කතුවැකි

අමාරුකාරයෝ

රජයේ සේවකයන්ගේද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේද වැටුප් කපා මේ ආර්ථික අහේනියට යම් සහනයක් ලබා දිය යුතු යයි පසුගිය දිනවල ජනමතයක් ගොඩනැගෙමින් තිබිණ. වෘත්තීය සංගම් නායකයන් කීවේ රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කරන්නට කලින් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප පරිත්‍යාග කළ යුතු බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණ මන්ත්‍රිවරු වහ වහා තම වැටුප පරිත්‍යාග කරමින් ඒ බව ප්‍රවෘත්ති සාකච්ඡා තබමින් ප්‍රකාශයට පත් කළේය. මහින්ද අමරවීර අමාත්‍යවරයා කොරෝනා තිබෙන තෙක් තම වැටුප රජයට පරිත්‍යාග කරන ලියවිල්ලක්ද භාර දුන්නේය.

ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රය පිටට විකුණන විට එයට ප්‍රචාරය නොකළ මන්ත්‍රිවරු පාර්ලිමේන්තු වැටුප පරිත්‍යාග කරන මොහොතේ එය ප්‍රචාරය කිරීම පසුගිය සතියේ මානිගෙ තීරුවෙන් උපහාසයට ලක් කර තිබිණ. එහෙත් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ වැටුප නම් පරිත්‍යාග කළ නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ එතුමා ඒ වැටුපෙන් ණය අරගෙන තිබෙන නිසාය. ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාද එස්.බී. දිසානායක මන්ත්‍රිවරයාද තමන්ට මුළු වැටුපම පරිත්‍යාග කළ නොහැකි බව කියමින් වැටුප පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කළේය.

මේ අනුව දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ අපට වඩා අමාරුකාරයන් බව පෙනේ.

අද පමණක් නොව ආර්ථික අර්බුදයක් සහිත ජාතික ව්‍යසනයකදී මැති ඇමැතිවරු පළමුව වැටුප් කප්පාදු කරගෙන දෙවනුව ජනතාවට එබඳු පරිත්‍යාගයකට ආරාධනා කිරීම අපේක්ෂිත සිරිතකි. එක්දස් නවසිය විස්ස අවසාන භාගයේ එනම් මීට වසර 100කට පෙර ලෝක ආර්ථික අවපාතය ලංකාවට තදින් දැනෙන්නට විය. පහළොස් දහසක් පමණ මරණයට පත් කළ මැලේරියා වසංගතයද දරුණුවට සතර කෝරළේ පැතිරුණේ එකලය.

එදා පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයකුට වැටුප රුපියල් පන්සියයක්ද නිදහස් දුම්රිය ගමන් බලපත්‍රයක් ද හිමි විය. පවතින ජාතික ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රි වැටුපෙන් රුපියල් සියයක් කැපිය යුතු යැයි එදා ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රිවරු යෝජනා කළහ. එවිට ව්‍යවස්ථාදායක සභාවේ සිටි ඒ. ඊ. ගුණසිංහ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නා මන්ත්‍රින් 49 දෙනාගෙන් රුපියල් සියය බැගින් කැපීම විහිළුවක් බවත් ඔවුන්ගේ මුළු පඩියම පරිත්‍යාග කළ යුතු බවටත් කියමින් විවේචනය කළේය. එදා ව්‍යවස්ථාදායක සභාවේ සිටි 49දෙනා රේන්දකරුවෝ, වතුහිමියෝ, මිනිරන් පතල් හිමියෝ වූහ. එහෙත් මැලේරියා වසංගතය සහ ආර්ථික අවපාතය නිසාවත් මුළු පඩියම කැපූ බවක් හෝ පඩියම පරිත්‍යාග කිරීමට එගඟ වූ බවක් වාර්තා වන්නේ නැත.

