විශේෂාංග

ආගම්වලට සම්බන්ධ උගත්තු මළසිරුරු ආදාහනය කරන්නැයි එකහෙළා යෝජනා කිරීමට පැකිලෙති

කොවිඩ් 19 වයිරස ආසාදනය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය නොකර භූමදානය කිරීම පිළිබඳ මානුෂිකව සලකා බලා ඒ සඳහා අනුමැතිය දෙන්නැයි ඇතැම් මුස්ලිම් පාර්ශ්ව රජයෙන් කළ ඉල්ලීම නිසා රට තුළ කලබගෑනියක් හටගෙන තිබේ.

මේ ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කෙරෙන කරුණු දෙකකි. එකක් කොවිඩ්-19 නිසා මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමයි. අනෙක, මළසිරුරු භූමදානය කළ යුතු බවට පවතින ඉස්ලාම් නීතියයි.

ලෝ.සෞ.සං. මළසිරුරු භූමදානය කිරීම අනුමත කරන්නේ ඒ ඒ පරිසරවලට අනුව අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුවට යටත්වය. අලුත් වසංගතයකදී වැඩි ආරක්ෂාව පිණිස විෂබීජ සහිත මළසිරුරක් ආදාහනය කිරීම සුදුසු යැයි තීන්දු කිරීම ලෝ.සෞ. සංවිධානයටද අසීරු කරුණකි. ඒ එහි සාමාජිකයන්ද ආගමික නීතිවලින් බැඳී සිටින නිසාය. ඉස්ලාම්, කිතුණු, යුදෙව් ආගම් සියල්ලම මළසිරුරු භූමදානය කිරීම අනුමත කරයි. ඒ කිසියම් දිනෙක සිදුවන අවසන් විනිශ්චයට මුහුණදීම පිණිසය. භූමදානය කරනු ලබන පුද්ගලයා අවසන් විනිශ්චය දවස තෙක් සමාදානයේ සැතපී සිටිතැයි ඔවුහු විශ්වාස කරති. ඒ නිසා මේ ආගම්වලට සම්බන්ධ උගත්තු මළසිරුරු ආදානය කරන්නැයි එකහෙළා යෝජනා කිරීමට පැකිළෙති.

මළසිරුරුවලින් කොවිඩ් -19 වයිරසය පැතිරීමේ අවදානමක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එකහෙළාම කියා නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහත අදහස්වලට අවධානය යොමු කරමු.

“මරණ පරීක්ෂණයකදී අනිසි ලෙස හසුරුවනු ලැබුවහොත්, ඉන්ෆ්ලුවන්සා වසංගතය නිසා මියගිය අයකුගේ පෙණහලුවලින් රෝගය බෝවිය හැකිය.”

“කොවිඩ් 19 අලුත් වයිරසයකි. එහි ප්‍රභවයන් හා ඉදිරිගමන ගැන තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි නැත. ඒ නිසා තවදුරටත් තොරතුරු අනාවරණය වන තුරු වඩාත් ආරක්ෂාකාරීම කටයුතු කළ යුතුය.”

ලෝ.සෞ. සංවිධානයේ සැබෑ නිර්දේශය දෙවැනි වගන්තියෙන් පැහැදිලිය. නිසි පරිදි කළමනාකරණය නොකරන මරණ පරීක්ෂණයකදී ඉන්ෆ්ලුවන්සා රෝගය බෝවීමේ ඉඩක් තිබේ නම්, කඩිමුඩියේ වළලන කොවිඩ් 19 මරණකරුවකුගේ ​ෙපණහලුගත කොවිඩ්-19 විෂබීජ බාහිර පරිසරයට එක්වීමේ අවදානමක් නැතැයි සහතික විය නොහැකිය.

බෝවන රෝග පිළිබඳ අන්තර් ජාතික සමාජ වෙබ් අඩවියට (https://isid.org) ‘මිනිස් මෘතදේහවලින් රෝග බෝවීමේ අවදානම’ මැයෙන්, වෛද්‍ය පීටර් එන්. හොෆ්මාන් සහ වෛද්‍ය ටී.ඩී. හීලින් සැපයූ ලිපියක (අවසන් සංස්කරණය 2018 පෙබරවාරි) මෙසේ සඳහන් වේ.

