විශේෂාංග

අරන්තලාවේ භික්ෂු ඝාතනයේ මුල සොයා ගියෙමු

අරන්තලාවේ භික්ෂු ඝාතනය යනුවෙන් හැමදාමත් ලියැවෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වන්දනාවේ යමින් සිටි භික්ෂුන් පිරිසක් කපා කොටා වෙඩි තබා මරා දැමූ සැටිය. එහෙත් එම ඝාතනය ක්ෂණිකවම අතරමගදී වූ ප්‍රහාරයක් නොව එල්.ටී.ටී.ඊ.යට අභියෝග කිරීමේ පළිය ගන්නට එල්ල කළ සැලසුම් ප්‍රහාරයක් බව මෙතෙක් ලියැවුණේ නැත. මේ සිද්ධියට වසර තිස් තුනක් පිරෙන මේ මොහොතදී එම හෙළිදරව්ව කරමින් මෙම ලිපිය ලියන්නේ එදා අරන්තලාව ගමට එල්ල කළ එල්.ටී.ටී.ඊය ප්‍රහාරය වාර්තා කරන්නට ගිය ලේඛකයාය.

නිල වශයෙන් බෙදී වෙන් කර නොතිබුණත් එල්.ටී.ටී.ඊ.ය උතුරු නැගෙනහිර පාලනය කළ සමයෙහි ‘‘මායිම් ගම්මාන’’ යනුවෙන් ගම් රැසක් ලංකා සිතියමේ තිබුණේය. මායිම් ගම්මාන කීවේ එල්.ටී.ටී.ඊ.යේ තර්ජනයට ලක් වූ ගම්ය. එම ගම් මායිමේ කැලෑවේ හුන්නේ එල්.ටී.ටී.ඊ.යය. නැගෙනහිර පළාතේ අම්පාරේ දී එල්.ටී.ටී.ඊ.ය තර්ජනයට ලක් වූ ගම් රැසක් තිබිණි.

ටැම්පිටිය, පෙරිය පිල්ලුමලේ කළුවර වාඩිය, කොස් ගොල්ල උන්නිච්චිය වැනි ගම්මානද විය. එහි ජීවත් වූ සිංහල හොඳින් කතා කළ හැකි දමිළ තරුණයෝ බොහෝ දෙනෙක් මේ වන විට එල්.ටී.ටී.ඊ, සංවිධානයට එක් වී සිටියහ. මොවුන් අතර සිංහල දමිළ මිශ්‍ර සම්භවයක් ඇති විශාල පිරිසක් ද වූහ. කෝපාවලී ගම්වැසියන් එවන් පිරිසකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පීඩනයෙන් බේරීමට මොවුන් අතරෙන් සෑහෙන පිරිසක් දිස්ත්‍රික් මායිම් හැරදමා මහඔය දෙසට පලා ආහ. පසුව මොවුන් මහඔය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පදිංචි කරවන ලදී. කොටින්ම අවි අමෝරා සටන් වැදුන සමයේ දී මෙසේ පදිංචිවූවන් අතර සිටි ඇතමෙක් කොටින්ට උදව් උපකාර කළහ. ඔත්තු සැපයීමේ යෙදී සිටියහ.

එතෙක් ගේ දොර විහාරාරාම වෙළෙඳසල් කොල්ල කෑමේ යෙදුන එල්.ටී.ටී.ඊ.ය 1986 දී අම්පාර අරන්තලාව මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී මංකොල්ල කෑමට පටන් ගත්හ.

අම්පාරට අයත් මඩකළපු දිස්ත්‍රික් මායිමේ පිහිටි බෙරගල, කොස්ගොල්ල, කපුරුල්ල, කරුවලගස්වාඩිය ගම්මානවල වැසියන්ට ගම්බිම් ගේ දොර හරකබාන වතුපිටි අහිමි විය. කොටි ගේදොර ගිනි තබා අටුකොටු කොල්ල කා ගම්වැසියන් පන්නා දැමූහ.

