අලි බඩු තිස්තුනක් නිසා වනජීවිය අලි අමාරුවක
27 January 2020
අලි බඩු තිස්තුනක් නිසා වනජීවිය අලි අමාරුවක
27 January 2020
මේ කතාව නඩුවක් ගැන නම් නොවේ. පණ තියෙන නඩු බඩු 33 ක් ගැන ය. ඒවාට හොඬවැලුත් තිබෙන නිසා තත්ත්වය තවත් සංකීර්ණය. මේ නඩු භාණ්ඩ අධිකරණ සංකීර්ණවල තිබෙන සාමාන්‍ය නඩු භාණ්ඩ ගබඩාවල තබන්නට නොහැකි ය. ඒ අනුව මේ නඩු බඩු තබා ඇත්තේ පින්නවල අලි ආනාථාගාරයේත්, උඩවලව ඇත් අතුරු සෙවණේත් ය.
දැන් ඉතින් මේ කියන නඩු බඩු 33 අලි ඇතුන් බව අමුතුවෙන් කිව යුතු නැත.
අදින් අවුරුදු හතර පහකට ඉහත දී නඩු බඩු බවට පත් වූ මේ අලි ඇතුන් කලින් සිටියේ පන්සල්, දේවාලවලය. නැත්නම් පෞද්ගලික හිමිකරුවන් ළඟ ය. පහුගිය කාලයේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පෝලිමට නඩු නොවැටුණේ නම්, මේ කියන අලි 33 දෙනා තවමත් සිටිනු ඇත්තේ උනුන්ගේ හිමිකරුවන් භාරයේ ය.
කෙසේ වෙතත් ඉකුත් දා රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී ද මේ කියන අලි ඇතුන් ගැන කතා බහක් ඇදී ආවේ ය. පරිසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් ඉදිරිපත් කරන ලද ‘කැබිනට් පත්‍රිකාවක්’ හේතුකොටගෙන ය.
‘‘නඩු භාණ්ඩ හැටියට අලි ඇතුන් 33 දෙනෙක් උඩවලවෙයි පින්නවලයි ඉන්නවා... මේ අයට කන්න දෙන්නයි, බලාකියාගන්නයි විතරක් දවසකට ලක්ෂ 2 ½ ක් විතර වියදම් වෙනවා... මේ නඩු ඔක්කොම පැටලිලා තියෙන්නෙත් අලි බලපත්‍රවල අඩුපාඩු වගේ කාරණා නිසා... කොහොම වුණත් අමාත්‍යාංශයක් හැටියට අපි මේ අලි ඇතුන්ගේ බර කාලයක් තිස්සෙ ඉහිලුවා... දැන් අපි යෝජනා කරන්නෙ නඩු අවසන් වනතුරු මේ අයව එයාලගෙ භාරකාරයන් යටතට පත් කරන්න කියලා... මොකද මේ නඩු ඉවර වෙනකල් තව කොයි කාලයක් අපට මේ අයව නඩත්තු කරන්න වෙයිද දන්නෙත් නැති නිසා...’’
අමාත්‍යවරයාගේ කතාව ද ඇත්ත ය. වැඩුණු අලියෙකුගේ හෝ ඇතෙකුගේ බඩ පිරවීමට දවසකට කෑම කිලෝ 300 ක් 450 ක් පමණ අවශ්‍ය වේ. ඒ මදිවාට ටෙන්ඩර් කැඳවීමෙන් සපයා ගනු ලබන කිතුල් බඩ, පොල් අතු, කෙසෙල්, වට්ටක්කා, කොමඩු වැනි ආහාර වලින් සමන්විත වන ‘අලි’ කෑම ‘අලි’ ගණන් වන බව පින්නවල මෙන්ම උඩවලව සත්ව පාලකයෝ පවසති.
‘‘අවුරුදු 10 ට අඩු අලින්ට කෑමට අමතරව දවසකට පැටවුන්ට කිරි ලීටර් තුනේ තුන හමාරේ වේල් 6 ක් විතර දෙනවා.... ඒ කියන්නෙ එක්කෙනෙකුට දවසකට කිරි ලීටර් 18 ක් 20 ක් විතර යනවා කියන එක...’’ උඩවලව ඇත් අතුරු සෙවණේ සේවයේ නියුතු පශුවෛද්‍ය මාලක අබේවර්ධන පැවසුවේ ය.
