විශේෂාංග

අලුගෝසුවාට පව්ද?

එල්ලුම් ගසට පොහොර දමා සාත්තු කර යළි එයට පණ දිය යුතු බව රටේ ඉහළම තැන මතය වී ඇත. එල්ලුම් ගහට තනියෙම පණ දිය නොහැක. එල්ලුම් ගසට පණ දීමට නම්, අලුගෝසුවාට පණ දිය යුතුය. අලුගෝසුවාට පණ දීමෙන් එල්ලා මැරීමට නියම වූ අයගේ පණ නැසෙයි.

නමුත් මෙය අලුගෝසුවා විසින් අණක් ක්‍රියාත්මක කරනවා විනා ඔහුට වැරදිකරුවා සමග කිසිදු පුද්ගලික කෝන්තරයක් නැත. වැරදිකරුවා එක් අයෙකි. අලුගෝසුවා යනු තවත් රාජකාරියකි. වැරදිකරුවාට ඒ දඬුවම ලැබීමට හේතුවූ වරද සිදුකළේ අලුගෝසුවා අරබයා නොවේ.

අලුගෝසුවාට , වරදකරු සමග අල්පමාත්‍ර තරහක් නැත. බොහෝ විට අනුකම්පාවක් පමණක්ම ඇත. එසේ තිබියදී, ඒ වරදකරුවා එල්ලා මැරීමෙන් අලුගෝසුවාට ප්‍රාණඝාතයක් සිදුවේද?

අලුගෝසුවාට පව් ද? නැතිනම් අලුගෝසුවාට පව් නැති ද? යන්න රැඳෙන්නේ, අලුගෝසුවා විසින් සිදුකරන රාජකාරි ඉටුකිරීමේදී ප්‍රාණ ඝාත අකුසලයක් සිදුවන්නේද නැතිද යන කරුණ මතය.

ප්‍රාණ ඝාතයක් සිදුවීමට නම් කරුණු 5ක් සම්පූර්ණ විය යුතු යුත්තේය. වරදකරුවකු ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මැරීම පිණිස අධිකරණයෙන් ලැබෙන අණ රාජකාරියක් වශයෙන් ගෙන ඉටුකිරීමේදී ප්‍රාණ ඝාත අකුසලයක් සිදුවීම උදෙසා සම්පූර්ණ විය යුතු මෙකී කරුණු 5න් එකක් හෝ මගහැර අලුගෝසුවාට එය කළ හැකි නම් ප්‍රාණ ඝාත අකුසලය ඉදිරියේ අලුගෝසුවා නිදොස් වන්නේය. එම කරුණු 5 එකින් එක ගෙන අලුගෝසු රාජකාරියට එහි ගැළපීම හෝ නොගැළපීම සලකා බලමු.

මේ කරුණු 5 අතරින් පළමුවැන්න නම් පණ ඇති බව දැනීමයි. පයට පෑගුණු නිදිකුම්බා කටුවෙන් එන වේදනාව නිසා කෝපයට පත්ව උදැල්ල ගෙන නිදිකුම්බා ගාලම කපා, ගලවා පුච්චා දැමීම තුළ, ද්වේෂ සිතට අදාළව ඇතිවන අකුසල සංස්කාරයන් මිස ප්‍රාණ ඝාතයක් නැත. මන්ද යමක් ස්පර්ෂ වූ විට හැකිළෙන්නේ නමුත් නිදිකුම්බා ගහට පණක් නැති නිසාය. තම හේන පාළුකරමින් යන විට ළිඳට වැටී මිය ගිය වල් ඌරා ගොඩට ගෙන ‘මර තරහින්’ ඒකාගේ හිස සිඳ දැමූවද එහිදීද හටගත් ද්වේෂ සිතට අදාළ අකුසලයක් මිස ප්‍රාණ ඝාතයක් නම් නොවන්නේය. ඒද එම අවස්ථාව වන විට පණ ඇති සතකු නොවන නිසාය. ඒ අනුව අලුගෝසුවා තමාට ලැබුණු අණට අනුව මේ එල්ලන්නට යන්නේ පණ ඇති සතකු බව නොදන්නේද? නැතිනම් තමන් විසින් එල්ලුම්ගහේ ලීවරය ඇද්ද විට එහි අනෙක් කොන එල්ලී සිටිනුයේ පිටි මුට්ටයක්, හාල් ගෝනියක් හෝ කෙහෙල් බඩයක් වැනි දෙයක් යැයි ඔහුට සිතේද? නැත. මේ එල්ලන්නට යන්නේ පණ ඇති මනුෂ්‍යයෙක් හෙවත් ‘මනුෂ්‍ය පරාණයක්’ බව ඔහු ඉඳුරාම දනියි. ඒ අනුව අලුගෝසුවාට ප්‍රාණ ඝාතයේ එකී කරුණෙන් බේරීමට අවස්ථාවක් නැත.

