කතුවැකි

ආණ්ඩුවත් එකයි! වෘත්තිය සමිතිත් එකයි! මිනිස්සුත් එකයි!

ජනතාව තම තමන්ගේ නගර අගුළු දමා ගනිමින් සිටියෝය. ජනතාවගේ ඉල්ලීමට කන් දුන් ජනාධිපතිවරයා දැන් රට අගුළු දමා ඇත්තේය. ඇතැම් විට මේ රටේ ජනතාව කොරෝනා වසංගතය හමුවේ හැසිරෙන්නේද ආණ්ඩුව වරින් වර නිකුත් කරන චක්‍ර ලේඛන මෙනි. ආණ්ඩුව පුදුමාකාර ලෙස ක්ෂණිකව වෙනස් කරනවාට සිනාසෙන ජනතාවද ඇතැම් විට හැසිරෙන්නේ ඒ චක්‍ර ලේඛන මෙනි.

රට වැසීම තරමේ නොවන සංචරණ සීමා දැමූ විටද බොරු දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය කර ගන්නා දහස් ගණන් හුදී ජනතාව පළාත් සීමා මායිම් උල්ලංඝනය කරති. නිරෝධායන ඇඳිරි නීති දාන්නැයි බල කරන ජනතාවම ඇඳිරි නීතිය පැනවූ විට අත්‍යවශ්‍ය සේවා රාජකාරි කරන වුන් මෙන් පෙනී සිටිති.

නිරෝධායන නීති ගැසට් කළ නොහැකි වුණොත් කොරෝනා මර්දනය කළ නොහැකි බව කොරෝනා පළමු රැල්ල ආරම්භයේදීම පී.එච්.අයි. සංගමය ප්‍රකාශ කළේය. එය ගැසට් නොකළහොත් තමන් රාජකාරියෙන් බැහැර වන බවටද ඔවුහු වරින් වර තර්ජනය කළහ. එහෙත් කොරෝනා පළමු රැල්ල සාර්ථකව පාලනය කර මහ මැතිවරණයක්ද පවත්වා නිමා වනතුරු මේ රටේ නිරෝධායන නීති ගැසට් කළේ නැත. නිරෝධායන නීති ගැසට් කළේ මේ සියල්ල සාර්ථකව මැඬලූ පසුවය. දැන් අපි ගෙවමින් සිටින්නේ පී.එච්.අයි.ලා ඉල්ලූ නි​රෝධායන නීති ගැසට් කරදී ඇත්තා වූද ඒ අනුව කොරෝනා රැල්ල මැඬිය හැකි යුගයකය.

එම​ කොරෝනා නීති ගැසට් කිරීමට පෙර එකම නි​රෝධායනයක්වත් පෙළපාළියක්වත් කොළඹ සිදු වූයේ නැත. එහෙත් ඒ ගැසට්ටුව ප්‍රකාශයට පත් කළාට පසුව ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා රැලි 230ක්ද සමගි ජන බලවේගය විරෝධතා රැලි 185ක්ද පැවැත්වූහ. පෙරටුගාමීහු විරෝධතා 45 ක්ද, ගුරු සංගම් රැලි 135 ක්ද, සෙසු සංවිධාන රැලි 135 ක්ද රට පුරා පැවැත් වූහ.

