විශේෂාංග

අව්ව රුදු කාලයේ අවුරුදු

සිංහල අවුරුද්ද උදාවෙයි. එය දුරාතීතයේ සිට අපේ ජීවිත මිහිරියාවෙන් වෙලා ගත්තා වූ උළෙලකි. අපගේ කව් ගී නවකතාදියේද, ටෙලි නළුවේද, සිනමා සිත්තමේද එය පෙනෙන්නේ විචිත්‍ර වූ සිත් වසඟ කරන්නා වූ උළෙලක් ලෙසිනි.  අප එකම දැයක් බව හදවතට දැනෙන මහා ජාතික උළෙල වන්නේ සිංහල අලුත් අවුරුද්දය.

මුළුමහත් ජාතියක්ම එකම නැකතකට වැඩ නතර කරන්නේය. මුළු මහත් ජාතියම එකම අතකින් එක ගිනි සිළුවකින් පත්තු කරන්නාක් සේ සෑම ගෙදරකම එකටම ළිප ගිනි මෙළවෙන්නේය. ඊළඟට දුගී දුප්පත්, බාල, මහළු භේදයක් නැතිව එකම මොහොතේ කිරෙන් පිසූ බතක් බුදින්නේය. මුළුමහත් දැයක් එකම මොහොතක මේ දෑ කරන්නේ පූර්ව ජන්මයේ හිඳ කතිකා කරගෙන පැමිණියාක් සේය. එකම හූයකින් බැඳී, එකම රිද්මයකින් කුමක්දෝ සතුටකින් මත්ව ගොස් මේ දින කිහිපය ගෙවා දමන්නේය. පුළුපුළුවන් හැටියට කෑමෙන් බීමෙන් සුබපැතුමෙන් ද බැඳුන සැමදා නැවුම් වෙන ධර්මතාවක ගිලී ගතකරන දින කිහිපයකි, සිංහල අලුත් අවුරුද්ද.

මුලින්ම අවුරුද්ද උදා වෙන්නේ දරුවන්ගේ නොයිඳුල් චිත්තසන්තානයටය. අලුත් අවුරුද්දේ දරුවන් සිත් සතුටින් පීදෙන්නේ තුන්සිය හැටපහක් දවස්වල කෙතේ, කමතේද වැඩබිමේදී කඹුරමින් වෙහෙසෙන මාපියන්ද මේ දින කිහිපයේ නිවී සැනසිල්ලේ ප්‍රීතියෙන් යුතුව ඉන්නා බව දැකීමෙනි. අවට සිටින සියල්ලන්ද නිවී සැනසිල්ලේ තමන් හා කෙළිකවටකමෙන්, සතුටින් ඉන්නවා දැකීමෙනි ළමා සිත් ප්‍රීතිය උරා බොන්නේ. ළමා දින, ගුරු දින, කම්කරු දින, අත් සෝදන දින තවත් එන්නට ඉතිරිව ඇත්තේ පශ්චාත්භාගය සෝදන දිනයක් පමණි. හැට හුටහමාරක් දින ඇතත් ඒවා සමරන්නේ අතළොස්සකි. එහෙත් සිංහල අවුරුද්ද කාගේ ඇණවුමක් නැතත් පැළේද පිලේද මහ මැදුරේද එකාවන්ව කති. ඒ එය මේ මහ පොළොවට අයත් දෙයක් වන බැවිනි.

අලුත් අවුරුද්දේ මිහිර මුලින්ම දැනෙන්නේ ගහකොළටය. ගහකොළ නිසි කලට මල් ගෙඩි පුබුදින්නේය. කෝඳුරුවාගේ සිට වව්ලාගේ, ගිරවාගේ සහ කොහා දක්වා අප්‍රමාණ වූ කුරුළු කොබෙයියෝ වේලාසන ඉඳන්ම චාරිත්‍ර නැතත් අවුරුදු කති.

අවුරුද්ද කියන්නේ අව්ව – රුදුකාලය ය. අව්ව සැර කාලයය. ගහකොළ කපා බිම හෙළා ඒ පොළොවේ කොන්ක්‍රීට් අතුරා දිය බින්දුවක සෙනෙහස, උරන්නේ නැති කොන්ක්‍රීට් මාවත්ද, උද්‍යානද, පුරවරද ගොඩ නැගූයෙන් මෙවර අවුරුදු කාලය සෞදි අරාබියේ කතරක රශ්මිය බඳු රස්නයක් දැනෙන්නට විය. එහෙත් සිංහල අවුරුද්දේ මනුෂ්‍ය සංහතියේ වරද සොයා විචාරා කාගේත් හිත් රිද්දන පරණ කෝන්තර පිරිමහන සිරිතක් නොවේ. එය පරණ කුණු කන්දල් අතුගා දැමූ වැලි මළුවක් සේ සිත පිනවන දවසකි, කාලයකි. එබැවින් පැරණි වැරදි අමතක කර මතු පරපුරටත් නූපන් පරපුරටත් අවුරුදු කාලය අව්ව සැරෙන් පීඩා නොවදින කාලයක් බවට පත් කිරීමය, අපේ යුතුකම.

අවුරුද්ද දුරාතීතයේ තිබූ ආකාරයටම උත්පාද කරගන්නට වෙහෙසිය යුතු දෙයක් නොවේ. උපන්දා සිට කඩෙන් කැකුළු හාල් ගෙනත් කා පුරුදු ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බැත පාගා ගෙට ගත් අලුත් සහල් කොයින්ද? නළ වතුරෙන් සැනසෙන ජනතාවක් ළිඳ සමග ගනුදෙනු කරන්නේ කොහොමද? අතීතයට අයත් ඇත්තෝ අවුරුදු කෑ අයුරුය. දුරාතීතයේ තිබූ කර්මාන්ත ජීවනෝපායයන් නමැති විය ගහ බිඳුන කල ඒ හා බැඳී ආ සිරිත් විරිත් වෙනස් වීමේ අරුමය කිම. අලුත් සහල් නැතත් ළිං ජලය නැතත් අලුත් අවුරුද්ද එන්නේය.

වෙනස්වන ධර්මතාවන්ට අනුරූපව සිංහල අවුරුද්දේ මිහිරියාව භාර ගැනීමට ජාතිය අලුත් තාලෙට හැඩ ගැසී ඇත. සූදානම්ය. එදා මෙන් ඔංචිලි වාරම්, රබන් සුරල් උණ වෙඩි හඬ අද ගම්ගොඩෙන්වත් ඇහෙන්නේ නැත. එහෙත් රතිඤ්ඤා නාදයද, පැදුරු සාජ්ජද, නවීන සූප කලාවට පිසූ මාළුපිනිද, පවුලේම අයගේ අවුරුදු උළෙලවල්ද, සහිතව අවුරුදුවල චමත්කාරය අපේ ජාතිය මතු කරගෙන සිටිති. එසේ තුටුවන අලුත් ජන සංහතිය මැද්දට පැන අපට අවුරුදු සතුට සිත්පුරා විඳගත හැකිය.
ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට සපිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!