අලි 17 දෙනකු වසර හතරකදී රු.කෝටි 24ක් ගිලලා
25 December 2019
අලි 17 දෙනකු වසර හතරකදී රු.කෝටි 24ක් ගිලලා
25 December 2019
අනවසරයෙන් විවිධ පුද්ගලයන් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන පින්නවල අලි සංරක්ෂණාගාරයට භාරදී තිබෙන, අලි 17 දෙනෙකු නඩත්තු කිරීම සඳහා වසර 04 ක කාලයකට රුපියල් කෝටි 24 කට අධික මුදලක් වැයවී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම අලි අත්අඩංගුවට ගෙන ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. ඒවාට අධිකරණයේ නඩු ද ගොනුකර තිබේ.
මෙම එක අලියෙකු නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් 10,000 ක් වැය වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ පැවසුවාය.
මෙම අලි 17 දෙනා නඩත්තු කිරීම සඳහා වසර හතරක කාලයකට වැයවී ඇති මුදල රුපියල් විසිහතර කෝටි අසූදෙලක්ෂය (24,82,00000.00) කි.
පින්නවල අලි සංරක්ෂණාගාරයේ කටයුතු සොයා බැලීම සඳහා පරිසර හා වනජීවි,ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්.චන්ද්‍රසේන ඊයේ (24 වැනිදා) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
බලපත්‍ර නොතිබීම ආදී කාරණා මත විවිධ පුද්ගලයන් ළඟ තබාගෙන සිටි අලි 19 දෙනෙකු පසුගිය වසර හතරක කාලය තුළදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
එම අලි හිමිකරුවන්ට විරුද්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු ගොනුකර ඇති අතර, අලි රැක බලා ගැනීම සඳහා පින්නවල අලි සංරක්ෂණාගාරයට භාරදී තිබේ.
අලි 19 දෙනොගෙන් එක් අලියෙකුගේ නඩුව අවසන්වීමෙන් පසු අදාළ හිමිකරුට නිදහස් කර ඇති බවත්, අනෙක් අලියා හම්බන්තොට සෆාරි උද්‍යානයේ සිටින බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය කීවාය.
සාලිය කුමාර ගුණසේකර