කතුවැකි

ආණ්ඩුවේ ආයතනයෙන් හෙංචයියා නෙරපීම

ලංගම බස් අටසියයකට රියැදුරන් නැති බව අගෝස්තු 31 වැනිදා ‘‘අරුණ’’ පුවත්පතෙන් හෙළි කළෙමු. එසේ නැත්තේ ඇබෑර්තු පුරවන්නේ නැති නිසා නොවේ. ලංගමට රියැදුරන් ළං නොවීම නිසාය. නැතිනම් ලංගම බස් එලවන්නට අපේ තරුණයන් එන්නේ නැති නිසාය. ලංගමට පමණක් නොව තවත් බොහෝ රැකියාවලට තරුණයන් ළං නොවෙති.

රජයේ රෝහලක ලෙඩෙක් ළඟ ඉන්නට කෙනෙක් සොයා ගැනීම මහම ලෙඩකි. දවසට රුපියල් දෙදහසක් ගෙව්වත් කොත්තු බාස් කෙනෙක්, ආප්ප දාන කෝකියෙක් සොයා ගන්නට නැතිව වැසුන පොඩි හෝටල් හැම වීදියකම තිබේ.

සාගර විශ්වවිද්‍යාලයක් තිබුණත් ඔරුවක යන්නට ධීවරයෙක් නැත. අලින්ට කලින් අලිගොව්වන් වඳවී ඇත. මේ පොඩි රස්සා කරන්නට මිනිසුන් වඳවී ඇත්තේ ජාති ආගම් භේදයක් අනුව නොවේ. උතුරේ වගා බිම් පාළු වී ඇත්තේ ගොවිතැනට කුලීකරුවන් නැති නිසාය. අම්පාර පැත්තේ ගොයම් කපන කාලෙට දකුණු ඉන්දියාවෙන් කුලීකරුවෝ රහසේ මෙරටට එති. වතුකරය හරහා යන අයට තේ දලු නෙළන තරුණ ළඳක් දැක ගැනීමට දැන් නොලැබෙයි. දැන් දලු නෙළන්නේ හැට පැන්න අත්වලිනි.

සැබැවින්ම ශ්‍රමය වගුරුවන රැකියාවල යෙදෙන්නෝ දැන් හිඟය. එසේ වී ඇත්තේ එම රැකියාවලට තිබෙන පිළිගැනීමේ ස්වභාවයයි. ප්‍රකට දේශපාලන සමාජ විචාරකයකු වූ ජේ.ආර්. පී. සූරියප්පෙරුම වරෙක මෙසේ කීවේය.

‘‘ඉස්සර ඌරුමස් විකුණුවේ කදේ. කදේ දාගෙන ලේ පෙරාගෙන කඩමලු සරමක්, බැනියමක් ඇඳගෙන කෙහෙල් කොළේ ඌරු මස් ඔතලා දෙන මිනිහාට ගෙදරකින් වතුර උගුරක් දෙන්නේ නෑ. ඒත් ඌරුමස් වෙළෙඳාමට කොම්පැනි බැස්සාම මේක වෙනස් වුණා. දැන් ඌරු මස්, පෝක් සොසේජස් කරලා විකුණන්නේ ටයි දාපු කොල්ලො. ඒගොල්ලෝ සේල්ස් එක්සෙකටිව්ස්ලා. කදේ ඌරු මස් විකුණපු, රස්සාව මොඩ් කළාම ඒකට කොල්ලෝ කෙල්ලෝ ඕනෑ තරම්.’’

සැබැවින්ම ප්‍රාග්ධනය විසින් පරණ ඌරු මස් වෙළෙන්දාට සේම කෝකියාට, ණයකාරයන්ගෙන් පොලී සල්ලි එකතු කරන්නාට, වේටර්වරයාට, බඩු විකුණන ළමයාට වෘත්තීය පුහුණුවක් දී මොඩ් ඇඳුම් අන්දා පිළිගැනීමක් ලබා දී තිබේ. එහෙත් රටට අත්‍යවශ්‍ය කෘෂිකාර්මික, ධීවර, කම්කරු, රියැදුරු, ඉදිකිරීම් ආදී ක්ෂේත්‍රවලට තවමත් සේවක හිඟයක් ඇත්තේ ඒවාට වෘත්තීය තත්ත්වයක් නැති වීමේ ප්‍රධාන කාරණාව නිසාය. රැකියාවක පැවැත්මට වැටුප මහා එකක් වීම ප්‍රධාන කාරණයක් නොවේ. සුපිරි වෙළෙඳසල්වල බඩු විකුණන, පෞද්ගලික රෝහල්වල හෙද සේවයේ තරුණියෝ දෛනික වැටුපට ගොයම් කපන කතක් ලබන වැටුප නොලබති. ගෙදරක ආයම්මා කෙනෙක් ලබන වැටුප නොලබති. එහෙත් ඒ රස්සාවලට වෘත්තීය පිළිගැනීමක් නැති නිසාය.

