කතුවැකි

ආණ්ඩුවට කප්රුකක් ඕනෑකර තිබේ

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පසුගිය සඳුදා අම්බලන්ගොඩ නගරයේදී පැවැත් වූ විරෝධතාවක් පිළිබඳ පුවතක් ඊයේ (28 වැනිදා) අප පත්‍රයේ වාර්තා කර තිබිණ. ඔවුන්ගේ මෙම විරෝධතාවට මූලික වූ කාරණා තුනකි. බස් රථ අලුත්වැඩියාවට අඩු පොලී සහන ණය පදනම මත රුපියල් ලක්ෂ 3 ක ණය මුදලක් ලබා ගැනීම, පෞද්ගලික බස් රථ ලීසිං සඳහා වන සියයට 11.5 ක පොලී අනුපාතය ඔවුන්ට ද ලබා ගැනීම, ඔවුන්​ගේ වාහන සඳහා වන රක්ෂණය මාස 15 ක කාලයක් දක්වා දීර්ඝ කර ගැනීමය.

කොරෝනා වසංගතය නිසා රටේ සෑම ක්ෂේත්‍රයක්ම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ට පමණක් ඉන් ගැලවී සිටින්නට හැකියාවක් නැත. ඔවුන්ගේ විරෝධතාවෙන් පෙන්නුම් කරන්නේ එම කාරණයයි. එසේ වුවත් මේ විරෝධතා කොතරම් දුරට ප්‍රායෝගිකද, කොතරම් දුරට සාධාරණද හා ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමෙන් ඇත්තටම සහනයක් ලැබෙන්නේද යන්න සලකා බැලිය යුතුය.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ වාහන සඳහා තවත් මාස 06 ක කාලයකට ලීසිං සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එසේ තිබියදීත් විරෝධතා දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන් ඉසිලිය නොහැකි ආර්ථික අර්බුදයකට ගමන් කර ඇති බවය. පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන් පමණක් නොව, පසුගිය දිනවල තවත් බොහෝ ක්ෂේත්‍රවල මෙවැනි ඉල්ලීම් දැකගත හැකි විය.

එසේ වුවත් මේ සියලු දෙනා සතුටු වන පිළිතුරු ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාවක් තිබේද? මේ සෑම කෙනකුම ඉල්ලන මූල්‍ය සහන ලබාදීම රටේ සමස්ත ආර්ථිකයට දරන්නට හැකිද? එසේ සහන දීම රටේ පවතින ආර්ථික අවපාතය තවත් උග්‍ර කිරීමට හේතුවේද? අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ ඉල්ලීම් දෙස අප බැලිය යුත්තේ මෙකී කාරණා පදනම් කර ගනිමිනි.

ඔවුන්ගේ ඉල්ලීම්වල මූලික හරය වන්නේ අඩු පොලියට ණය සහ ලීසිං පහසුකම් ලබා ගැනීම, වාහන රක්ෂණ සඳහාත් එවැනිම සහනයක් ලබා ගැනීමය. මේවා බොහෝ ක්ෂේත්‍රවල ඉල්ලීම් හා සමානය.

බැංකු හෝ මූල්‍ය ආයතන, රාජ්‍ය වේවා පෞද්ගලික වේවා, මේවාද කරන්නේ ව්‍යාපාරය. ඔවුන් ලාභ උපයන්නේ තැන්පතුවලට ගෙවන පොලියට වැඩි පොලියකට ණයට දීමෙනි. තැන්පතු පොලිය හා ණය පොලිය අතර අනුපාතය තීරණය කරන්නේද මහ බැංකුව විසිනි. ඒ නිසා කිසිම මූල්‍ය ආයතනයකට තමන්ට රිසි පරිදි ණය හෝ තැන්පතු සඳහා වන පොලී අනුපාතයන් වෙනස් කළ නොහැකිය. එසේම බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ණය නිකුත් කළ හැක්කේද වෙළෙඳපොළ සීමාවන්ට යටත්වය. මෙකී සීමාවන් නොතකා කටයුතු කළහොත් සිදුවනු ඇත්තේ එම බැංකුව හෝ මූල්‍ය ආයතනය බංකොළොත් වීමය. මේ නිසා රාජ්‍ය බැංකුවකට වුවත් ආණ්ඩුව කිවූ සැණින් අඩු පොලී ණය දෙන්නට, පොලී සහන දෙන්නට, ණය කපා හරින්නට හැකියාවක් නැත.