ඔහු පවසන හැටියට උඩවලවේ රඳවා සිටින සුදු මහත්තයා, පොඩි මහත්තයා, හාමු මහත්තයා සහ සුගලා යන හතර දෙනාම ‘කිරි බොන නඩු භාණ්ඩ’ ය. කිරි වෙලාවට පුනීල කටේ ගසන විට ‘අලි කලබල කරන’ මේ මහත්තුරු තුන් දෙනා ත්, ‘සුගලා නෝනා’ ත් ඔවුන් සිටි පන්සලේ, දේවාලයේ හෝ නිවසේ සිටියේ නම් ඇපල්, මිදි වැනි පලතුරුත් වැඩි වැඩියෙන් කන්නට ලැබෙන අය ය.
‘‘මේගොල්ලන්ට ඇපල් මිදි ලැබෙන්නෙම නැති තරං... කෙසෙල් නං ලැබෙනවා... කෙසෙල් වලටයි කිරි වලටයි තමයි පෙරේත... ඒගොල්ලන්ගෙ අයිතිකාරයො එන දවසට නං මිදි ඇපල් වගේම ඒගොල්ලො ආසාවෙන් කන චොකලට් වගේ දේවලුත් ලැබෙනවා...’’ යැයි පවසන්නේ ‘කිරිබොන වයසේ නඩු භාණ්ඩ’ බලාකියාගන්නා අයෙකි.
‘නඩු භාණ්ඩ වූ අලින්’ බලාකියාගන්නා මෙවැනි අලි බාසුන්නැහේලාට ද රුපියල් 25,000 ක පමණ මූලික පඩියකුත්, දීමනා සමඟ රුපියල් 40,000 ක් පමණකුත් ගෙවන්නට සිදුවී තිබේ. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් නිති පතා කැපවී සිටින පශු වෛද්‍යවරුන්ට සහ සෙසු සේවකයන් ද නඩත්තු විය යුත්තේ ‘වනජීවියෙනි’.
නඩු භාණ්ඩ හැටියට සිටින අලි ඇතුන්ගේ දෛනික වියදම රුපියල් ලක්ෂ 2 ½ ක් වන්නේ අලින්ගේ ‘අලි කෑම’ වියදමත් සමඟ මේ සියලු වියදම් එකට ගත්විට ය. ඒ අනුව මෙම අලි ඇතුන් වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ 75 ක් පමණ වැය කරන ‘වනජීවීය’ පසුගිය වසර හතර ඇතුළත ඒ වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 3600 ක් ම වියදම් කර තිබේ. එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා පවසන ආකාරයට අමාත්‍යාංශයට තවදුරටත් මෙකී ‘අලි බර’ දරන්නට නොහැකි ය.
මේ අතර ‘බලපත්‍රවල’ පවතින අඩුපාඩු හේතුවෙන් අවුරුදු හතරක් පහක් තිස්සේ නඩු භාණ්ඩ බවට පත්ව සිටින අලි ඇතුන්ගේ හිමිකරුවන් සිටින්නේ බලාපොරොත්තු සහගතව ය.
‘‘ඇමැතිතුමා මැදිහත් වෙලා මේ තීන්දුව ගත්තොත් නං පින්සිද්ද වෙනවා... අපේ ‘පොඩි පුතා’ අරං ගිහින් මේ මාර්තු හතර වැනිදට අවුරුදු හතරක් ම වෙනවා... එයා වෙනුවෙන් ම හදපු ගේත් පාළුවට ගිහින්...’’ යැයි පවසන්නේ හොරණ විජයන්ති පෙරේරායි.
ඇය ගෙවුණු අවුරුදු තුන පුරා සෑම සතියකටම දෙවතාව බැගින් උඩවලවේ යන්නී ය. ඒ කිලෝ හැත්තෑවක් අසූවක් වන ලෙස වට්ටක්කා,පිපිඤ්ඤා, කොමඩු, කෙසෙල්, ඇපල්, මිදි පෙට්ටි ගණන් අරගෙන ය.
‘‘අපට වෙන දරුවො නෑ... මෙයා තමයි අපේ දරුවා... මෙයාව නිදහස් කරල දෙන්න කියලා බාර නොවිච්චි දේවාලයක් නැති තරම්...’’ විජයන්ති වැඩිදුරටත් පවසන්නීය.
ඇයත් ඇගේ සැමියා වන දයානන්ද බෝම්බුවලත් යන දෙදෙනා විසින් මේ කියන ඇතින්නිය හදාගන්නට රැගෙන තිබෙන්නේ ඇයට අවුරුදු 6 ක් 7 ක් වන කාලයේ ය.