මෙබඳු තත්ත්වයකට අපේ කර්මාන්ත හිමියා, ව්‍යාපාරිකයා මුහුණ දී තිබෙන තත්ත්වයක් යටතේ රජය, නිපුණතාවක් නැති, සා.පෙ. සමත් නැති තරුණ තරුණියන් ලක්ෂයකට රස්සා දෙයි. එය රස්සා දීමකට වඩා රජය භාරගත් අභියෝගයකි.

මෙතෙක් කල් ආණ්ඩු රස්සා දී ආයතන පිරවූ ක්‍රමයට පිටින් යාමක් මෙවර පෙනේ. එදා ආණ්ඩුවේ රස්සාවකට නිපුණතාවක් නැති එකෙක් බැඳුන කළ ඒකාට තිබෙන්නේ ඇමැතිගේ, මන්ත්‍රීගේ ඇයි හොඳයිකම මත පැවැත්ම සාදා ගැනීමය. ඊළඟ තනතුරට නැගීමට වැටුප් වැඩිකර ගැනීමට සේවා මාරුවක් ලබා ගැනීමට මන්ත්‍රීවරයාගේ හෝ පක්ෂ දේශපාලනයේ යෙදිය යුතුය. ඡන්ද කාලෙට ගස්, ගල්, ලයිට් කණුවලට නැග පෝස්ටර්, කටවුට් ගැසීය යුතුය. සේවකයකු වැඩකාරයකු වන්නේ වෘත්තීය සමිතියකට බැඳී වැඩ වැරීම මගිනි. වැඩ වැරීම, වැඩකාරයකු වීමට තිබූ එකම මගය. එසේ වූයේ ඒ බඳවා ගන්නා සේවකයාට වෘත්තීය පුහුණුවක් හෝ වෘත්තීය අරමුණක් ඇත්තෙකු නොවූ නිසාය. එහෙත් මෙවර රජයේ සේවයට බඳවා ගන්නා ලක්ෂයක තරුණයන්ට ක්ෂේත්‍ර 25 ක් යටතේ වෘත්තීය පුහුණුවක් ලබා දේ. ඒ අතරට නායකත්ව පුහුණුවක්ද ලබා දේ. එය අවසානයේ ජාතික වෘත්තීය සහතිකයක්ද පිරිනැමේ. එසේ කළ විට රාජ්‍ය ආයතනයේ ඉන්නේ දේශපාලන හෙංචයියකු නොව රැකියා පුහුණුවක් ඇති සුදුස්සෙකි. එය උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු සම්මතය බිඳ දැමීමකි.

එහෙත් රජයේ සේවයට බඳවා ගන්නා ලක්ෂයෙන් රටේ රැකියා සඳහා තිබෙන ඉල්ලුම සපුරාලිය නොහැකිය. කෘෂිකාර්මික, කාර්මික, ධීවර, වතු ආදී ක්ෂේත්‍රවල තිබෙන හිඟය පියවන, කර්මාන්තවලට ආරක්ෂාව ලබා දී පැවැත්ම තහවුරු කරන, රක්ෂණය වන්නේ වෘත්තීන් නවීකරණයයි. ඒවා නූගතුන් කරන වැඩ නොව උගත්කමක් ඇතිව කරන ගරුසරු ඇති රැකියා බවට පත් කිරීමයි.

හොඳම ආදර්ශය ලැබුණේ යුද පිටියෙනි. එදා ග්‍රාමාරක්ෂකයා කී විට ජනතාව කීවේ ‘‘ගම් බට්ටා’’ කියාය. හඳුනාගත්තේ විට කාගෙන, සෙරෙප්පු දාගෙන, සතුරා ආ විට තුවක්කුව බිම දමා කැලේට දුවන පිරිසක් වශයෙනි. නමුත් ඒ පිරිසට පුහුණුවක් දී සිවිල් ආරක්ෂක බළකාය ලෙස නම් කළ විට එය යුද්ධයේද මහා මෙහෙවරක් කළේ ය. එදා එම බළකායට පිරිසේ අඩුවක් නැත. මේ රටේ දලු නෙළන්නිය, ආයම්මාගේ කසළ ශෝධකයාගේ සිට වෘත්තීය ගරුත්වයක් ඇති කළ යුතුව ඇත. එසේ කිරීමෙන් පමණය සේවකයන් නොමැති වීම නිසා රටේ අඩපණ වී යන කර්මාන්තවල නව යුගයක් ඇති කළ හැක්කේ.