ආගිය අතක් නැති වූ රාජිත රෝහලෙන් මතු වූ හැටි
28 December 2019
ආගිය අතක් නැති වූ රාජිත රෝහලෙන් මතු වූ හැටි
28 December 2019
ක්‍රීම් පැහැති ජාතික ඇඳුමෙන් සැරසුණු රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අවසන් වරට ප්‍රසිද්ධියේ කරළියට ආවේ ඉකුත් විසිතුන් වැනිදා රෑ ජාමයේය. ඒ විහාර මහා දේවි උද්‍යානයේ සමාධි බුදු පිළිමය ඉදිරියටය. චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පහනක් පත්තු කර අධිෂ්ඨාන පූජාවක නිරත වූ ඔහුගේ හිත ඒ මොහොතේ කියවන්නට සමත් අයකු සිටියේ නම් කියනු ඇත්තේ මේ පින් බලයෙන් මාවත් අත්අඩංගුවෙන් ගැනීමෙන් වැළකෙත්වා යනුවෙනි. ඊට හේතු වූයේ වඩිග පටුන සුදුවෑන් නාටකය එළි දැක්වූ සැකකරුවන් දෙන්නා ඒ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමය. ජනාධිපතිවරණ සමයේදී තමාට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා බොරු කියන්නට ඉගැන්වූයේ රාජිත සේනාරත්න බවත් ඒ වෙනුවෙන් ඔහු තමන්ට ලක්ෂ ගණනින් මුදල් දුන් බවත් සැකකරුවෝ පොලිසියට කීහ.
ඒ අනුව මේ සිද්ධියේ සැකකරුවකු ලෙස රාජිත සේනාරත්න නම් කෙරෙන ලකුණු පහල වෙමින් තිබුණේය. ඒ සමග මන්ත්‍රීවරයා ආගිය අතක් නැති විය.
ඒත් ආගිය අතක් නැති අය ගැන ඉස්සර නම් ගුවන්විදුලි සංස්ථාවේ දවල් විකාශයේදී නිවේදනය කෙරෙන්නේය. අවසන් වරට ඇඳ සිටි ඇඳුම සිටි ස්ථානය එමගින් නිවේදනය කෙරිණි. එහෙත් එසේ ශරීර ලක්ෂණ කියමින් රාජිත සේනාරත්න ගැන අමුතුවෙන් නිවේදන නිකුත් කරන්නට ඕනෑ නොවුණේ ඔහු ගැන රටම දන්නා නිසාය. එහෙත් අත්අඩංගුවට ගැනීමට බයෙන් හැංගුණ ඔහු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණයේ කෙළ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් (රහස් පොලිසිය) බැරි විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී නුවන් අසංක ඇතුළු කණ්ඩායම දත් දොස්තර රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වෙත ලිපිගොනු රැගෙන තකහනියේ දිවයන්නේ පසුගිය සඳුදා (23) පස්වරුවේය. ඒ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සාක්ෂි තිබුණු බැවිනි. සුදු වෑන් නාටකයෙහි හි වඩිග පටුන නැට්ටුවන් දෙන්නා රජයේ සාක්ෂිකරුවන් වීමට ඉදිරිපත් වන්නේ තමන්ට තවදුරටත් ගැලවීමට නොහැකි බවට තේරුම් යද්දීය. මේ සැකකරුවන් දෙන්නා වන්නේ උණ්ඩියල් අතුල හා සරත් කුමාරය.
ඔවුහු රටේ නමගිය අපරාධකරුවන් දෙදෙනෙකි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් දෙන්නා හෙළි කළ තොරතුරු මත නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු දක්වා රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය නීතිපති උපදෙස් පැතුවේය.