‘‘අපි මෙයාව හදාගන්න ගත්තෙ ඇරැව්වල රෝලන්ඩ් කියල මහත්තයෙකුගෙන්... හරි විදියටම රෙජිස්ටර් කරලත් තියෙන්නෙ... ඒත් ඉතිං හැම තැන ම අලි අල්ලන වෙලාවෙ අපේ කරුමෙට මෙයාවත් අහු වුණා... ලොරියට පටවගෙන යද්දිත්, ‘පොඩිපුතා’ හරියට ඇඬුවා... ‘පොඩිපුතා’ගෙ ඇඬිල්ල අහගෙන ඉන්න බැරිකමට එයාව බලාගන්න හිටපු සරණපාලත් ‘අනේ මගෙ කෙල්ලේ...’ කියාගෙන සිහි නැතුව වැටුණා... ඊට පස්සෙ අවුරුද්දක් විතර යනකල් අපිට එයාව දකින්නවත් බැරි වුණා... හැබැයි පස්සෙ අපි දිගින් දිගටම අධිකරණයෙන් ඉල්ලීම් කළාට පස්සෙ සඳුදයි, සිකුරාදයි උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල් පැය දෙක මෙයාව බලන්න අවසර ලැබුණා... ඊට පස්සෙයි අවුරුදු තුනක් තිස්සෙ සතියෙ හැම සඳුදමයි, සිකුරාදමයි අපි මෙයාව බලන්න යන්නෙ...’’
ඇගේ කතාව, 88 – 89 කාලයේ සිරභාරයෙන් අතුරුදන් වූ දරුවකුගේ මවකගේ කතාවක් වැනි ය.
‘‘එයා අපට ලැබුණෙ කිරි බොන වයසෙදි... කිරි දීලා, ආස කරන පලතුරු ජාති දීලා, ලෙඩට දුකට බෙහෙත් කරලා හරි ආදරෙන් උස් මහත් කළේ... හැමදාම උදේට ත්‍රිපෝෂ පැකට් හය හතක ගුළි හදලා කවන්න ඕන... ත්‍රිපෝෂ වලට ඒ තරම් පෙරේතයි... ඒත් අත්අඩංගුවට පත්වුණාට පස්සෙ එයාට ඒවා ලැබෙන්නෙ නෑ...’’
ඇය පවසන ආකාරයට ඔවුන් මේ ඇතිනි පැටවා දරුවෙකු ලෙස හදාගන්නට පටන්ගන්නේ, සුවිශේෂී හේතු කිහිපයක් නිසා ය.
‘‘දේවාල පන්සල්වල පෙරහැරවලට නොමිලේ ම යවන චේතනාවෙන්මයි මෙයාව ලොකු මහත් කළේ... අපේ මහත්තයා දරුණු පිළිකාවකින් සුවපත් වුණාට පස්සෙ එයාට ඕන වුණා, පින්කමක් හැටියට පෙරහැරවලට යවන චේතනාවෙන් මේ පැටියව හදාගන්න... අනෙක් අතට ඒක බුලත්සිංහල ශාසනාරක්ෂක බලමණ්ඩලෙත්, රැටියල පන්සලේ හාමුදුරුවන්ගෙත් ඉල්ලීමක්... කොහොමහරි අපේ ‘පොඩිපුතා’ නුවර දළදා පෙරහැරට ගියත්, බෙල්ලන්විල හරි ගංගාරාමයේ හරි, රත්නපුරේ සමන් දේවාලේ හරි, ගමේ අහල පහල පන්සල්වල හරි පෙරහැරවලට ගියත් අපි ඒ වෙනුවෙන් සතයක්වත් අරං නැහැ... කොටින්ම එයාට ‘දෙව්මිණි’ කියන නම තිබ්බෙත් ‘දෙවියන්ගේ මැණිකක්’ කියන අදහසින්...’’
කෙසේ වෙතත් විජයන්තිට අයත්ව සිටි ‘දෙව්මිණි’ නමැති ඇතිනි පැටවාට ඇගේ භාරයේ සිටියදී ලැබුණු සෙනෙහස සහ රැකවරණය අද දවසේ ‘නඩු භාණ්ඩ’ බවට පත්ව සිටින පත් සියලුම අලි ඇතුන්ට ලැබුණේ යැයි කිව නොහැකි ය.