එම කරුණු 5 අතුරින් දෙවැන්න නම් සතකු බව දැනීමය. සතෙකු බව නොදැන, වෙනත් කටයුත්තකදී, අත්වැරැද්දකින් සතකු මිය ගියහොත් එය ප්‍රාණ ඝාතයක් වන්නේ නැත. ගසක අත්තක් කපන්නට පිහි පහර ගැසූ විට ගසේ අත්තේ පැහැය ගෙන සිටින කටුස්සාට එය වැදී ඒ සතා මියයෑමෙන් අත්ත කැපූ පුද්ගලයාට ප්‍රණා ඝාත අකුසලය සිදු නොවෙයි. නමුත් අලුගෝසුවා එල්ලුම්ගසේ ලීවරය ඇදීමේදී එහි තොණ්ඩුව, කොහේවත් සිටි මරණ දණ්ඩනයට නියම වූ මිනිසකුගේ ගෙලට වැටී ඒ හේතුවෙන් එම මිනිසා එල්ලී මිය යනවා නොවේ. එනම් මරණ දඬුවමට නියම වූ පුද්ගලයා එල්ලීම, අලුගෝසුවා අතින් සිදුවන අත්වැරැද්දක ප්‍රතිඵලයක් නොවේ. එබැවින් ප්‍රාණ ඝාතයට අදාළ දෙවැනි කරුණද අලුගෝසුවාගේ කාර්යයට අදාළය.

ප්‍රාණ ඝාතයක් වීමට අදාළ තෙවැනි කරුණ නම් සත්ත්වයා මැරීමට සිතක් පහළවීමය. අලුගෝසුවාට, මරණ දණ්ඩනය හිමිව ඇති පුද්ගලයා සමග අබමල් රේණුවක පුද්ගලික කෝන්තරයක් නැති නිසා දණ්ඩනය නියම වූ මිනිසාගේ මරණය අලුගෝසුවා හිතකින් හෝ නොපතන්නේ යැයි බැලූ බැල්මටම පෙනී යයි. ඒ අනුව ‘සත්ත්වයා මැරීමට සිතක් පහළවීම’ යන කාරණය අලුගෝසුවා අතින් සිදු නොවන බවක් එකවනම පෙනී යයි. එහෙත් අලුගෝසුවාගේ රාජකාරිය කුමක්ද? එනම් මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයාට එම දණ්ඩනය පැනවීමයි. අලුගෝසුවා විසින් ලීවරය අදින්නේ , කම්මලේ බාස් උන්නැහේ මයිනහම අදින අදහසින්ද? තමා කරන කාර්යයේ ප්‍රතිඵලය අලුගෝසුවා දනියි. ඔහු එම ලීවරය අදින්නේ මරණ දඬුවමට නියම වූ තැනැත්තාව, තොණ්ඩුවේ එල්ලා ඔන්චිලි පැද්දවීමේ අදහසකින් නොවේ. තම රාජකාරිය හෙවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අදහස ඔහුගේ හිතෙන් බැහැර කර, ඔහුට එම ලීවරය ඇදීම කළ නොහැකිය. තමන් මේ ක්‍රියාත්මක කරන්නේ මරණ දඬුවමක් බව අලුගෝසුවාට දැනෙන්නේ නම් ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා’ යි ප්‍රාර්ථනා කරමින් එම ලීවරය ඇද්දද, එම ක්‍රියාත්වීම තුළ මරණ චේතනාව සැඟව ඇත. එබැවින් එම කරුණින්ද අලුගෝසුවාට ගැලවීමක් නැත්තේය. මෙවැනි කරුණු හමුවේ තමන්ට තමන්ගේ හිත රවටාගැනීමට හැකි නමුත් කර්මය රවටාලිය නොහැකිය.