තත්ත්වය කෙතරම් බිහිසුණු වුවත් එවකට පැවැති පාලකයන්ට අම්පාරේ සිංහල ගම්මානවල වැසියන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස නිසි ආරක්ෂිත ක්‍රමවේදයක් නොවීය. 1987 නිදහස් උත්සවය පවත්වා ගෙවී ගියේ දින 3කි. දිනය පෙබරවාරි 7 දාය. බින්තැන්න පූරාම මද වැසි වසිමින් පැවතිණි. අහස මාදං ගෙඩියක් මෙන් බීරුම්බා තිබුණි. දිගාමඬුලු බින්තැන්නේ ගම් දනව් බිංකරුවලෙන් අඳුරු වී ගූඪත්වය පැතිරයද්දී නීතිය සහ ත්‍රාසය ගෙනදෙමින් මූසල බිං බස්සෙකුගේ හූම් හූම් හූ අම්බෝයි හඬක් අරන්තලාව ගමේ තුරුවදුලු මතින් පැතිර යන්නට විය.

වේලාව රාත්‍රී 7.00 පමණ ඇත. අරන්තලාවේ ගමේ විසූ ලොරි ක්ලීනර්වරයෙක් වූ අලහකෝන්ගේ දියණිය කුසුම් ඇගේ මල්ලීට පාඩමක් කියා දෙමින් සිටියාය. ‘‘අම්මේ අද තාත්තා එනවාද?’’ තවත් සිඟිති දරුවෙක් අම්මාගෙන් ඇසුවේය.

මගේ පුතේ අද පාන්දර නේ තාත්තා කල්මුණේ ගියේ. ලොරිය එන්නෙ හෙට මං මල්ලියාට උක්කුං පොවද්දී පුතාලා අක්කට කියලා බත් බෙදා ගෙන කන්ට කොයි…. කී අලහකෝන්ගේ තරුණ බිරිය පැදුරක දිගා වී තම තුන්මස දරුවා තුරුලු කරගෙන කිරි පොවන්නට වූවාය.

කුසුම් අක්කා බෙලෙක් පිඟන්වලට බෙදා දුන් බත් බිම එලූ පැදුරක් මත තබාගෙන දරුපැටවුන් පස් දෙනා බත් කන්ට වූහ. කුසුම් දැරිය ඔවුනට බීමට වතුර ගෙනත් තැබුවාය. දරුවන් හත්දෙනකුගේ පවුලේ වැඩිමල් දියණිය වූ හයවැනි වසරේ ඉගෙනුම ලැබූ ඇය අම්මා කෙනකු මෙන් නංගිලා මල්ලිලා රැකගත්තාය.

නංගිලා මල්ලිලා බත් පිඬු ගුළි කරමින් බත් කද්දී කුසුම් කුප්පි ලාම්පු එළියෙන් පොත් පාඩම් කළාය.

තුන් මස් හැවිරිදි දරුවා අම්මාගේ තුරුලේ උණුසුම ලබමින් කිරි කරඬුවක එල්ලී මව දෙස බලා දත් නැති ලොඹු කටින් කිරි සිනහවක් පෑවාය. ‘ඇයි මගේ පුතේ… උක්කුං මදිද? යි අසමින් ඇය උතුරා ගිය මව් සෙනහසින් යුතුව හැට්ටය බුරුල් කර අනෙක් තනයෙන් කිරි පොවන්නට වූවාය. කට පුරා ඉතිරී යන්නට තරම් මව් කිරි එරුණු දරු සෙනෙහසේ මිහිර විඳිමින් අම්මා දරුවාගේ හිස පිරිමදින්නට වූවා පමණකි. ‘ඩෝං’ ගා දොර දෙපළු විය. කුප්පි ලාම්පුව පෙරළී ගියේය. ගේ ඇතුළට කඩා පැන්නේ ත්‍රස්තවාදීන්ය.

