කතුවැකි

අලි මදිවට නරි!

අතීතයේ මෙරට බොහෝ ගම් කෙළවර වූයේ කැලෑ රොදකිනි. දුර බැහැර මාර්ග වැටී තිබුණේ ද කැලෑ මැදිනි. එසේ වුවත් මිනිසුන්ට කැලයේදී මිස ජනාවාසවලදී වන සතුන් හමු වූයේ නැත. මිනිසුන්ට සතෙකුගෙන් අතුරු ආන්තරාවක් වූයේ නම් ඒ කැලයේදී පමණය. ගම් පිටින් වන සතුන්ගේ තර්ජනවලට ප්‍රහාරවලට ලක් වූයේ නැත. මිනිසුන්ට තබා මිනිසාගේ වගාවටද වන සතුන්ගෙන් හානි සිදු වූයේ ඉඳහිටය.

මිනිසුන් එදා මේ ආකාරයට වන සතුන් සමග ගනුදෙනු බේරා ගත්තේ අලි වැටවල්, විදුලි වැටවල් ගසා හෝ අලි වෙඩි දල්වමින් නොව අන්‍යෝන්‍ය අවබෝධයෙනි. මිනිසා කටයුතු කළේ මේ බිම සතුන්ටද අයිති බව කල්පනා කරමිනි. දිවා කාලය මිනිසාට අයත් වූ අතර රාත්‍රී කාලය අයත් වූයේ වන සතුන්ටය. භූමියෙන්ද ඔවුනගේ සීමාවන් පැහැදිලිව වෙන් වී තිබිණ. එසේ වුවත් ලෝකයම විශ්ව ගම්මානයක් වී ඇති මේ ඩිජිටල් යුගයේ කොරෝනා වැනි වසංගතවලට පමණක් නොව වන සතුන්ගේ තර්ජනයන්ටද මුහුණ දීමට අපට සිදුව තිබේ. රාත්‍රිය නොව මහ දවාලේදී කැලයේදී නොව දෙනෝ දහසක් ගැවසෙන ජනාවාසවලදීම මිනිසාට වන සතුන් සම්මුඛ වෙන්නට පටන් ගෙන තිබේ.

අලියාගෙන් පටන් ගත් මේ වන සත්ත්ව තර්ජනය වල්ඌරා, රිළවා, වඳුරාගෙන් දඬුලේනාගෙන්, නරියා දක්වා පැමිණ ඇත. පසුගිය දිනෙක හොරණ මුවපට්ටිගම ප්‍රදේශයේ දරුවකු නරියකු සපා කෑම නිසා මරුමුවට පත් විය. ඉන්පසු තවත් ගම් කිහිපයකම නරින් සැරිසරන බව වාර්තා වූ අතර මේ නිසා එහි ජනතාවට මර බියේ ජීවත් වීමට සිදුව තිබේ.

වන අලියාගේ සිට සියලු වන සතුන්ගේ තර්ජනයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ මිනිසා මේ සතුන්ගේ භූමිය අත්පත් කර ගත් නිසා බව කවුරුත් දන්නා කාරණයකි. එහෙත් නරින්ගේ තර්ජනයට මුහුණ දීමට සිදුව ඇත්තේ කැලෑ එළිකිරීම නිසා නොව වගා කිරීමක් නිසා බව වැඩි දෙනා නොදන්නා කාරණයකි.

වැඩි දෙනකු නොදන්නා මේ කාරණය නම් නරි ගම් වැදී ඇත්තේ කටුපොල් වගාව නිසා බවය. නරි ගම් වැදීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ කටුපොල් වගා ආශ්‍රිතව සිටින මොනරුන් හා ඔවුන්ගේ බිත්තර ආහාරයට ගැනීමටය. කටුපොල් වගාවන් ආශ්‍රිතව මොනරුන් බෝවී ඇත්තේ එම වගාවන් වෙත ඇදී එන සර්පයන් වඳ කිරීම සඳහා වගාකරුවන් එම භූමියට මොනරුන් රැගෙන ඒම නිසාය.

කෙසේ හෝ වේවා මේ නරි ප්‍රශ්නයටද හේතුව මිනිසුන් වන අපගේම ක්‍රියාකාරකම් බව පැහැදිලිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ නරි ප්‍රශ්නය මතුව ඇත්තේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් හෝ මිනිසාට වැදගත් කටයුත්තක් නිසා නොව නීති විරෝධී කටුපොල් වගාව නිසා වීමය. මේ වගාව නිසා එක් අතකින් පරිසරය විනාශ වී යන අතර නැති ප්‍රශ්නයක්ද මතුව තිබේ. නීතියෙන් තහනම්ව තිබියදී තවමත් කටුපොල් වගා කෙරෙන්නේ කෙසේද යන්න වෙනම සොයා බැලිය යුතු කාරණයකි.

ජනගහනය වැඩිවීමත්, මිනිසාගේ අසීමිත අවශ්‍යතාවන්ගේ සීමාවක් නොමැති වීමත් නිසා පරිසරය සමග ගැටෙන්නට සිදුවීම නොවැළැක්විය හැකි කාර්යයකි. එසේ වුවත් පරිසරය සමග ගැටීම නිසා මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න අත්කර ගන්නා ප්‍රතිලාභවලට වඩා වැඩි නම් ඒ ලබා ගන්නා ප්‍රතිලාභවලින් ඇති ඵලය කුමක්ද?