පොලිස් අධිකාරී නුවන් අසංක ඇතුළු නිලධාරින් සඳුදා (23) පස්වරුවේම නීතිපති දෙපාර්තමේන්තුව වෙත කරුණු දැක්වූහ. එසේ කරුණු දක්වන මොහොතේ මන්ත්‍රීවරයා සිටියේ ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. නීතිපතිවරයා පසුදිනම (24) උපදෙස් දෙමින් දැක්වූයේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එහෙත් අශ්වයා ඉස්තාලයෙන් පැන යමින් සිටින බව රහස් පොලිසිය දැන සිටියේ නැත. නීතිපතිගේ නියෝගය නත්තලට පෙර දින (24) පස්වරුවේ නිකුත් කරන විටත් සුදු වෑන් නාටකය විමර්ශනය කළ විශේෂ විමර්ශන ඒකකයේ හා රහස් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් නත්තල් නිවාඩු සඳහා නිවෙස් වෙත යමින් සිටියහ.
රහස් පොලිසියට වෙනදා මෙන් උනන්දුවක් නොතිබුණු බව රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග කරද්දීම ඔහු යන එන තැන් සොයා යෑමට කණ්ඩායම් ක්‍රියාශීලී නොවීමෙන් පැහැදිලි විය. එය රහස් පොලිස් නිලධාරීන් මීට පෙර විමර්ශනවලදී ක්‍රියාත්මක වූ ආකාරයට හාත්පසින්ම වෙනස් විය.
වෙනදාට නම් රහස් පොලිසිය කරන්නේ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති නම් ඔහු ගැන ඇස ගසා සිටීමය. එහෙත් රාජිත සේනාරත්න සිද්ධියේදී එවැනි දෙයක් වුණේ නැත.
රාජිත අත්අඩංගුවට ගැනීමට ඔහු සිටින තැන සොයා ගැනීමට නොහැකි වූ කල රහස් පොලිසිය කළේ ඔහු දුටු තැන අල්ලන්නට වරෙන්තුවක් ගැනීමය.
ඒ අනුව නීතිපති නියෝගය රැගෙන පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යන්නේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ගැනීමටය. රහස් පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දැක්වීය.
සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ සැකකරුවන් දෙදෙනා මෙහෙයවූ බවට චෝදනා ලැබූ හිටපු රාජිත සේනාරත්න දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනත යටතේ වරදක් කර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රහස් පොලිසියේ ඉල්ලීම අනුව කොළඹ
අතිරේක මහෙස්ත්‍රාත්
බී. නෙළුම්දෙණිය රාජිත අල්ලන්නට වරෙන්තුවක් නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කරන විටත් හිටපු ඇමති රාජිත සේනාරත්න සිටියේ කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ වූ සිය නිල නිවසේය. එම නිල නිවස ඔහුට හිමි වූයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රාජකාරි කළ සමයේය. ඇමැතිකම නැතත් ඔහු තවමත් සිටින්නේ නිල නිවසේය. මේ අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වෙත්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් නිල නිවසට එන්නේ ඇමැතිවරයා සොයාගෙනය. ඒ අතරේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිකම අභියෝගයට ලක් කරමින් නඩු පැවරූ චන්ද්‍රගුප්ත තේනුවර ද විය. මාධ්‍යවේදීන්ද පොලිස් නිලධාරීන්ද රාජිතගේ ගේ ඉදිරිපිට සිටින අතරතුරේ ඔහු එජාපයේ වෙනත් මන්ත්‍රීවරයකුගේ වාහනයකින් රැගෙන යන්නේ ආරක්ෂිත තැනකටය. එය කාගේත් අවධානය යොමු නොවන තැනක් විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පසුදින එනම් නත්තල් දා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නිල නිවසටත් වාද්දුවේ හා බේරුවල නිවාස දෙකකටත් යන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති වරෙන්තුවද සහිතවය.
රහස් පොලිස් කණ්ඩායම් නිවෙස් තුනටම ගියේ ඔහු අත්අඩංගුවට ගන්නා බව කථානායක කරු ජයසූරියද දැනුවත් කරය. කෙසේ නමුදු එම නිවාස තුනේම මන්ත්‍රීවරයා සිටියේ නැත. ඒ අතරේ රාජිතගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ද පෙනෙන්නට සිටියේ නැත.
