නැති බව ජනතාව කියා සිටිති.

අඩු කරන ලද බදුවල වාසිය ජනතාවට අහිමි වී ඇත්තේ ඇයි? බලධාරීන් ඒ ගැන විමර්ශනය කරන බව පෙනේ. බදු වාසි එදිනෙදා ගනුදෙනු වල දී නොලැබීම ගැන පාරිභෝගික අධිකාරිය පළමුවෙන් අදහස් දක්වන ලද අතර එම වාසිය ජනතාවට නොදී වංචා කරන අංශ වටලන බව නිවේදනය කළේය. ආදායම් බදු දෙපාර්තුමේන්තුව ද රටට අහිමි වූ ආදායම ජනතාවට කෙලින්ම නොලැබීම ගැන විමර්ශන අරඹා තිබේ. ගඟට කැපූ ඉණි නියමිත තැනකින් නැවත ගොඩට ගැනීමට නිසි පිළිවෙළක් නොතිබුණහොත් මෙය හැර අනෙකක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්කමක් නැත.

බදු කපා හැරීමෙන් හිඟය 2015 පැවැති තැනට

බදු සංශෝධනවල ප්‍රතිඵලයක් වශයෙන් මහා භාණ්ඩාගාරයට අහිමිවන ආදායම රු. බිලියන 560 ක් බව දැක්වෙයි. එම ආදායම රහිතව අය වැය පියැවීමට සිදු වී තිබේ. ආදායම පහත නමුත් රජයේ වියදම පාලනය කරගත නොහැකිය. පැවැති ආණ්ඩුවේ බිල් ගෙවන බව දක්වන ආණ්ඩුව පාර්ලිමේන්තුවට රු. බිලියන 360 ක අතිරේක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. එම අතිරේක ප්‍රතිපාදන රහිතව පසුගිය කාලයේ රජයට සපයන ලද සේවා හා ඉදිකිරීම් වෙනුවෙන් පියැවීම් කළ නොහැකි වී තිබේ. පසුව විපක්ෂය එම ප්‍රතිපාදන අනුමත කරගැනීමට සහාය නොදෙන පදනම මත අතිරේක වැය යෝජනාව ඉල්ලා අස්කරගෙන තිබේ. මෙම තත්ත්වය සරල නැත. සමහරවිට මෙම වසරේ ආදායම හා වියදම අතර පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.2 ඉක්මවා යා හැකි බව ප්‍රකාශ වෙයි. එය අති විශාල හිඟයකි. 2015 වසරේ පැවැති තත්ත්වයට සමානය. හිඟය පියැවීමට අලුතින් ණය ගැනීමට සිදුවිය හැකි අතර එය නැවත වටයකින් උද්ධමනය නංවනු ඇත. පොලී අනුපාත වලට පීඩනයක් විය හැකි අතර විනිමය අනුපාතිකයට ද වක්‍ර බලපෑමකි.

රජයේ ආදායම දුර්වල වූ විට ඇතිවිය හැකි ස්වභාවය ගැන අත්දැකීම් රටට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලන්නට සිදුවිය හැකිය. දැනට අනුමතවීමට නියමිත කලින් ගත් ණය සංචිතයේ අවසාන වාරිකය ගැන සොයන්නට රටට පැමිණි මූල්‍ය අරමුදලේ නිලධාරීන් නැවත ණයක් දෙන්නට බැරිකමක් නැති බව ප්‍රකාශ කර තිබේ. ණය සමග නිර්දේශ ගණනාවක් එන අතර උද්ධමනය පාලනය, අපනයන වර්ධනය, ආයෝජන දිරිගැන්වීම හා පුද්ගලීකකරණය වැනි සුපුරුදු රාමුව නැවතත් යෝජනා කරන්නට බැරි නැත. රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය නොකරන අතර වෘත්තීයවේදීන් ලවා පාඩු ලබන තැන් හදා ගන්නා බව වත්මන් ආණ්ඩුව බලයට පත් වන විට කියා සිටි කරුණකි. එයට පටහැනිව අනෙකක් කරන්නට ගියහොත් පවතින ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් වියැකෙන්නට බැරි නැත.