බුදු අම්මේ… යි දැරිය කෑ ගැසුවාය. දරු රොත්තම බුදු අම්බෝ…! යි …. කෑ ගැසූහ. කිරි උරමින් සිටි සිඟිත්තා ‘‘ඕහෑ… ඕහෑ…! ඕහෑ…!යි කී ගෑවේය. ඒත් ත්‍රස්තවාදින්ගෙන් නෙලුම් කැකුළක් වැනි සිඟිත්තාගේ කකුල් කෙටි දෙක එක අතකින් ගෙන කරකවා බිත්තියේ ගැසුවේය. තවකෙක් එල්ල කළ කැති පහරින් මවගේ ගෙල වෙන් වී ගියේය. මවගේ ගැහෙන සිරුර මතට සිඟිත්තාගේ හිස පොඩිවුණු මළ සිරුර වීසි කළ ත්‍රස්තයෝ පාරෙන් පැන අනෙක් නිවෙසකට කැති කිණිසි අමෝරා ගෙන කඩා වැදුනහ.

ඒ වන විට ලේ පිපාසිත කොටි පහළොස් දෙනෙක් පමණ ගෙවල් 15කට වැදී මුළු අරන්තලාවම සමූල ඝාතනයට ලක් කර අවසන්ය. විනාඩි 5-10ක් අතර කාලයකදී 29 දෙනකු මරා දැමූ යක්ෂයෝ වහ වහා තේක්ක කැලය මැද්දෙන් තොප්පිගල දෙසට පලා ගියහ. එය කොටි සංවිධානය නැගෙනහිර පළාතේ කළ මුල්ම සමූහ මිනිස් ඝාතනය විය. මේ ඝාතනය පසුදා පහන්වන තුරු කිසිවෙක් නොදත්හ. පසුදා පහන් පැයේ දී ගෙවල් කිහිපයක මළ කඳන් තිබෙන බව දුටු ග්‍රාමාරක්ෂක භටයින් තමන් ද අනාරක්ෂිතව සිටි හෙයින් වහා මහඔයට ගොස් උප දිසාපති ජිනසිරි දඩල්ලගේටත්, පොලිසියටත් සිද්දිය ගැන දැන්වූහ. මෙවන් සිද්ධියක් මීට ප්‍රථම සිදුවී නොමැති හෙයින් උප දිසාපතිවරයා මේ බව අම්පාර මහ දිසාපතිවරයාටත් අම්පාර දිසා අමාත්‍ය පී. දයාරත්නටත් දැන්විය. ඔවුන්ගේ උපදේශය වූයේ එදිනම සියලු මළකඳන් රජයේ වියදමෙන් භූමිදාන කරන ලෙසය.

ඒ සිද්ධිය වාර්තා කරන්නට තිස්තුන් වසරකට ඉහතදී අම්පාර අරන්තලාවට ගිය ගමන චිත්‍රපටයක දසුන් තලයක් තවමත් මා මනසේ මැවී පෙනේ.

බිත්තියේ ගසා මරා දමා තිබුණු සිඟිත්තාගේ මළසිරුර දුටු මට සති ගණනක් යනතුරා නින්දක් නොවීය. ඇස් දෙක පියවෙන හැම වාරයක් පාසාම මතකයට නැගුනේ පොළොවේ ගසා මරා දැමූ සිඟිත්තාගේ මුහුණය.

පසු කාලයේ දී ජිනසිරි දඩල්ලගේ අරන්තලාව හරහා යනුවෙන් පොතක් ලීවේය. අරන්තලාවේ ගමට එ ල්ල වූ ප්‍රහාරය ගැන ඔහු මෙසේ ලීවේය. අප යන විටත් මුළු ගමම එකම මළගමක් ලෙස ගැමියන්ගේ විලාප හඬට කන්දීමට සිදු විය. අපි කඩිනමින් සෑම නිවසක් වෙත ගොස් මිය ගොස් සිටි පුද්ගලයන්ගේ ගණන සොයා ගැනීමට උත්සාහ ගතිමු. ඉතා කුඩා ළමයින්, කාන්තාවන්, මහලු පුද්ගලයන් ඇතුළු 29 දෙනෙක් නිදි පැදුරුවලම කපා කොටා මරා දමා තිබුණි. එහි අමානුෂික ස්වරූපය මා තදබල වික්ෂිප්තභාවයට පත්ව සිටියෙමි.