ඊට හොඳම උදාහරණය ‘අලි රොෂාන්’ නොහොත් තිරාජ් රොෂාන් භාරයේ සිටි අලි පැටවෙකුගේ කකුල් වණ වී නියපොතු හැළී තිබීම ය. මේ අතර කොළඹ පන්සල්වල අඩි දහය දොළහේ කාමරවල අඩස්සි ගත කර තිබුණු අලි ඇතුන් පිළිබඳ කතාන්දර ද ඕනෑතරම් ය. බොහෝ විට මෙකී අලි ඇතුන් පාවිච්චි වෙන්නේ ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ‘දැකුම් භාණ්ඩ’ වශයෙනි. ඔවුන්ට අන්නාසි කෙසෙල් ඈ පලතුරු ලැබෙතත්, නිදහසක් නම් ලැබෙන්නේ ම නැති තරම් ය. ඔවුන්ට බොහෝ විට සිත් සේ නෑමට මෙන් ම ඇවිදීමට ද ලැබෙන අවස්ථා විරල ය. සියල්ලට ම වඩා වේදනාකාරී වන්නේ මෙවැනි අලි ඇතුන්ගෙන් වැඩි දෙනෙකුගේ කකුල් හතර, කර සහ බඳද දම්වැල් වලින් ගැටගසා තැබෙන නිසා ය.
එහෙයින් නඩු භාණ්ඩ වශයෙන් දැනට පින්නවල සහ උඩවලවේ රඳවා සිටින අලි 33 දෙනා යම් හෙයකින් ඔවුන්ගේ හිමිකරුවන් වෙත යැවෙන්නේ නම්, හිමිකරුවන් සමඟ අලි ඇතුන් ගෙවන ජීවිතය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්විය යුතු බව උඩවලව ඇත් අතුරු සෙවණේ සේවයේ නියුතු පශුවෛද්‍ය මාලක අබේවර්ධන පවසයි.
‘‘විශේෂයෙන් ම අලි ඇතුන්ට අවශ්‍ය තරමට ඉඩකඩ තියෙන්න ඕන... නාන්න පහසුකම් තියෙන්න ඕන... කෑම බීම වගේම බෙහෙතුත් ලැබෙන්න ඕන... අලි ඇතුන්ට ඔවුන් ජීවත්වන වටාපිටාව තුළ ශාරීරිකව වගේම මානසික පහසුවකුත් ලැබෙන්න ඕන... ඒ තත්ත්වයන් සම්පූර්ණ වෙනව නං ඒ අලි ඇතුන් හිමිකරුවන් ළඟට ගියත් කමක් නෑ... ඇත්තෙන්ම ඒ අය පුනරුත්ථාපනය කරලා කැලේටම යවන්න පුළුවන් නං ඒත් හොඳයි... ඒත් මේ නඩු ඉවර වෙනකල් පුනරුත්ථාපන කටයුතුත් හරි හැටි සිද්ධ නොවුණු නිසා කැලේට යවන එක ටිකක් අමාරුයි... ඒ හින්දා කොහොමටත් මේකෙ ‘දෙකෙන් එකක්’ වෙන එක හොඳයි... එක්කො මේ අයව පුනරුත්ථාපනය කරලා කැලේට අරින්න ඉඩ ලැබෙන්න ඕන... නැත්නම් අයිතිකාරයො අතට ලැබෙන්න ඕන...’’ යැයි පැවසුවේ පශු වෛද්‍යවරයා ය.
මේ අනුව පශු වෛද්‍යවරයා පවසන කතාවද ඇත්ත ය. එනම් මෙම අලි ඇතුන් කැලයට පිටත් කර හැරීම හෝ හිමිකරුවන් වෙත ‘දෙකෙන් එකක් වීම’ ප්‍රමාද නොවී සිදුවිය යුතු ය. මන්ද නඩු භාණ්ඩ බවට පත්ව සිටින අලි ඇතුන්ට ඇත් අතුරු සෙවණේ සිටින අනෙකුත් අලි ඇතුන්ට තිබෙන නිදහස ද නැති බැවිනි. එමෙන් ම ඔවුන් පිළිබඳ නඩු පැවතීම හේතුකොටගෙන ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමද සිදු නොවන නිසා ය. කෙසේ වෙතත් නඩු භාණ්ඩ බවට පත්වී සිටින අලි ඇතුන් සම්බන්ධයෙන් ඇමතිවරයා ගෙන තිබෙන මෙම තීරණය අභියෝගයට ලක් කරන ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න පවසන්නේ, අධිකරණය හමුවේ චෝදනාවට ලක්වී තිබෙන හිමිකරුවන් වෙත මෙකී අලි ඇතුන් දීමට යාම තරයේ හෙළා දකින බව ය.