අඩු කරන ලද මූලික බදු ගැන සඳහනක්

මෙතෙක් අය කරමින් සිටි වැට් බද්ද සියයට 15 ක සිට සියයට 8 දක්වා අඩු කරන ලද අතර එය පසුගිය දෙසැම්බර් 01 සිට බලපැවැත් විණි. කෙසේ වෙතත් මූල්‍ය සේවා අංශයට තවදුරටත් සියයට 15 ක ප්‍රතිශතය තිබේ. ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කර තිබේ. වැට් බද්ද පනවන්නේ 2002 වසරේ අගෝස්තු මාසයේ දී ය. දෙසැ. 01 තෙක් ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකකි. එය 2009 සිට බලපවත්වන ලද එකකි. ආනයන කටයුතුවල දී අයකළ ජාතිය ගොඩනැගීමේ බද්ද හා වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද යන දෙකම එකතු කර එය සියයට දහයක් කර ඇත. ආර්ථික සේවා ගාස්තුව ඉවත් කර තිබේ. එකී බදු සියලු ආනයන ද්‍රව්‍ය මිල වැඩි වීමට බලපෑවේය. මෙයට අමතරව බැංකු හා මූල්‍ය ආයතන මත පනවා තිබුණ හර බද්ද ඉවත් කර ඇත.

වැට් බද්දට ලියා පදිංචි විය යුතු සීමා ලිහිල් කර තිබේ. මාසයක ආදායම රුපියල් මිලියනයක් ඉක්මවන විට වැට් බද්දට යටත් විය යුතු බව මෙතෙක් තිබුණ රෙගුලාසියයි. එම සීමාව වසරකට රු. මිලියන 300 ක පිරිවැටුමක් දක්වා වැට් බද්ද අදාළ නොවන බව දැක්වේ. සියලු ව්‍යාපාර, කර්මාන්ත හා සේවාවලට එය අදාළය. වැට් බදු අඩු කිරීම පමණක් නොව බදු අයකරන කාණ්ඩය පුළුල් කරන හේතුවෙන් එහි වාසි කර්මාන්ත හා ව්‍යාපාරවලට සෑහෙන වාසියකි. කෙලින්ම වාසියක් පමණක් නොව එම ගෙවීම් නිසි කලට කරනු සඳහා අවශ්‍ය කළ කාර්ය මණ්ඩල මෙහෙයුම් ද නතර වී තිබේ. කෘෂි, මත්ස්‍ය හා සත්ව පාලන කටයුතු ආදායම් බද්දෙන් පවා නිදහස්ය. තොරතුරු තාක්ෂණ අංශ වල ආදායම මත පනවා තිබුණ සියලු බදු ඉවත් කර තිබේ.

මෙම වාසි ආයතනික වශයෙන් ලබා ඇති බව පෙන්වා දිය යුතුය. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව වැට් වලට ලියා පදිංචි වූ ආයකන ගණන 54,000 කි. මෙම සමාගම් වලට ලැබුණ වාසිය සුළු පටු නොවේ. ආණ්ඩුව මිල සංශෝධනයක් කළහොත් අලෙවියට තබා ඇති භාණ්ඩ වල පවා ලේබල් වෙනස් කරන ව්‍යාපාරිකයෝ සහන දෙන්නට අදි මදි කරන්නේ මන්ද? වගකිව යුතු අංශ මෙම පැති සොයා බැලිය යුතුය.

පාරිභෝගිකයන්ට නොලැබෙන වාසිය ව්‍යාපාරිකයන් අතට

සත්ත්ව පාලන කටයුතු වල සියලු බදු ඉවත් කරන විට කිරි පිටි පැකැට් එකක මිල රු. විස්සකින් අඩු කර තිබේ. ඇතැම් සමාගම් මිලි ලීටර් 180 ක දියර කිරි පැකැට්ටුව රු. පහකින් මිල වැඩි කර තිබේ. චීස් බටර් වැනි දේ වල මෙරට හෝ ආනයන මිල අඩුවී නැත. අයිස්ක්‍රීම් හා බිස්කට් වර්ග වල මිල එසේමය.

සත්ත්ව පාලනයට සහන ලැබෙන පසුබිම මත බිත්තර මිල ඉහළය. නත්තල් කාලයේ ඉල්ලුම ඉහළ යන විට නංවන ලද මිලට අදටත් බිත්තර අලෙවි කෙරේ. මස් මිල ද නොවෙනස්ය. මාළු මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අතර කුකුළු මස් පරිභෝජනය වැඩි වී තිබේ. විශාල සමාගම්වල සිට සුළු කුකුළු කොටු හිමියා දක්වා පරාසයකට සත්ව ආහාර වල සිට ලැබුණ මිල අඩුවීම පාරිභෝගිකයා හමුවේ දී අතුරුදන්ය.