මිය ගියවුන්ගේ මළ සිරුරු කඩිනමින් වළ දැමීමට නියෝග කිරීම ජනතාවගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූයේය. මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය අපට භූමිදානය අවසන් වන තෙක් එතැනින් පිටවීමට නොදී රැකවල් ලෑම ඊට එක් හේතුවක් විය. එහෙත් උප දිසාපතිගේ සහය නිසා මේ ඛේදවාචකයට අදාළ දළ සේයා පටය පත්තර කන්තෝරුවට යවා ගැනීමට අපට හැකි විය.

එකම දවසේ එකම ස්ථානයක මළ සිරුරු 29 මිහිදන් කිරීමට අවශ්‍ය මිනී පෙට්ටි සපයා ගැනීම ප්‍රශ්නයක් වූයෙන් උප දිසාපතිවරයාට තම ගරාජය කඩා එම ලෑලිවලින් මිනී පෙට්ටි සෑදවීමට සිදු විය.

උප දිසාපති ගරාජය කඩා මිනී පෙට්ටි සාදයි. යන්න පසු දින පුවත්පත්වල මුල් පිටුවේ පළ විය.

පෙබරවාරි 08 දා සවස 1.00 වන විට සියලුම මිනී පෙට්ටිවල අහුරා අරන්තලාව පාසල වෙත ගෙන ආවේය. සිද්ධිය ඇසින් දැක ගැනීමට එන දහස් ගණනක් දෙනාට පාසල් භූමියට ඇතුළු වීමට නොහැකි වන ලෙස පොලිස් මුරකාවල් යොදා තිබුණි. අම්පාරෙන් හා මඩකළපුවෙන් ගෙන්වා තිබූ ආයුධ සන්නද්ධ පොලිස් බළඇණිය ගැන තඹ දොයිතුවක සැලකිල්ලක් නොදැක්වූ භික්ෂුන් වහන්සේ කිහිප නමක් සමග වැඩම කර සිටි මැදිවියේ වූ භික්ෂුන් වහන්සේ නමක් මැදිහත් වී පොලිස් රැකවල් කඩා දමමින් එක් රැස්වූ පිරිසට මළසිරුරු බැලීමට අවකාශ ලබා දුන්නේය.

මේ යතිවරයාණෝ අන් කවරෙකුවත් නොව උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහා විහාරාධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමිපාණෝය.

පාංශකූල කටයුතු සඳහා වැඩම කර සිටි උන්වහන්සේට එරෙහිව නැගී සිටීමට කිසිවකුට නොහැකි විය. ආරෝහ පරිණාහ දේහයෙන් යුත් උන්වහන්සේ ශෝකයට පත් දහස් ගණනක් අමතා කළ අනුශාසනාව තවමත් මට මතකය.