ආණ්ඩුව කුමන හෝ ක්ෂේත්‍රයකට යම් යම් මූල්‍ය සහන දෙන්නට තීරණය කරන විට මෙම කාරණය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුය. එසේ නොකර රාජ්‍ය බැංකුවලින් පමණක් හෝ මේ සහන ලබා දීමට ආණ්ඩුවක් කටයුතු කළහොත් පාඩු විඳීමට සිදුවන්නේ එම බැංකුවලටය. එසේ නොවීමට නම් එම බැංකුවලට යම් සහනයක් ලබා දීමට ආණ්ඩුවට සිදුවේ. මින් කුමක් සිදු වූවත් අවසානයේ බලපෑම එල්ල වන්නේ රටේ සමස්ත ආර්ථිකයටය. රටේ ආර්ථිකය ප්‍රශස්ත මට්ටමක පවතින අවස්ථාවක එම තත්ත්වය දරාගත හැකි නමුත් අප දැන් සිටින්නේ එවැනි තත්ත්වයක නොවන බව අප කවුරුත් දන්නා කාරණයකි.

මේ අනුව එක් එක් ක්ෂේත්‍රවලට විඳින්නට සිදුව ඇති පාඩු පියවන්නට, ආණ්ඩුව සීමාව ඉක්මවා සහන දෙන්නට ගියහොත් එහි විපාක, යළිත් වරක් එම ක්ෂේත්‍රයද ඇතුළුව සමස්ත රටටම විඳින්නට සිදුවන බව අප කවුරුත් තේරුම්ගත යුතු කාරණයකි. කොරෝනා වසංගතය නිසා අප සෑම දෙනාටම මුහුණ දෙන්නට සිදුව ඇති ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවන්නේ වෙන් වෙන්ව නොව, සියලු දෙනා එකටය. එහිදී අප කාටත් තම තමන්ගේ ප්‍රමාණයෙන් මේ ආර්ථික අර්බුදය දරා ගන්නට සිදුවනු ඇත.

කොරෝනා වසංගතය අප කිසිවකුගේ වරදකින් මතු වූවක් නොවන නමුත් ඒ හමුවේ අප මේ තරම් අසරණ වන්නට නම් අප කවුරු කවුරුත් වගකිව යුතු බව කිව යුතුය. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා වන අප සියලු දෙනා ප්‍රතිපත්ති සම්පාදනයේදී, ඒවා ක්‍රියාත්මක කිරීමේදී විධිමත් සැලසුම්, ඉලක්කවලින් තොරව ඉවක් බවක් නොමැතිව කටයුතු කිරීම නිසාය.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ ප්‍රශ්නයෙන් එය මෙසේ විස්තර කළ හැකිය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ සෑම ළමයකුටම නිවසට ආසන්නම පාසලක් ලබා දීමය. ළමයකු නිවසට ආසන්නම පාසලකට යන්නේ නම් අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන කුමකටද? එවැනි අවශ්‍යතාවක් මතුව තිබෙන්නේ නිවසට ආසන්නම පාසලට අපේ දරුවන් යැවීමට අප කටයුතු නොකරන නිසාය. ඊට සාධාරණ හේතු තිබේ. ඒ නිසා මොනම ආණ්ඩුවකින්වත් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා වන තමන්ගේ මුල් නියමය උල්ලංඝනය වීම ගැන බරපතළ ලෙස කල්පනා කරන්නට උත්සාහ කරන්නේ නැත. මෙයින් අප තේරුම් ගත යුත්තේ එක් වරදක් නිවැරැදි නොකිරීම නිසා ඒ පසුපස තවත් වැරදි ගණනාවක්ම සිදුවෙමින් පවතින බවය.

කොරෝනා වසංගතය නිසා මේ වන විට පෞද්ගලික අංශයේ විශාල පිරිසකට රැකියා අහිමිව තිබේ. බහුජාතික සමාගම්වල සිට තනි පුද්ගල ව්‍යාපාර දක්වා සෑම එකකම පාහේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කර ඇත. ඇතැම් ව්‍යාපාර වසා දැමීමට සිදුව තිබේ. මෙය අප රටට පමණක් නොව, සමස්ත ලෝකයටම පොදු තත්ත්වයකි. මේ අන්දමට කොරෝනා වසංගතය නිසා බලපෑම් සිදුව ඇති සෑම ක්ෂේත්‍රයකටම සෑම ආයතනයකටම ඔවුන් ඉල්ලන ආකාරයටම සහන දෙන්නට කුමන ආණ්ඩුවකට හෝ හැකියාවක් ඇතැයි අප සිතන්නේ නැත. එහෙත් කිසිම ආණ්ඩුවකට මුළුමනින්ම ඒ වගකීමෙන් නිදහස් වීමටද නොහැකිය. ආණ්ඩුව යම් ප්‍රමාණයකට ඒ වගකීම භාරගත යුතු අතර අප සැමටද ඒ වගකීමේ බර දරාගන්නට සිදුවනු ඇත.