2018 වසරේ වැට් වලින් රජයට ලැබුණ ආදායම රු. බිලියන 462 ක් බව සඳහන්ය. වැට් ගෙවන්නේ ව්‍යාපාරිකයා නොවේ. වැට් ලියාපදිංචි වී ඇති අයවලුන්, එය ගනුදෙනුකරුගෙන් අය කරගෙන රජයට ගෙවිය යුතුය. මෙම අය කිරීම හරි අඩකින් ඉවත්කළ විට ආහාරපාන, හෝටල හා සංචාරක සේවා අංශ වල මිල අඩුවීම පෙනෙන්නට නැත. බිල් පතට අය කරන වැට් අඩු කරන මෙම අංශ ආහාර මිල ගණන් වැඩි කර තිබේ. එය නුදුසුසුය. විදුලිය සංදේශ සේවා වලින් පවා ප්‍රමාණාත්මක සහන සැලසෙන බවක් නොපෙනේ. ජංගම දුරකතන රී ලෝඩ් කිරීම උදේ තේ කෝප්පය මග හැරිය නොහැකි සේ ජන ජීවිතයට බද්ධ වී ඇත. එවැනි පසුබිම දී සහන දැනෙන්නට අවශ්‍යය.

කොටස් වෙළෙඳපොළ මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද ඉවත්කර තිබේ. මහල් නිවාස පැවරීමේ දී අය කළ දේපළ බද්ද ඉවත් කරන ලද තවත් බද්දකි. උපයන විට ගෙවන ලද බදු සීමාව මෙතෙක් පැවති සීමාව අභිබවා මාසයකට සියලු ආදායම රු. ලක්ෂ දෙකහමාර ඉක්මවන විට පමණක් අය කරන මට්ටමට නංවා ඇත. ආදායම් බදු හා බැංකු ආදායම මත අය කළ රඳවා ගැනීමේ බද්ද පමණක් ජනතාවට කෙලින්ම හිමි වී ඇති බව පමණක් නිරීක්ෂණය කළ හැකිය.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත යුතු රටක්

පසුගිය ආණ්ඩුව ඉන්ධන මිල සූත්‍රයක් පවත්වාගෙන ගියේය. ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල අඩු වැඩිවන විට එයට අනුරූපව මෙරට අලෙවි කරන ඉන්ධන මිල නියම කෙරිණි. මිල වැඩි කරන වහා බඩු මිල නංවන වෙළෙන්දෝ ඉන්ධන මිල අඩු කරන විට මිල වෙනස් කළේ නැත. අඩුම තරමින් එහි වාසිය කෙලින්ම ලැබුණ ප්‍රවාහන සේවා පවා අධික ලාභ ලැබීය. මෙරට ඉතිහාසයේ කිසි අවස්ථාවක අඩු කරන දෙයක වාසිය ජනතාවට දෙන්නේ නැත. අතරමැදි තැන් වලින් එය අවශෝෂණය කරගැනේ. එයට හේතුවක් තිබේ. කිසිම තැනක නිසි ගිණුම් ක්‍රම නැත. ඒවායේ විනිවිද භාවයක් නොපෙනේ. එදිනෙදා ස්වභාවය අනුව ව්‍යාපාර මෙහෙයවන අතර ඒවායේ ලාභ දැවැන්ත වන අතර සමාගම්වල අනවශ්‍ය වියදම් මගින් පැත්තකට කරයි.

රාජ්‍ය අංශය හා සමාන දූෂණ හා අනවශ්‍ය වියදම් පුද්ගලික අංශයේ පවතින බව ජාත්‍යන්තර වාර්තා තහවුරු කර තිබේ. මහජන මුදල් හෙයින් රාජ්‍ය අංශය ගැන විගණනය යුහුසුළුව කෙරේ. පුද්ගලික අංශයේ පිරිවැය අධ්‍යක්ෂ මණ්ඩල අභිමතය පරිදිය. ලාභ වැඩිවන විට එකම ගොඩනැගිල්ල කඩා බිඳ නැවත වෙනස් කරන හා අධ්‍යක්ෂවරු ඇතුළු ඉහළ කළමනාකරණයට පහසුකම් වැඩිකරන අතර ආයතන වල ගිණුම් දක්ෂ ලෙස පියවා පෙන්වයි. එයින් සිදුවන ආර්ථික හානිය ද බලවත්ය. ආණ්ඩුව බදු වෙනස් කර ජනතාවට සහන ප්‍රකාශයට පත් කරන විට එය නිසි සේ නොලැබීම ද අපරාධයකි. බලවත් වංචාවකි. නීතිය මගින් හෝ නිසි පියවර ගත යුතුව තිබේ.

ජී.කේ.ජී. සරත්