සිව්වැනි කරුණ නම්, සත්ත්වයා මැරීමට ප්‍රයෝගයක් හෙවත් උපක්‍රමයක් යෙදීමයි. ධර්මයේ එවැනි හය ආකාරයක ප්‍රයෝගයන් දක්වයි. පළමුවැන්න නම් ‘සාහත්ථික’ ප්‍රයෝගය හෙවත් තමා අතින්ම මැරීමයි. දෙවැන්න නම් ‘ආණත්තික’ ප්‍රයෝගය හෙවත් අනුන් ලවා මැරවීමයි. මාකඳුරේ මධුෂ්ලා ඩුබායි සිට, වලස්මුල්ල ප්‍රදේශයේ මිනිසකු මැරවීමට කටයුතු කළද, අතේ ලේ නොගෑවුණද, පොලිස් පොතේ සාක්‍ෂි සටහන් නොවුණද ප්‍රාණ ඝාත අකුසලය තමන් කරා ඒමෙන් ඔවුනට ගැලවිය නොහැකිය. යමෙක් මස් කඩයක් වෙත ගොස් එහි කූඩුවේ සිටින පණ සහිත කුකුලකු පෙන්වා, මස් කඩේ මුදලාලිට ‘ඕඩරය’ දැමූ විට කුකුලා මරන්නේ මස් කඩයේ මුදලාලි වුවත් එය උපක්‍රමය වශයෙන් අන් අයකු ලවා සිදුකරන මරණයකි. මස් කඩේ මුදලාලිට මෙන්ම ඇනවුම කළ තැනැත්තාටද ප්‍රාණ ඝාතය එන්නේය. එපමණක් නොව යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කර යකැදුරකු ලවා තව කෙනෙකුගේ ප්‍රාණය සිඳින්නේ නම් යකැදුරාද, ඒ සඳහා ඔහුව යොමුකළ අයද දෙදෙනාම සිටිනුයේ ප්‍රාණ ඝාතය නම් එකම බෝට්ටුවේය. ඒ අනුව අලුගෝසුවාව උපක්‍රමය වශයෙන් යොදා මිනිසකු මැරීමට නියෝග කරන විනිසුරුටද, එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අත්සන යොදන ජනපතිටද, එම දණ්ඩනය ක්‍රියාත්මක වී මිනිසකු මැරීමේදී ප්‍රාණ ඝාත අකුසලයෙන් නම් වැළකිය නොහැකිය. කර්මයේ ඇත්ත කථාව, ඇත්තටම තිත්තය.

එම ප්‍රයෝග අතර අනෙක් ක්‍රමය නම් ‘නිස්සග්ග ප්‍රයෝග ’ හෙවත් ගල්, දඬු, මුගුරු, කඩු, බෝම්බ, වෙඩි තැබීම් ආදියෙන් මරණය සිදුකිරීමයි. සෘධිමය ප්‍රයෝග හෙවත් සෘධි බලයක් භාවිතා කර මැරීමද, විද්‍යාමය ප්‍රයෝග හෙවත් තමන් සතු මන්ත්‍ර, බෙහෙත් ආදී ක්‍රමයකින් මැරීමද ප්‍රාණ ඝාතයේ ප්‍රයෝග අතර වේ. මරණයක් සඳහා යොදන උපක්‍රම අතර අනෙක නම් ‘ස්ථාවර ප්‍රයෝග හෙවත්, බොරු වළවල්, උගුල් ආදිය යොදාගෙන සත්ත්වයන් මරණයට පත්කිරීමයි. ඒ අනුව එල්ලුම් ගසද ස්ථාවර ප්‍රයෝග ගණයේ ලා සැලකිය හැක. අලුගෝසුවා මරණය සඳහා ප්‍රයෝගය ලෙසින් යොදාගන්නේ එල්ලුම්ගසයි. ඒ අනුව සත්ව ඝාතනයේ ‘ප්‍රයෝගයක් යෙදීම’ යන කරුණද අලුගෝසුවාගේ ක්‍රියාත්මකවීමේදී සම්පූර්ණ වේ.