දිගාමඬුලු බිමේ උරුමය රකිමින් ජීවත් වූ අපේ සිංහල බෞද්ධයින් මේ අන්දමට බල්ලන් බළලුන් තරමටවත් නොසලකා මරා දමන ලද කොටි බල්ලෝ… තොපි දැන ගනිව් මේ කිරි සප්පයින්, මවුවරුන් අමු අමුවේ මරා දමමින් තොපිට මේ ලක් පොළොවේ තවදුරටත් ඉන්ට දෙන්නේ නෑ… අපේ සිංහල දරුවනේ… මාත් එක්ක කැති පොරෝ අරගෙන වරෙව්… ඔයි මැති ඇමැතිවරුන් රට රකින්නේ නැත්නම් අපි අපේ රට රැක ගනිමු. මට… මේ දරු සිඟිත්තා මරා දමා තිබෙන අන්දම දරා ගන්ට බෑ… යි කියමින් උන්වහන්සේ පපුවට සිය දෑතින් ගසා ගනිද්දී… තරුණයෝ… මහත් එඩියෙන් කෑ ගැසූහ. උන්වහන්සේගේ කතාවෙන් උසස් පොලිස් නිලධාරීහු ද රාජ්‍ය නිලධාරීහු ද තුෂ්නිම් භූත වූහ. දහසක් පමණ සෙනඟ අතර සිටි පිල්ලුමලේ කොලු ගැටවු තුන්හතර දෙනෙක් හිමින් සීරුවෙන් පාසල වත්ත දෙසින් තේක්ක කැලය දෙසට පියමං කළ බව ග්‍රාමාරක්ෂකයකුවූ විජේපාල නිලධාරියකුට කියනවා මට ඇසිනි. පිල්ලුමලේ කොල්ලෝ මෙහෙ ඇවිත් ඉන්නවා… කට පරෙස්සම් කරගනිල්ලා… යැයි වැඩිහිටියෝ කසු කුසු ගාමින් අවවාද කළහ. එදා හෑගොඩ ඉන්ද්‍රසාර හාමුදරුවන් සමග පාංශකූලයට වැඩම කළ මහ සඟරුවන අතරින් ජීවතුන් අතර සිටින්නේ හෑගොඩ ඉන්ද්‍රසාර නායක ස්වාමින් වහන්සේගේ ගෝල නමක් වූ අම්පාර විද්‍යානන්ද පිරිවෙනාධිපති වර්තමාන මහාවාපි විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමි පමණි. නායක හාමුදුරුවන් සමග මාත් එදා අරංතලාවට වැඩම කළා. අපේ අහිංසක මිනිසුන් මේ අන්දමට මරා දමද්දී මේ කොටි බල්ලෝ මෙල්ල කිරීමට ආණ්ඩුවට කොන්දක් නැති නම් තරුණ දරුවනි වරෙව් මාත් එක්ක. අපිටත් අතපය තියෙනවා කැති පොරෝ අරගෙන අපේ මව් බිම රැක ගැනීමට පෙරමුණ ගනිමු. ආදී වශයෙන් එදා අපේ නායක හාමුදුරුවෝ අභීත කතාවක් කළා. කිසි දිනක උන්වහන්සේ එහෙම කතා කරනවා මා දැක නෑ… එදා උන් වහන්සේ තම ඉරණම දැන ගෙන මෙන් මේ දිගාමඬුලු භූමිය රැක ගන්නට… අහිංසක මිනිසුන්ගේ ජීවිත රැකගන්නට මාත් මගේ ගෝලයනුත් දිවි පුදනවා… දරුවනේ! පපුවට ගසා ගත්තා.

ඒ ඇසූ එතැන සිටි තරුණයෝ… අපිට තුවක්කු දෙනවා නම් අපි රට රැක ගන්නවා හාමුදුරුවනේ යි කෑ ගැසූ හැටි මට තාමත් මතකයි. යැයි පැවැසූහ.

මීට පෙර කොටින්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන හඬ නැගූ මංගලගම මහා විහාරාධිපති ඇකිරියන් කුඹුරේ ඉන්ද්‍රරතන හිමි පැහැර ගෙන ගොස් මරා දැමූ තොප්පිගල කොටි නායකයන්ට හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ගේ මෙම තර්ජනාංගුළිය එදිනම වාර්තා විය.

අරන්තලා මිනිස් ඝාතනයෙන් පසු බොරපොළ සිට අරන්තලාව දක්වා පමණක් නොව නුවරගල ,කෙටිලියාමඩු , මංගලගම රජගල තැන්න දක්වාම අරන්තලා මාර්ගය දෙපස විසූ ගොවියෝ සිය ගේදොර වතුපිටි හැර දමා පලා ගියහ. මහඔය 69 හන්දියෙන් එහාට කිසිදු මිනිස් වාසයක් නොවූයෙන් අම්පාර අරන්තලා මාර්ගය පාළු ස්වභාවයක් ඉසිලීය. අරන්තලාව හා බොරපොල පාසල් දෙකම වැසී ගියේය. අරන්තලා මාර්ගය මරණයේ මාවත බවට පත් විය. මේ නිසා හවස හතරෙන් පසු එම මාර්ගයේ කිසිදු වාහනයක් තබා බලු බල්ලෙක්වත් ගමන් නොකළේය.

