News

අලි රොෂාන්ට එරෙහි නඩුවේ විත්තිකරුවෙක්ට අධිකරණයෙන් අවවාද

විත්තිකරුවන්ට ලිපි මඟින් අධිකරණය සමග ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැති බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (09) නඩුවක විත්තිකරුවකු ලෙස නම් කර සිටින වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පත්මසිරි මහතාට අවවාද කළේය.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගනීමෙන් ජාවාරම් කළ බවට චෝදනා කරමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (09) කැදවනු ලැබු අවස්ථාවේදී එහි විත්තිකරුවකු ලෙස නම් කර සිටින වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ උපාලි පද්මසිරි මහතා වෙත මෙම අවවාද කිරීම කිරීම සිදුකරනු ලැබීය.

මෙම නඩුව අද විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී. එහිදී විත්තිකාර උපාලි පද්මසිරි නමැත්තා ලිපියක් මගින් අධිකරණය වෙත විත්තිවාචකයක් ඉදිරිපත් කර තිබෙන බව අනාවරණය විය. එම විත්තිකරු වෙනුවෙන් අද දින අධිකරණය හමුවේ නීතිඥවරයෙකු ද පෙනී සිටියේ නැත. රජයේ වියදමින් නීතිඥ වරයෙකු පත්කිරීමට අවශ්‍යදැයි විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ඊට එකග නොවීය.

අධිකරණයට යමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විත්තිකරුට අවවාද කළ විනිසුරු මඩුල්ල මීළඟ දින නීතිඥවරයෙකු සමඟ අධිකරණය හමුවේ නඩු විභාගය සදහා පෙනී සිටින නියෝග කළහ. ඉන් අනතුරුව නඩු විභාගය ලබන 12 වෙනිදා ආරම්භ කරන බවත් එතැන් පටන් නඩුව දිගටම විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී.

(අධිකරණ වාර්තාකරු)