බ්‍රහස්පතින්දා දිනයේ රහස් පොලිසිය යළිත් පොලිස් විශේෂ කාර්ය බළකායද සමග ගොස් බෞද්ධාලෝක මාවතේ නිවස පරීක්ෂා කළත් එහිදීත් ඇමැතිවරයා සොයාගත නොහැකි විය.
වරෙන්තු නිකුත් කර පැය 48ක් යනතුරුත් රහස් පොලිසියට දොස්තර රාජිත සේනාරත්න සොයාගත නොහැකි වීම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක්ද හට ගත්තේය. ඒ අතරේ මන්ත්‍රීවරයාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපහු කැඳවන ලෙස ඉල්ලා සිටිමින් ඔහුගේ නීතිඥයන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මෝසමක් ගොනු කළද පසුව එය ඉල්ලා අස්කර ගත්තේය. මන්ත්‍රීවරයා රෝහල්ගත වීමට සූදානම් වන බවට පැතිර ගිය ආරංචිය නිසා රහස් පොලිස් නිලධාරීහු රෝහල්වලද සැරි සැරූහ. එහෙත් මන්ත්‍රීවරයා ආගිය අතක් නැත.
අවසානයේදී මන්ත්‍රීවරයා ඉකුත් 26 වැනිදා රෑ ජාමේ ප්‍රාදුර්භූත වන්නේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙනි. එහි හෘද දැඩි සත්කාර ඒකකයට රාත්‍රි 7.30ට ඇතුළත් වන්නේ ප්‍රබල දේශපාලනඥයකුගේ වාහනයකින් පැමිණීමෙන් පසුව බව කියවිණි. දොස්තර රාජිත සේනාරත්න ලංකා රෝහලේ සිටින බව සැලවී රහස් පොලිසිය එහි යද්දීත් එජාප දේශපාලනඥයන්ද එහි පැමිණ සිටියහ.
රහස් පොලිස් නිලධාරීන්ට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොවුණේ ඔහු හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වී සිටි නිසාය. වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගත් වහාම ළඟම සිටින මහෙස්ත්‍රාත්වරයා රැගෙන විත් ඔහු හමුවට යොමු කළ යුතුය. නමුත් රාජිත සේනාරත්න හෘද රෝගියකු බව පැවසුණු නිසා ප්‍රධාන වෛද්‍යවරයා පසුදින (27) පැමිණෙන තුරු අත්අඩංගුවට ගැනීමක් නොකර අධිකරණයට කරුණු වාර්තා කිරීමට රහස් පොලිසියට සිදුවිය.
ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර් වෛද්‍ය වාර්තාවක් නිකුත් කරමින් අධික රුධිර පීඩනය, ආතතිය වැනි රෝගී තත්ත්වයන්ට ඇමැති රාජිත සේනාරත්න භාජනය වී ඇතැයි අධිකරණයට දන්වා තිබිණි.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ සැකකරුවන් වන උණ්ඩියල් අතුල හා සරත් යන දෙදෙනාගේ නඩුව සිකුරාදා (27) කැඳ වූ අවස්ථාවේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් විය. මෙම වෛද්‍ය වාර්තාව පදනම් කරගෙන ඇමැති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වුවද රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වන්නට යළිත් බී වාර්තාවක් සැකසුවේ වෛද්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමටය.
ඒ අනුව 27 දා පස්වරු 2.15ට පමණ ඇමැතිවරයා රහස් පොලිසිය විසින් රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉනික්බිතිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලිනි පෙරේරා රෝහලට පැමිණ සැකකාර මන්ත්‍රීවරයාගේ තත්ත්වය නිරීක්ෂණය කර ඔහු මේ මස 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් භාරයේ තබා ගන්නා ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඡායාරූප- ලලිත් පෙරේරා,
ක්‍රිෂාන් කාරියවසම්, සමන් අබේසිරිවර්ධන