ඔවුන් පඩිය මුළුමනින්ම රජයට දුන්නේ නැතත් ඇතැමුන් රටේ උන්නතියට පුද්ගලික ධනයෙන් විශාල පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් බවද අමතක නොකළ යුතුය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පඩිය පරිත්‍යාග කළ යුතු යයි ජනතාව සිතන්නේ එයින් රටේ ආර්ථිකයට විශාල ගැම්මක් ලැබේ යැයි සිතා නොවේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ මාසික වැටුප රුපියල් 54285කි. පාර්ලිමේන්තුවට වරක් පැමිණීමේදී රුපියල් 2500ක දීමනාවක් ලැබේ. කාර්යාලයක් සඳහා රුපියල් 100000ක් ලැබේ. මේ අතරින් වැටුප් කපා මුදල් ඉතිරි කර ගත්තත් රජයට වාර්ෂිකව ඉතුරු වන්නේ රුපියල් දාහතර කෝටි පනස් අට ලක්ෂයකි. ඒ මුදල මන්ත්‍රිවරයකුගෙන් කපා ගැනීමෙන් උන්ටත් පඩි නෑ කියන ඊර්ෂ්‍යාකාර සතුට විනා ජනතාවට ලැබෙන දෙයක් නැත. එහෙත් ජනතාව එසේ කියන්නේ ජනතාවට රජයේ සේවකයන්ට යම් කැප කිරීමක් කිරීම සඳහා ධෛර්යයක් ලබා දීමටය.

එසේ නැතිව පාර්ලිමේන්තුවේ 225 පමණක් එකතුව පරිත්‍යාග කර මේ අර්බුදයෙන් ගොඩ එන්නට ඉඩක් ලැබෙන්නේ නැත.

මෙරට රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ පහළොවකි. ඔවුන්ගේ වැටුප් බිල රුපියල් බිලියන 1200කි. මේ වැටුප් බිල ගෙවීම රජයට තිබෙන විශාල අභියෝගයකි. මීට පෙර වතාවක් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් හෙවත් රටේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා ලෙස හැම රජයේ සේවකයකුම දවසක වැටුප පරිත්‍යාග කළ යුතු බව කීවේය. එසේ කිරීමෙන්ද ජාතියට ඉතිරිවන මුදල බිලියන දෙකකට වැඩි නොවේ.

දැනටමත් ර​ජයේ අමතර වියදම් කර තිබේ නම් බඳවා ගැනීම්, පත්වීම් ලබාදීම් මතු නොව වැඩට නොඑන දිනවල වැටුප් නතර කිරීමටද රැස්වීම් ආදියට නිලධාරීන්ට පැමිණීම වෙනුවෙන් ගෙවන ඉන්ධන හා දීමනාවද පැමිණෙන දිනට පමණක් ගෙවීමටද තීන්දු කර ඇත. එහෙත් තවත් අමාරුකාරයින් පිරිසක් රටේ වෙති. රුපියල් 50ක්ව තිබූ සීනි සඳහා රේගු බද්ද ශත 25ට අඩු කර දුන්නේ මෙරට සීනි මිල අඩු කිරීමටය. එහෙත් ඒ රේගු බදු සහනය ගත් සීනි ව්‍යාපාරිකයෝ සීනි විකිණුවේ කි​ලෝව රුපියල් 200ටය. ඔවුන් කීවේ ඩොලරයේ අගය ඉහළ යන නිසා තමන්ට අමාරු බවය. මහ පරිමාණ සහල් ව්‍යාපාරිකයෝද වී තොග හංගාගෙන සහල් මිල නැංවීමට කටයුතු කළේ තමන් වී වැඩි මිලට ගත් නිසා අමාරු බව කියමිනි. මේ ජාවාරම්කාරයන්ද මන්ත්‍රිවරුන්ද අමාරුවෙන් ඉන්නා මේ කාලයේ

දෛනික ආදායම් මාර්ග අහිමි වීම නිසා රජයෙන් ගෙවමින් සිටි රුපියල් 2000 දීමනාව යළි රජයට පරිත්‍යාග කළ පිරිසක් පිළිබඳ පුවතක් පසුගිය සතියේ වාර්තා විණ. රූපවාහිනි කැමරා නැතිවම තමන්ට පුළුවන් හැටියට පරිත්‍යාග කරන තැනට ජනතාව පත්ව සිටිති. කිරිබත්ගොඩ නගරයේ රුපියල් කෝටි දෙකක් බෙදූ බෙවන් නම් කුප්‍රකට ව්‍යාපාරිකයාගේ පුතාගේ පටන් බොහෝ දෙනෙක් දැන් කැප කිරීම පටන් ගෙන ඇත. ස්වේච්ඡාවෙන් ලොක් ඩවුන් වෙමු යයි තීන්දු කළ අයටද දැන් ස්වේච්ඡාවෙන්ම කැප කිරීම් කළ යුතු කාලය පැමිණ ඇත.

එහෙත් ජනතාවට වඩා අමාරුකාරයින් ඉන්නා තාක් එසේ කරන්නට බැරි වනු ඇත.