ඒ උද්ඝෝෂණවලට පැමිණ ගැසට්ටුවේ නීති පැහැදිලි කර දීමට, කරුණු කියා දීමට සමත් එක පී.එච්.අයි. මහතෙක් සිටියේ නැත. ගැසට්ටුව නොතිබූ සමයේ සියල්ලන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව කොරෝනා පළමු රැල්ල ජය ගත්තත්, ගැසට්ටුව තිබෙන සමයේ කොරෝනා දෙවැනි රැල්ලෙන් රට පිරී ඉතිරී උතුරා යයි. මේ පක්ෂ විරෝධතාවලට සහභාගි කරවාගෙන ඇති ජන සංඛ්‍යාව දස ලක්ෂ ගණනකි. සමාජ දුරස්ථභාවය කඩ කිරීමෙන් ඩෙල්ටා වයිරසය සියයට සියයක වේගයකින් ‍පැතිරෙන බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු ඇඟවුවද මේ විරෝධතා එකක්වත් නතර වූයේ නැත. එපමණක් නොව වසර 24කට පෙර ඇති වූ ගුරු වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව මේ මහා ව්‍යසනකාරී මොහොතේම කළ යුතු යැයි බලකිරීම තේරුම්ගත යුත්තේ කෙසේද? දේශපාලන පක්ෂ හා වෘත්තීය සංගම් පෙළපාළි උද්ඝෝෂණ කළේ භාෂණයේ නිදහස දිවි දෙවැනි ​කොට ආරක්ෂා කිරීමටය. පෙළපාළි යාමේ උද්ඝෝෂණය කිරීමේ නිදහස පණ මෙන් රැක ගැනීමටය. මේ මහත්වරුන්ට හුස්ම ගැනීමේ අවස්ථාව වැදගත් නැත. විරෝධතාවලින් කොරෝනා පැතිරෙන බව කියූ ආණ්ඩුවද එක විටම මුළු රටම විවෘත කළේය. පෙළපාළිවලින් සමාජ දුරස්ථභාවය නැතිවන බවට චෝදනා කළ ආණ්ඩුව ලක්ෂ ගණනක්, බස් කෝච්චිවල වැඩට එන්නේ දුරස්ථබව රැකගෙන යැයි සිතුවේ නැත. එමතු නොව ගර්භණී මාතාවන්ද රස්සාවට පැන්නිය යුතු යැයි චක්‍ර ලේඛනයක් නිකුත් කළ ආණ්ඩුව එය අවලංගු කළේ තවත් කාන්තා උද්ඝෝෂණයක් කළාට පසුවය.

දැන් මේ පෙළපාළි ගියෝ සියලු කටයුතු නවතා රට වසන්න යයි බල කළහ. ස්වයං අගුළු දමා ගනු යයි ජනතාවට අයදිති.

මෙබදු පැවැත්මක් ඇති පක්ෂ නායකයින් ඒකාරාශී වී ප්‍රශ්නය විසඳිය යුතු යයි යෝජනා කරති. චීනයේ සයිනොෆාම් එන්නත විදීම වැඩකට නැති එකක් බව මුලදී ඔවුහු කීහ. ෆයිසර් එන්නත ගෙන්වා ගැනීම දුෂ්කර බව තේරුම් ගත් වහාම කීවේ එම එන්නත මිස සෙසු එන්නත් නොගෙන්විය යුතු බවය. හමුදාව කොරෝනා මර්දන වැඩෙන් ඉවත් විය යුතු යැයි කීවේ උතුරේ යුද්ධයේදී ත්‍රස්තවාදීන් කතා කළාටත් වඩා බරපතළ ලෙසය. ඔවුනට ජන ජීවිතය ගැන වගකීම එබදුය. රෝගී නායකයන්ගෙන් නිරෝගී දේශපාලනයක්, නිරෝගී ජන දිවියක් බලාපොරොත්තු විය නොහැකිය. මෙබඳු නායක එකතු වීමක් අයුතු ජන රාශියක් ලෙස ජනතාව සැලකිය යුතුය. ඔවුන් එකතු වී කරන්නේ ජනතාවට හිතකර දෙයක් විය නොහැකිය.

එන්නත්, ඇඳන් පමණක් කොරෝනා සටනට මදිය. රට ලොක්ඩවුන් කිරීමද දිගුකාලීන උත්තරයක් නොවේ. එයට තම ජීවිතයට ආදරය කරන ජනතාවගේ ඒකරාශී වීමද වැදගත්ය. නායකයන් ඉන්නේ ජනතාව ඒකරාශී කිරීමටය. එහෙත් දැන් කාරණාව වී තිබෙන්නේ ජනතාව ඒකරාශී වී නායකයන් එක්තැන් කරන්නටය.