“මළසිරුරක පටක රෝග බෝකිරීමේ අවදානමෙන් යුතුවිය හැකිය.”

“ඇටසැකිලි බවට පත් වන තෙක් දිරාපත්, දිගු කලක් වළදමා තිබුණු සිරුරු හානිදායක නැත.”

මෙසේ පවසන ඔවුහු මෙවැනි නිර්දේශයක් ඉදිරිපත් කරති.

“කටයුතු කරන්නේ මෑතකදී මියගිය සිරුරක් සමග වේවා කලකට පෙර වළ දැමූ සිරුරක් සමග වේවා, මොන ආකාරයක විෂබීජයක් එහි තිබිය හැකිද යන කරුණ නොතකා හැර, (යට දැක්වෙන පරිදි) කටයුතු කිරීමෙන් විෂබීජ ආසාදනය වීම විශාල වශයෙන් අඩුකරගත හැකිය.”

මේ උපදේශයෙන් ව්‍යංගයෙන් ඇඟවෙන්නේ මළසිරුරු නිසා රෝග බෝවීමේ ඉඩකඩද පවතින බවයි. එම නිසා කොවිඩ්-19 රෝගය නිසා මියයන්නන්ගේ සිරුරු ආදාහනය කිරීම, ජීවත්ව සිටින ජනතාව වෙනුවෙන් ගන්නා ඉතා හොඳ ආරක්ෂක පියවරකි.

යම් යම් මුස්ලිම් පාර්ශ්ව මළසිරුරු භූමදානය කරන්නට ඉල්ලන්නේ ඔවුන්ගේ ආගමික නීතියක් ආරක්ෂා කිරීමටය. අවසන් කටයුතු පිළිබඳ ඉස්ලාම් නීතියෙහි ඒ ඒ රටවල ඒ ඒ කලාපවලට අනුව සිදුකරන ලද වෙනස්කම් තිබෙන නමුදු මූලික මූලධර්ම කිහිපයක් සියල්ලන්ටම පොදුය. බ්‍රිතාන්‍යයේ ආගමික හා වාර්ගික සමගිය සඳහා වන මුස්ලිම් මණ්ඩලයේ සභාපති, ඉමාම්වරයකු වන ආචාර්ය අබ්දුල්ජලීලි සජිඩ් පවසන පරිදි මුස්ලිම්වරයකු මියගිය පසු හැකි ඉක්මනින් වළදැමීමට (පැය 24කට පෙර) හේතුව, ජීවත් වන්නන්ගේ සනීපාරක්ෂාව තහවුරු කිරීමයි. එය මළසිරුරක් නිසි පරිදි පිරිසිදු කිරීමට පහසුකම් නොතිබුණු පුරාණ කාලයේ ඇරඹි නීතියකි. එහෙත් යුද්ධයකදී හෝ කිසියම් ගැටුමකදී මියයන්නකුගේ නොඑසේ නම්, ස්වාභාවික නොවන ආකාරයකින් මියයන්නයකුගේ අවසන් කටයුතුවලදී මේ නීතිය වෙනස් වෙයි. ආචාර්ය සජිඩ් පවසන්නේ, එවන් අවස්ථාවල ‘රාමුවෙන් පිට’ කටයුතු සිදු කෙ​ෙරන බවයි.

බ්‍රිතාන්‍යයේ යුනිවර්සිටි ඔෆ් වේස්ල් ට්‍රිනිටි ඩේවිඩ්හි ඉස්ලාම් අධ්‍යයන අංශයේ පර්‌යේෂකයකු වන ආචාර්ය මාවිල් ඉසින් ඩීන් පවසන පරිදි, පුරාණයේ යුද්ධවලදී මිය යන පුද්ගලයන්ගේ සිරුරු, සේදීම, පෙට්ටිවල දැමීම සිදු කර නැත.