ප්‍රාණඝාතයක් සම්පූර්ණ වීමට නම් අදාළ පස්වැනි කරුණ වන්නේ සත්ත්වයා මරණයට පත්වීමයි. ඉහත කරුණු හතරම සම්පූර්ණ වුවද මෙම කරුණ සිදුනොවන්නේ නම් ප්‍රණාඝාත අකුසලය සම්පූර්ණ වීමක් සිදුනොවේ. (නමුත් ඒ ඒ චේතනාව සහ ක්‍රියාත්මකවීම් අනුව විපාක ඇත) එල්ලුම්ගහේ ලීවරය ඇදීමේදී එල්ලෙන මිනිසා නොමැරී බේරීමේ සම්භාවිතාව මොන තරම් අල්පද? හැරත් මරණ දණ්ඩනය සඳහා නියෝගයේ ඇත්තේ ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මැරීමටය. එබැවින් අලුගෝසුවා ක්‍රියාත්මක වීමේදී මරණයක් සිදු නොවීමට ඇත්තේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමට ඇති ආකාරයේ සම්භාවිතාවකි. එබැවින් කව්රුන් විසින් නියෝග කළද, රැකියාවක් පමණක් ලෙසින් ගෙන එම නියෝගය ක්‍රියාත්මක කළද අලුගෝසුවාට ප්‍රාණ ඝාතයෙන් වැළකිය නොහැකිය. එසේම පෙරකී ලෙසින් අලුගෝසුවාව උපක්‍රමය ලෙසින් ගෙන ප්‍රාණ ඝාතයට තීන්දු දෙන, එම තීන්දු අනුමත කරන කිසිවෙකුටද එයින් මිදිය නොහැක.

නමුත් අලුගෝසුවාට වේවා ඉහත සඳහන් කරුණු සපිරීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුකරගත් අයෙක් වේවා, ඒ ආනන්තරීය පාප කර්මය සිදුකරගත් අයෙක් නොවෙයි නම් මාර්ගඵල අවබෝධ කරගැනීමේ අවස්ථාව වුව ඒ අය සතුය.

ධම්ම පදයේ සහස්ස වග්ගයේ එක් කථාවක ඒ බැව් අපූරුවට දැක්වේ. ඒ, වසර පනහක කාලයක් පුරා රජ අණින්, දහස් ගණනක් සොරුන් වෙත මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ ‘චෝර ඝාතක’ නමින් හැඳින්වූ තම්බදාඨික නම් අලුගෝසුවකු ගැනය. පෙර භවයේ කළ පින් ඇති ඔහු මෙලෙස, අලුගෝසුවකු වූ පමණින් ඒ පවින් වැසී යන්නට ඉඩ නොදිය යුතුය යන අනුකම්පාවෙන්, කල්‍යාණමිත්‍ර භාවයෙන්ම මේ ‘චෝර ඝාතක’ වෙත සැරියුත් තෙරණුවෝ මොහුගේ ගෘහය වෙත වැඩම කළහ. මේ අලුගෝසුවාගේ දන් පිළිගෙන, දම් දෙසීමට යද්දී ඔහුගේ සිත දහම් ඇසීමට එකඟ නොවන බව දැක එයට හේතු විමසා සිටියහ. දහස් ගණනකගේ ජීවිත තොර කළ බවට තම සිතේ ස්වයංව පැනනගින චෝදනාව ගැන එවිට ඔහු තෙරුන් වහන්සේට පවසා සිටියේය. මෙය ඇසූ සාරිපුත්‍රයන් වහන්සේ ඒ මිනිසා ඒ කටයුතු සිදුකළේ තමන්ට මිනිසුන් මැරීමේ අවශ්‍යතාව නිසාද, නැතිනම් රජ අණ නිසාදැයි විමසූහ. එය සිදුකළේ රජ අණ නිසාම බැව් මේ අලුගෝසුවා පිළිතුරු දුන් විට ‘ඉතිං නුඹට පව් ද?’ යි සාරිපුත්‍රයන් වහන්සේ විමසා සිටියහ. මේ කී වදන් පෙළ අලුගෝසුවා විසින් තේරුම්ගත්තේ රජ අණින් මරණය ක්‍රියාත්මක කළ විට අලුගෝසුවාට පව් නැතැයි කියාය. සිය කාරුණික වදනින්, කාරුණික ප්‍රයෝගයෙන්, ඒ පුද්ගලයාගේ වූ පාපයේ අඳුරු මතකය උදුරා දමා, ඔහුට නිදහස් සිතින් දහම ඇසීම පිණිස අවස්ථාව සැලැස්වූ උන්වහන්සේගේ එම උත්සහයේ ප්‍රතිඵලය වූයේ ඒ තැනැත්තා සෝතාපන්න භාවයට පැමිණීමය. ‘ඉතිං නුඹට පව් ද?’ යි සාරිපුත්‍රයන් වහන්සේ කීවේ අලුගෝසුවකු ලෙසින් කළ දෑ, රජ අණින් කළ නිසා ඔහුට ප්‍රාණ ඝාතයක් නොවන බව නම් නොවේ. ඒ සිදුකළේ පාපකාරී මනසින් ඔහුව මුදාගැනීමට උපායක් යෙදීමය. කළ්‍යාණමිත්‍රභාවයෙන් දහම විවර කරදීමය.