1987 ජුනි 02 දින කලින් සංවිධානය කරගත් පරිදි හෑගොඩ ඉන්ද්‍රසාර නායක හිමියන් ඇතුළු හතළිහක් පමණ හිමිදිරි උදෑසන කතරගම බලා යෑමට අම්පාර ඩිපෝවේ අංක 60 ශ්‍රී 3599 බස් රථයට ගොඩ වී අසුන් ගත්හ. බුදුන් වැඳ ආගමික වතාවත් කිරීමෙන් පසු මේ අන්දමට බස් රථයේ අසුන් ගත් භික්ෂුන් වහන්සේ රැගත් බස් රිය සාමණේර ස්වාමින් වහන්සේලාගේ සාදුකාර හඬ මැද්දේ අම්පාරෙන් පිටත් වී උහන, පුළුකුනාව, මංගලගම සහ නුවරගල පසුකර අරන්තලාවට සේන්දු වෙමින් තිබිණ.

හමුදා ඇඳුමෙන් සැරසුන දෙදෙනෙක් පාර අයිනේ සිට රථය නවත්වන ලෙස සංඥා කළහ. ඊට ඉදිරියෙන් මාර්ගය හරහා විශාල තේක්ක කොටයක් දමා තිබිණ. රියැදුරු පී.බී. සමරපාල බස් රිය නතර කළේය. එවිටම සැඟවී සිටි 15ක පමණ පිරිසක් අවි අමෝරා ගෙන බසයට ගොඩ වූහ. එතෙක් රියැදුරුගේ හිසට තුවක්කුව එල්ල කර හරවපිය අඩෝ බස් එක කැලේ පැත්තටයි අණ කළෙන් රියැදුරු බසය කැලය තුළට ගෙන ගොස් නැවැත්වීය.

තුවක්කු හා කඩු කිණිසි අතින් ගත් මිනීමරු කොටි රැලේ සිටියෙක් සාමි තොපි කොහෙද යන්නේ? එංගෙ පොරෙන්? කියත්ම අපි වන්දනාවේ යනවායි පොඩි හාමුදුරුවරු පැවසූහ. ළමා වයසේ සිටි ස්වාමින් වහන්සේලා සතු මුදල් පැහැරගන්නටත් තුවක්කු බටවලින් ඔළුවලට අනින්නටත් වූහ. පාහර බල්ලෝ… ඔය පොඩි හාමුදුරුවන්ට හිරිහැර නොකර කරන දෙයක් මට කරපව් කියා ලොකු හාමුදුරුවන් නැගිට සිටිත්ම එකෙක් හාමුදුරුවන්ගේ ඔළුවට කඩුවෙන් කෙටුවේය. ත්‍රස්තයෝ තම අත තිබූ කඩුවලින් කෙසෙල් කඳන් කපා හෙළන්නාක් මෙන් කුඩා සාමණේර හිමිවරුන් මරා දමන්නට වූහ. ඒ අතර මැෂින් තුවක්කුවක් අතින් ගත් කොටියෙක් ඒ මේ අතට හැරෙමින් වෙඩි වරුසාවක් වස්වන්නට විය. ඉක්බිති ඔවුහු බසයෙන් බැස කැලෑවට වැදුනහ.

අපවත් වූ භික්ෂුන් වහන්සේ 31 නමකගේ හා රියැදුරු රිය සහයක හා වසන්ත ජයවර්ධන නමැත්තා ගේ මළසිරුරු අරන්තලාවේ සිට රැගෙන විත් තැන්පත් කළේ අම්පාර මහ රෝහලේ ආලින්දයේය.

හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවන් කළ වරද අරන්තලාවේ ඝාතනයට ලක් වූ ගම්මුන් වෙනුවෙන් කතා කිරීමය. එම වරදට දඬුවම උන්වහන්සේ ඇතුළු තිස් දෙනමක්ගේ හිස් කැති ගා මරා දැමීමය. එක්දහස් නවසිය අසූ හතේ ජුනි හත් වැනිදා පස්වරුවේ උන්වහන්සේ තිස් දෙනම වෙනුවෙන් එක පෙළට අම්පාර වැව ඉස්මත්තේ ඉදිකළ චිතකවල ආදාහනය කෙරුණි.

සඳරුවන් ලොකුහේවා