‘‘මේ කියන නඩු භාණ්ඩ අලි ඇතුන් රඳවා තියන්නම උඩවලවේ වෙන ම අංගණයකුත් හැදුවා... ඒකටත් රුපියල් මිලියන ගාණක් වැය කළා... නඩු අවසන් වෙන්නටත් කලින් මේ විදියට ඒ අලින්ව අයිතිකාරයන්ට දුන්නොත්, අර අංගණය හදන්න ගිය මුදලත් අපරාදේ... එහෙමනං මේ අලි ඇත්තු ඒ දවස්වල ම යවන්න තිබුණා... ඒ නිසා අපි නං හිතන්නෙ විය යුතුව තිබෙන්නේ, මේ නඩු ඉක්මනට අහල ඉවර වෙන එක... එහෙම නැතුව නඩුව ඇහිල ඉවරවෙන්නත් කලින් ‘අලි හොරුන්’ට අලි ටික දෙන එක නෙවෙයි... අලි රොෂාන්ල වගේ මිනිස්සු අලින්ට වද දුන්නු ඉතිහාසය අමතක කරලා ආපහු ඒ අයට ම අලි ටික දෙන එක කොහොමටත් අනුමත කරන්න බෑ...’’
කෙසේ වෙතත් නඩුව අවසන් වන තුරු නඩු භාණ්ඩ මුදා හැරීමට තිබෙන ‘නෛතික හැකියාව’ සම්බන්ධයෙන් ‘නීතිපති දෙපාර්තමේන්තුවෙන්’ කරන ලද විමසීමකදී අනාවරණය වූයේ, නඩු අවසන් වන්නට කලින් නඩු භාණ්ඩ මුදාහැරිය නොහැකිය යන නීතිය මේ වන විටත් සංශෝධනය වී ඇති බව ය.
‘‘නඩු අවසන් වන්නට කලින් නඩු භාණ්ඩ බැහැර කිරීමට නොහැකියැයි කියන්න බැහැ. මොකද ඒකට අදාළ නෛතික විධි විධාන තියෙනවා... ඒ ප්‍රතිපාදන ලැබිලා තියෙන්නෙ මීට අවුරුදු තුනකට විතර කලින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය වීම හින්දයි...’’ නීතිපති දෙපාර්තමේන්තු ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ ය.
‘‘නඩු භාණ්ඩ හැටියට ඉන්න අලි ඇතුන්ගේ නඩත්තු කටයුතුවලට දවසකට ලක්ෂ 2 ක් ගානෙ වියදම් වෙන එකත් අලි ඇත්තු මුදාහරින්න හේතුවක් කරගන්න අවශ්‍ය නෑ... වනජීවියට තියෙන්නෙ මේ නඩු ඉක්මනින් අවසන් කරගෙන ‘හොරට තියාගෙන හිටපු අලි ඇත්තු’ රජයට පවරගෙන ‘හොර අලි නොවන අලි’ හිමිකරුවන්ට නැවත භාර දෙන එක... ඒ වගේම අලි ඇතුන්ගේ අයිතිය කියන්න‘හොරට ලියකියවිලි හදපු අයගෙන්’ පහුගිය නඩත්තු මුදල් අයකරගන්නත් පුළුවන්...’’ සත්වවේදී පුබුදු වීරරත්න වැඩිදුරටත් පැවසුවේ ය.
කෙසේ වෙතත්, මෙකී මතවාදමය හැලහැප්පිලි, නීති තර්ක මැද තමන්ගේ හෙට දවසේ ඉරණම ගැන කිසිවක් නොදන්නා ‘අලි 33 දෙනා’ තවදුරටත් වනජීවී ආරක්ෂකයන්ගේ, අලි බාස්උන්නැහේලාගේ සහ පශු වෛද්‍යවරුන්ගේ ඇල්ම බැල්ම යටතේ උඩවලවටත්, පින්නවලටත් වී කාලය ගත කරති.
ඒ අනුව අලි ඇතුන් ගැන කියැවෙන ‘ගජගා වන්නමේ කවියක්’ නඩුභාණ්ඩ-අලි ඇතුන්ගේ අද දවස ගතවන ආකාරය විස්තර කිරීම අරබයා මෙසේ වෙනස් කළ හැකි ය.
නඩු බඩු යැයි කී - අලි තිස් තුනකී
නඩු තිස් තුන කී - ඉවර නැතී
ගම රට යා දැයි - කැලයට යා දැයි
දෙයියො දනී - දෙයියො දනී
හිමිකරුවන්ට බාර දෙනවාට විරුද්ධයි
- සත්වවේදීන් කියයි
තවදුරටත් නඩු බඩු බලාගන්න අමාරුයි වනජීවිය කියයි
සුරේකා සමරසේන