කතුවැකි

අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ​ !

වෙද ගෙදරක, සිංහල බෙහෙත් කඩයක පස් පාගන්නටවත් හිතුවේ නැති මංචාඩි, කළං පත අට ආදී මිණුම් අහලාවත් නැති ඇත්තෝ බෙහෙත් කඩවල පෝලිම් සැදී ඉඟුරු, කහ තොග පෙරුම්කායම් ඉවර කරනු දකින සාහිත්‍යවේදීන්ට මතක් වෙනු ඇත්තේ මහගමසේකර කවියාගේ ‘ගමට එන්න පාර කියාපන්නේ’ නම් මේ කවි පන්තියයි.

සිදාදියට එන්නට මට

බුද්ධිය නුඹ තමයි එදා

පාර කියා දුන්නේ

ගමෙන් උරුම වූ වස්තුව

පොදියක් බැඳ කර තියාන

නුඹේ බහට රැවටිලයි

සිදාදියට ආවේ

ඒ එනකොට ගෙන ආ දෙය

විය පැහැදම් කළා මිසක

මෙහිදි අලුතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ

ඉස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ

සිදාදියෙන් ආපසු මගේ

ගමට යන්න ආසයි මට

ඈත ඉඳන් අත වනලා

අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ

අප දැන් ඉන්නේ ගමෙන් එනකොට අමතක කළ දෑ හදිසියේ මතක් කර ගන්නට වෙර දරන අවධියේය. ගැමි සමාජයක් පැවති එදා මුල්තැන දුන්නේ වෙදාට නොව ලෙඩාටය. ලෙඩා සොයා ගෙන වෙදා ගියේය. ප්‍රත්‍ය ශතකයේ කියන්නේ ලෙඩාට වෙදා එදා දුටු විට දෙවියන් එන බවක් හැඟෙන බවය. එහෙත් බටහිර වාණිජ සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව නම් මුල් තැනට එන්නේ ලෙඩා නොව වෙදාය. අන්තිම හුස්ම පොද අදිමින් සිටියත් අංකයක් ගෙන පෝලිමේ හිඳ අසුරු සැණින් එක මොහොතකදී තම ව්‍යාධිය ගැන දොස්තර රොබෝට කිව යුතුය.

සිංහල වෙදකමට ඇස් වෙදකම, ගෙඩි වෙදකම සර්වාංග වෙදකම සේම කට්ටඩිකමද අවසානයට ඇතුළත්ය. කට්ටාඩියා දරැහැවේ මළ මිනියක් සේ දපා අමු සොහොනට ගොස් රෝගීව ඉන්නා ආතුරයා වෙනුවට මහසෝනා, රීරියකාට හෝ බිලිවන්නේය. ආතුරයා වෙනුවට යකාට ජීවිතය කැප කිරීමේ අපේ කට්ටඩිරාල ළඟ තිබූ ගුණයවත් නව වෛද්‍ය විද්‍යාවේ දොස්තරලාට නැත. බටහිර වෛද්‍ය ක්‍රමයේ යකාගේ තැන ඉන්නේ දොස්තරය. ඔහු සත 50 පෙත්තට රුපියල් 50ක පෙත්තක් නියම කර ඉන් බෙහෙත් සමාගම්වලට ලැබෙන ලාභයෙන් කොමිස් ගනිමින් ලෙඩාගේ රීරිමාංසය උරා බොයි. අපි අපේ දේට සිනාසුනෙමු. ගමේ දෙට සිනාසුනෙමු.

විදේශයන්ගෙන් ගෙන්වන රසායනික ඖෂධ වෙනුවට මෙරට වැවෙන කොළ, පොතු, මුල්, මල්වලින් බෙහෙත් දෙන වෙදාට කොළ වෙදා යැයි අවමන් කළෙමු. කොළ කැඳ දරුවන් අතර ප්‍රචලිත කරන්නට සංස්කෘතික හා දේශීය වෛද්‍ය ඇමැතිවරයකු වූ වි ජ මු ලොකු බණ්ඩාරයන් කටයුතු කරන විට ඔහුට කොළ කැඳයා යැයි අවමන් කෙරිණ.

අපේ ආචාර සමාචාර පවා ගොඩනැගී තිබුණේ ද සෞඛ්‍යාරක්ෂිත ලෙසය. පොදු රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිත් චාල්ස් කුමාරයාත් ලංකාවට ආ මොහොතේ චැනල් 04 නාළිකාව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මෙසේ ඇසුවේය.

‘‘ඔබ ජන සංහාරයක් කරලා අත්වල ලේ ගෑවුන කෙනෙක්. ඔබට පුළුවන්ද බ්‍රිතාන්‍ය අගමැතිට අත දෙන්න.’’

‘‘අපි අත දෙන්නේ නෑනේ. අපි දෑත එකතු කරලා ආයුබෝවන් කියලා පිළිගන්නේ.’’

අපේ ජාතික සිරිත් විරිත් ගැන දත් නිසා මහින්ද බ්‍රිතාන්‍යයේ මාධ්‍යවේදීන්ගේ කට වහන්නට පුළුවන්ය. අද චාල්ස් කුමාරයාද කොරෝනාවෙන් බේරෙන්නේ එදා මහින්ද චැනල් 4 අයගෙන් බේරුණ දෑත් එකතු කර ආයුබෝවන් කියන උත්තරයෙනි.

එදා බෝවෙන රෝගයක් හැඳුන විට කළේ රෝගියා තාවකාලිකව වෙන් කර තැබීමය. එය වෙන් කර තැබීමක් මිස කොන් කර තැබීමක් නොවීය. එහෙත් ලෙඩුන් වෙන් කිරීම මහා අපරාධයක් සේ ද නූගත් ගම්මුන්ගේ වැඩක් සේ ද ගත් ඇත්තෝ ලෙඩා සිප ගැනීම ඒඩ්ස් රෝගියාට අත දීම උත්තම චාරිත්‍රයක් සේ සැලකූහ. එහෙත් ඒවා අමු ව්‍යාජ වැඩ බව කොරෝනා හමුවේ පෙනේ. දැන් කොරෝනා රෝගීන් වෙන් නොව කොන් කරති.

අපේ පරපුර නගරයට ආවේ බුද්ධිය පාර කියා දුන් බැවිනි. ගමෙන් එන විට ගෙන එන්නට අපේ බොහෝ වටිනාකම් තිබිණ. ගමෙන් ගෙනා දෑ මිස අලුතින් එකතු කර ගත් දෙයක් අපට නැති බව කොරෝනා නිසා ලත් ඉසිඹුවේදී හිතා බලන විට පෙනේ. ගමෙන් ගෙනා දෑ විය පැහැදම් කළා විනා අලුත් දෙයක් එකතු කර ගෙන නැත. දැන් අපි නාඩි වැටෙන්නේ නැති වුන් වැනිය.

දැන් අපි පරණ බේත් වට්ටෝරු සොයා ගැනීමෙන් සෑහීමකට පත් නොවී ඒ ශිල්ප ශාස්ත්‍ර හා බැඳුන ගුණ ධර්මද සොයා සාරා පාදා ගත යුතුය. ජාතියේ නාඩි වැටෙන හැටි එවිට තේරුම් යනු ඇත.