brand logo
logo

අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට එන 225ටම පී.සී.ආර්.

16 June 2020

අගෝස්තු 05 වැනිදා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා පළමු රැස්වීමට සහභාගී වීමට පෙර බොහෝ දුරට පී.සී. ආර්. පරික්ෂණයකට ලක් කිරීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘අරුණට’ පැවැසීය. අභිනවයෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා ස්ථාවර නියෝග අනුව පළමු රැස්වීමේදී අනිවාර්යයෙන්ම සභා ගැබෙහි අසුන්ගත යුතුය. සභා ගැබෙහි මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාට ආසන පනවා ඇති ආකාරය අනූව සහ එහි ඇති ඉඩකඩ අනුව එකිනෙකා අතර මීටරයේ පරතරය රැක ගැනීමේ අපහසුතාවය මත සමාජ දුරස්ථභාවය රැක ගැනීමේ ගැටලුවක් මීට හේතු වී ඇත.
මන්ත්‍රීවරුන් දෙසිය විසි පස්දෙනා දිවරුම්දීම, කථානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකෙරෙන්නේ පළමු රැස්වීමේදීය. එම නිසා මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ සහභාගිත්වය අනිවාර්ය බව ස්ථාවර නියෝගවල දක්වා ඇතැයිද කී ඉහත ප්‍රකාශකයා එක්කෝ අභිනව මන්ත්‍රීවරුන් පෞද්ගලිකව පී.සී.ආර්. පරික්ෂණ සිදුකර එම වාර්තා ඉදිරිපත් කිරීම හෝ නැත්නම් පාර්ලිමේන්තුව විසින් පවත්වන පී.සී.ආර්. පරික්ෂණයකට ලක්විය යුතුව ඇතැයිද කීය. පසුව පැවැත්වෙන රැස්වීම්වලදී සභා ගැබ තුළ සිටිය හැකි මන්ත්‍රී සංඛ්‍යාව සීමා කිරීම මගින් සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද එම ප්‍රකාශකයා කීවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතැයිද පාර්ලිමේන්තුවට තේරීපත් වන පක්ෂ නායකයන්ගේ අදහස්ද මේ සම්බන්ධයෙන් ලබාගත යුතුව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..