ආචාර්ය සජිඩ් පවසන පරිදි, මළසිරුරු කැපීම තහනම් බැවින්, මරණ පරීක්ෂණ කිරීම සපුරා තහනම්ය. මළසිරුරු කැපීම තහනම් කිරීමට හේතුවද විෂබීජ පරිසරයට එක්වීම වැළැක්වීමය.

මේ අනුව බලන කල, ඉස්ලාම් නීතියට පටහැනි බැවින් මිය යන මුස්ලිම් භක්තියකයන්ගේ සිරුරු මරණ පරීක්ෂණවලින් තොරවම භූමදානය කළ යුතු යැයි කිසියම් අන්තවාදී පාර්ශ්වයක් ඉල්ලීම් ඉදිරිපත් කිරීමටද ඉඩ තිබේ.

ඉස්ලාම් ආගම පිළිබඳ උගත් මුස්ලිම්වරුන්ම පවසන ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ, මළසිරුරු භූමදානයට අදාළ ඉස්ලාම් නීති, ප්‍රධාන වශයෙන්ම ජීවත් වන්නවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව මුල්කොටගෙන හඳුන්වාදී ඇති බවයි.

පුරාණයේ නීති සම්පාදනයේදී සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දී ඇති බව මුස්ලිම්වරුන් පිළිපදින තවත් සිරිත් ආශ්‍රයෙන්ද තහවුරු කළ හැකිය. මුස්ලිම්වරුන් ඌරු මස් නොකන්නේ, එය ආගමික නීතියක් බැවිනි. ඉස්ලාම් ආගමට මේ නීතිය එන්නේ පරණ තෙස්තමේන්තුව හෙවත් යුදෙව් බයිබලයෙනි. කුරානය, පරණ තෙස්තමේන්තුව ඇසුරින් සකස් කරගන්නා ලද්දකි. යුදෙව් බයිබලයේ එක් නීතියකට අනුව කුර සහිත සතුන්ගේ මස් ආහාරයට ගැනීම අනුමත නමුත් කුර ඇතත් වමාරා නොකන සතුන්ගේ මස් ආහාරයට ගැනීම තහනම්ය. ඌරු මස් අනුභවය මුස්ලිම්වරුන්ට තහනම් වන්නේ, ඌ කුර ඇති සතෙකු වුවත් වමාරා නොකන නිසාය. යුදෙව් බයිබලයට මේ නීතිය එක් වන්නේ ඉතාම ප්‍රායෝගික කරුණක් නිසාය. ඌරා අශූචි ඇතුළු මිනිසුන් විසින් ඉවත දමනු ලබන බොහෝ දෑ කෑමට ප්‍රිය සතෙකි. ‘මෝසස්’ගේ නායකත්වය යටතේ ඊජිප්තුවේ සිට කිරි පැණි ගලන දේශයක් සොයා පිටත් වූ දස දහස් සංඛ්‍යාත යුදෙව් ජනයාට මාස ගණනාවක් මුළුල්ලේ කාන්තාරය හරහා ගමන් කිරීමට සිදු විය. මේ ගමනේදී මලපහ ඇතුළු අපද්‍රව්‍ය නිසා හටගත හැකි රෝගවලින් බේරීමට තිබුණු පහසුම මගක් වූයේ ඌරන් රැගෙන යෑමයි. ඌරා ඒ සියල්ලටම වගකියන බැවිනි. ඌරා මැරීම තහනම් කෙරෙන නීතියක් යුදෙව් බයිබලයට එක්වූයේ ඒ අනුවය. ඉස්ලාම් ආගමිකයන්ට ඌරු මස් තහනම එන්නේ යුදෙව් බයිබලය හරහාය.