නමුත් රාජ්‍ය නීතියක් ක්‍රියාත්මක කිරීම ප්‍රාණ ඝාතයෙන් වැළකීමට හේතුවක් නම් නොවේ. ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දරුපවුලට අර සා දඬුවමක් දුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඒ සම්බන්ධයෙන් පැවසුවේ තමන් රාජ නීතිය ක්‍රියාත්මක කළා පමණි යනුවෙනි. නමුත් ප්‍රාණ ඝාතය කිරීමේ පවින් වැළකීමට රජ කම් කළත් ඔහුට බැරිවේ.

එසේම මේ සා දහමකින් පෝෂණය වූ රටක මෙවැනි දඬුවම් ඇතුළුව දෙතිස් වදයක් ක්‍රියාත්මක වූයේ කෙසේද යන පැනය යමෙකුට පැනනැගිය හැකිය. බුදුරජාණන් වහන්සේ කිසිදු විටක රාජ්‍ය පාලනයේ ඇති එවැනි දඬුවම් ක්‍රම ගැන විවේචනය කරන්නට නොගියේය. රාජ්‍ය පාලනයත්, දහමත් අතර වෙනස උන්වහන්සේ හොඳින්ම හඳුනාගෙන සිටියේය. වරක් කොසොල් රජතුමා මනුෂ්‍යකුට මරණ දණ්ඩනය නියම කර, ඉන් අනතුරුව දහම් ඇසීම පිණිස බුදුන් හමුවට පැමිණෙන්නේය. නමුත් එහිදී වුව එකී මරණ දණ්ඩනය පිළිබඳ කිසිවක් නොවිමසූ බුදුන් ඒ වෙනුවට රජුට පවසන්නේ මිනිසුන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන හතරට යටවීමෙන් වැළකිය නොහැකි බව පමණි.

අත්ථානුවාද බය, පරානුවාද බය, දුගති බය, දණ්ඩ බය යැයි බිය සතරක් මෙලොව සිටින පුද්ගලයන් තුළ වේ. අත්ථානුවාද බය යන තමන් අතින් සිදුවූ වැරදි යමක් සම්බන්ධයෙන් සිය හෘද සාක්‍ෂිය විසින් කරනු ලබන චෝදනාව පිළිබඳව ඇතිවන බයයි. පරානුවාද බය යනු තමන් වැරදි යමක් කිරීමේදී සමාජයෙන් දෝෂාරෝපණයට ලක්වීම පිළිබඳව ඇතිවන බියයි. දුගති බය යනු වැරදි කිරීමේදී කර්මය අනුව දුගතිගාමීවීම පිළිබඳව ඇතිවන බියයි. මෙකී තුන් බියම ඇතිවන්නේ දහම පිළිබඳව දන්නා අයෙකුටය. හොඳ නරක ගැන අදහසක් ඇත්තෙක්ටය. එවන් අදහසක් ඇති පුද්ගලයා තමා විසින්ම සිතා වරදින් ඈත් වන්නට උත්සහ කරයි. මෙවැනි අංශු මාත්‍රයක හෝ අදහස් නැති අයෙකුට වුව ඇතිවන බයක් වේ. එනම් දණ්ඩ බියයි. වැරදි කළහොත් රජවරුන්, රාජ්‍යය විසින් තමන්ව දණ්ඩනයට ලක්විය හැකි බව සිතා ඔහු වැරදි කිරීමෙන් වැළකී සිටීමට උත්සහ ගනියි. රාජ්‍යයක දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නේ මිනිසුන් වරදින් ඈත් කිරීමටය. දහමේදී පින් පව් හඳුනාගැනීම මගින් සිදුවන්නේද මෙයය. දහමට ලැදි මෙන්ම දහමක් නොමැති යන දෙකොට්ඨාසයේම මිනිස්සු සමාජයේ වෙති. රාජ්‍ය නීතිය හා දහමේ පින් පව් ඇතර මත ගැටුමක් හට නොගත්තේ මේ පිළිබඳ අවබෝධයෙනි. නමුත් සමාජය විසින් දහම ජීවන හරය බවට පත්කර ගත් විට, අලුගෝසුවාට වැඩ නැත. අලුගෝසුවාට රාජකාරි නැති නම් ඔහුට පව් නැත.