අලි මිනිස් ගැටුම නිසා වසරකට මිනිසුන් පමණක් නොව අලින් විශාල ප්‍රමාණයකටද ජීවිතය අහිමි වේ. මේ අතර අලින් විසින් වගාවන් ඇතුළුව මිනිසාගේ දේපළද විනාශ කෙරේ. මේ හානි වළක්වා ගැනීමට ආර්ථිකව විශාල මිනිස් ශ්‍රමයක් මෙන්ම අති විශාල මුදල් සම්භාරයක්ද වැය කිරීමට අපට සිදුව තිබේ. අලි මිනිස් ගැටුම නිසා අපට මේ තරම් කාලය, ශ්‍රමය, ධනය වැය කරන්නට සිදුවන තත්ත්වයක් තුළ ඊට සරිලන සංවර්ධනයක් හෝ දියුණුවක් ලබා තිබේදැයි අප කල්පනා කළ යුතුය. එසේම රුපියල් සතවලින් හෝ ඉලක්කම්වලින් අප මොනතරම් ප්‍රගතියක් අත්කර ගත්තේද ඒ නිසා අහිමිවන සම්පත් ඒ හා සම කළ නොහැකි විය හැකි අවස්ථාද උදාවිය හැකි බව කල්පනා කළ යුතු නොවේද?

දැන් නරි උවදුරෙන් ජනතාව බේරා ගැනීම සඳහා ද අමතර මහන්සියක්, වැයක් දැරීමට සිදුව තිබේ. නරින්ගෙන් සුනඛයන්ට ජල භීතිකාව බෝවීම ජනතාවට අනතුරක් බැවින් කළුතර සුනඛයන් තිස් දහසක් එන්නත් කිරීමට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය තීරණය කර ඇත. මෙහිදී අයාලේ යන සුනඛයන් පවා එන්නත් කරන්නට නියමිත බව දැන ගන්නට ඇත. නරි ආවත් නැතත් සුනඛයන් එන්නත් කළ යුතුය. එහෙත් මෙහිදී සිදුවන්නේ ඒ සඳහාද මහජන මුදල් වැය වීමය. මේ මුදල් ප්‍රදේශයේ ජනතාවගේ වෙනත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතාවකට තිබූ මුදල් විය හැකිය.

රටේ ගම් දෙක තුනකට පමණක් බලපැවැත්වෙන නරි උවදුර ගැන අප නෑඹිලියේ කිඹුලන් දකිනවා යැයි කෙනකුට තර්ක කළ හැකිය. එහෙත් අද ගම් දෙක තුනකට ඇති මේ ප්‍රශ්නය හෙට පළාතකටත්, ඉන්පසු රටටත් ප්‍රශ්නයක් නොවනු ඇතැයි කිව හැක්කේ කුමන සාධක මතද? සුනඛයන් සපා කෑම නිසා සිදු වූ මරණ දෙකක් පෙරේදා (29 වැනිදා) ගාල්ලෙන්ද වාර්තා විය.

ප්‍රශ්නයක් ඇති වූ පසු ඊට කුමන වියදමක් හෝ දරා පිළිතුරු සෙවිය යුතු බවට විවාදයක් නැත. එසේ වුවත් ප්‍රශ්නයක් ඇති වීමට පෙර එය හඳුනාගත හැකි වුවහොත් ප්‍රශ්නයට ඇති පිළිතුරෙන් අඩක් සම්පූර්ණ වූවා විය හැකිය. ඇතැම් විටෙක සම්පූර්ණ පිළිතුර පවා සපයා ගත හැකි වනු ඇත. නමුත් කනගාටුවට කාරණය වන්නේ අප කිසිම කාරණයකදී එලෙස කටයුතු නොකිරීමය.

අප ගංවතුරට පිළියම් සොයන්නේ ගං ඉවුරු සෝදා යෑමට ලක්වීමෙන් අනතුරුවය. කොළඹ මාර්ග ජලයෙන් යටවීම ගැන හිතන්නේ පහත් බිම් ගොඩ කිරීමෙන් අනතුරුවය. අලි මිනිස් ගැටුමට පිළිතුරු සොයන්නේ අලින්ගේ කැලෑ එළි කිරීමෙන් පසුවය. දැන් නරි ප්‍රශ්නය විසඳන්නට කල්පනා කරන්නේද එය ඇතිවීමට අවශ්‍ය සාධක සියල්ල සපුරාලීමෙන් පසුවය. අලි මිනිස් ගැටුම වැනි ප්‍රශ්නවලට හේතු වූ කාරණා යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම දැන් කිසිසේත් කළ නොහැකි නමුත් නරි ප්‍රශ්නයට හේතු වූ වැරදි නිවැරදි කිරීම නම් ඉතා පහසු කටයුත්තකි. කටුපොල් වගාව කොහොමත්ම නීත්‍යනුකූල නොවන වගාවක් බැවින් ඒවා විනාශ කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැකිය. එසේම අලින් හෝ සුනඛයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට ජාත්‍යන්තර සංවිධාන පවා ඇතත් නරින් ගැන එවැනි සංවිධාන ඇති බවක් අප තවමත් අසා නැත. මේ නිසා නරින්ගෙන් ජනතාව බේරා ගැනීමට සුනඛයන් එන්නත් කිරීමට වඩා මේ පියවර ගැනීම වඩා ඉක්මන් සහ ඵලදායී වනු ඇත.