අද සිටින මුස්ලිම් නායකයන් කටයුතු කළ යුත්තේ, අද කාලයට ඔබින අයුරින් බවට ඇතැම් ඉස්ලාම් උගත්තු පෙන්වා දෙති. දකුණු ඔස්ට්‍රේලියානු ඉස්ලාම් සංගමයේ සභාපති, ෂෙයික් මොහොමඩ් තවුහිඩි ඉමාම්වරයා ඉස්ලාම් සමාජය ප්‍රතිසංස්කරණය විය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. වර්තමානයට ගැළපෙන අයුරින් ඉස්ලාම් සමාජය වෙනස් විය යුතු බවත් ඇතැම් ඉස්ලාම් පොත පත තහනම් කළ යුතු බවත් එසේ නොවුවහොත් ඉස්ලාම්වරුන් පමණක් නොව, ලෝකයම නොබෝ කලකින් විනාශ වනු ඇති බවත් ඔහු පවසයි. “අපට හැම කොනකම බුර්කාවත් මස්ජිඩයත් අවශ්‍ය නැතැ”යි ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ වරක් දෙවරක් නොවේ.

සැබෑ නායකයන් කටයුතු කරන්නේ එපරිද්දෙනි. ඔවුහු, සියවස් ගණනකට පෙර පැවති සමාජයට අනුකූලව පනවන ලද නීති ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමෙන් වැළකී වර්තමානයට ගැළපෙන පරිදි තම ජනතාව පෙළගැස්වීමට කටයුතු කරති. මේ අසීරු අවස්ථාවේ සැබෑ නායකයන් කටයුතු කළ යුත්තේ එසේය. බෞද්ධ, හින්දු, කිතුණු ආගමික නායකයන් මෙන්ම ජනතාවද සෞඛ්‍ය බලධාරීන්ගේ නීතිවලට අනුව යමින්, සිය හිතෛශීන් කොවිඩි 19 ආසාදනයෙන් මිය ගිය විට සාම්ප්‍රදායික ආගමික වත්පිළිවෙත්වලින් තොරව අවසන් කටයුතු කිරීමට එකඟතාව පළකරති. මුස්ලිම් නායකයන්ගේත් ජනතාවගේත් යුතුකම විය යුත්තේද එයයි. මෙවන් වසංගතයක් අවස්ථාවේ ඔවුන් මානුෂිකව බැලිය යුත්තේ මියගිය පුද්ගලයන් දෙස නොව, වසංගතය මැද ජීවත් වන පුද්ගලයන් ගැනය.

ආගමික නීති පසෙකලා පොදු ජනයාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අවස්ථා ගැන ඉතිහාසයේ සාක්කි තිබේ. හොඳම නිදසුනක් වන්නේ, ක්‍රි.ව. 1187 වසරේ, යෙරුසලම නගරය, ෂලඩින්ගේ නායකත්වයෙන් යුතු මහමදික හමුදාවෙන් බේරාගැනීමට කළ යුද්ධයේදී බේලියන් ආදිපාදවරයා කටයුතු කළ ආකාරයයි. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ රිඩ්ලි ස්කොට්, මේ සිද්ධිය අලළා ‘කිංඩම් ඔෆ් හෙවන්’ නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබේ. මේ යුද්ධයෙන් දෙපාර්ශ්වයේම විශාල පිරිසක් මිය ගියහ. ෂලඩින්, මිය ගිය සිය සෙබළුන් සමූහ මිනී වළක වළ දැමුවේය. බේලියන්ගේ අදහස වූයේ මියගියවුන් වළ නොදමා ආදාහනය කළ යුතු බවයි. බිෂොප්වරයා ඊට එරෙහි විය.

“පිච්චුවොත්, ඒ අයට අවසාන විනිශ්චය දවසේ දෙවියන් වහන්සේට මුහුණ දෙන්න ලැබෙන්නෙ නෑ.” බිෂොප්වරයා කීවේය. බේලියන්, මෙසේ අවසාන තීන්දුව දුන්නේය.

“නොපිච්චුවොත්, දවස් තුනක් යද්දි මේ ජීවත්වෙලා ඉන්න සේරම අසනීපවෙලා මැරිලා යාවි. ඒ නිසා අපි මියගිය අය ආදාහනය කරමු. දෙවියන් වහන්සේ මේක තේරුම් ගනී. එහෙම දෙයක් තේරුම් ගන්න බැරි කෙනෙක් දෙවිකෙනෙක් වෙන්න බෑ.”

ජීවත්වන අයට අවසාන විනිශ්චය ලැබේවි

ප්‍රියන්ති කරුණාතිලක