කතුවැකි

අප මිථ්‍යාවෙන් නිදහස් වන්නේ කවදාද?

මේ ඊයේ පෙරේදා වනතෙක් අභ්‍යවකාශයට හෝ චන්ද්‍රයා වැනි ආකාශ වස්තූන් වෙත ගියේ අභ්‍යවකාශගාමීන් පමණය. දැන් එම තත්ත්වය වෙනස් වී තිබේ. පසුගිය දිනෙක පළමුවරට සාමාන්‍ය මිනිසුන් පිරිසක්ද අභ්‍යවකාශය තරණය කළේය. නුදුරු දිනකදී සාමාන්‍ය මිනිසුන් හඳට වුවත් යන්නට ඉඩ තිබේ. එපමණක් නොව අතීතයේ මිනිසා දේවත්වයෙන් පුදනු ලැබූ සඳ, තරු වැනි අභ්‍යවකාශ වස්තූන්වල ජනාවාස පවා ඉදිවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

ලෝකය සඳ, තරු ජය ගනිමින් සිටියදී අප සිටින තැන ගැන අවබෝධ කරගත හැකි පුවතක් ඊයේ (26 වැනිදා) අප පුවත්පතේ පළ වී තිබිණ. කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ එම පුවතට අනුව තම දියණියගේ කුළුඳුල් දරු ප්‍රසූතියෙන් පසු ඇය මිය යනු ඇතැයි ජ්‍යොතිෂකාරයකු කී කෙබරයක් පිළිගත් මවක් දියණියගේ දරුගැබ විනාශ කරන්නට උත්සාහ කර තිබේ. මේ මව විනාශ කරන්නට උත්සාහ කර ඇත්තේ නීතියෙන් විවාහ වී දරු සම්පතක් ලබන්නට සිටි තම දියණියගේ දරුගැබය. මවක වූ මේ කාන්තාව තම දියණිය මවක වීම වළක්වනවා පමණක් නොව ඝාතනයක්ද කරමින් තම දියණියගේද ජීවිතය අනතුරේ හෙළන්නට පෙලඹවූ කාරණය අන් කිසිවක් නොව මිථ්‍යා විශ්වාසයයි.

මේ කාන්තාව සිදුකර ඇති නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීති මගින් පියවර ගැණෙනු ඇත. දැනටමත් පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් මෙවැනි මිනිසුන්ගේ ගොංකම් එතැනින් අවසන් වේ යැයි කල්පනා කළ නොහැකිය. අපේ සමාජය තුළ මිථ්‍යාව ඒ තරමට ඔඩු දුවා ඇති නිසාය.

අපේ රට මොනතරම් දුප්පත් රටක් වුවත්, දකුණු ආසියාවේ පමණක් නොව ලෝකයේම අප වැනි රටවල් හා සසඳන විට දියුණු හා නිදහස් සෞඛ්‍යය සේවයක් ඇති රටකි. අප රටේ සාක්ෂරතාවද ඉහළ මට්ටමක ඇති බව අප කියන්නේ මහත් වූ උජාරුවකිනි. එසේ තිබියදීත් අසනීපයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගෙන දේව අනුහසින් ලෙඩ සුවකර ගන්නට උත්සාහ කරන අය එමට සිටිති. දෙවියන්ගේ අනුහසින් ලෙඩ සුවකර ගන්නට යන එවැනි ඇතැමකුගේ ජීවිත පවා අහිමිවන අවස්ථා ඇතත්, මේ මිථ්‍යාවෙන් ගැලවෙන්නට අපේ සමාජයට තවමත් හැකි වී නැත.

සමාජයේ අව වරප්‍රසාදිත කොටස් මිථ්‍යාවේ වහලුන් වී ඇත්තේ ඔවුන්ගේ එදිනෙදා ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් නොමැති වීම බවට ජනප්‍රිය තර්කයක් තිබේ. එහි යම් සත්‍යතාවක් ඇතත්, ඉහළ අධ්‍යාපනයක් ඇති ධනවත්, බලවත් පුද්ගලයන් පවා මිථ්‍යාව සරණ යෑම අප තේරුම් ගන්නේ කෙසේද? ඇත්ත වශයෙන් නම් මිථ්‍යාව පසුපස යන්නේද එය ප්‍රවර්ධනය කරන්නේද සමාජයේ පහළ පන්ති ස්ථරයන් නොව ඉහළ ස්ථරයන් විසිනි.

ඉහළින්ම මිථ්‍යාව ප්‍රවර්ධනය කරන්නේද, ඊට නිල තත්ත්වයක් ලබා දෙන්නේද දේශපාලකයන්ය. ඔවුන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් මිථ්‍යාව ඔළුව උඩ තබා ගත්තත් අපට නම් ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වන්නේ ඔවුන් රට පිළිබඳ තීන්දු තීරණ ගන්නටද මිථ්‍යාව පසුපස යෑමය. එසේම ඔවුන් ඒ පස්සේ යන තරමට එය සමාජයේ පොදු භාවිතාවක් බවට පත්වීමය. මේ අය මිථ්‍යාව පසු පස්සේ යෑම නිසා ඔවුන්ට අත්වන සෞභාග්‍යක් ඇති වන්නේ දැයි අප නොදන්නා නමුත් ඔවුන්ට ඉන් අත්වන එක් ප්‍රතිලාභයක් ගැන නම් ටක්කෙටම කිව හැකිය. ඒ ඔවුන් පිළිතුරු දිය යුතු බොහෝ ප්‍රශ්නවලට ජනතාව ජ්‍යොතිෂකාරයන් හෝ කට්ටඬියන්ගෙන් නැතිනම් දෙවියන්ගෙන් උත්තර අපේක්ෂා කිරීමය. ඒ අනුව බලන විට රටේ ජනතාව මිථ්‍යාවේ පසුපස යෑම දේශපාලකයන්ට මහත් වූ ආශීර්වාදයකි.

රට හදන්නට කතා කරන හැම කෙනකුම කියන්නේ ගොඩනැගිලි, මං මාවත්, ඉදිකිරීම, විදුලිය, ජලය වැනි පහසුකම් ලබාදීම රැකියා උත්පාදනය, පොදු පහසුකම් සංවර්ධනය ආදී කාරණා ගැනය. රටට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීමද රටේ සංවර්ධනයක් සේ දකින අය සිටිති. එහෙත් අප නම් දකින්නේ රට සංවර්ධනය කරන්නට සැබෑ අවශ්‍යතාවක් ඇති අයකු නම් පළමුව කළ යුත්තේ රටේ ජනතාව මිථ්‍යාවේ ග්‍රහණයෙන් ඔවුන් නිදහස් කර ගැනීමය. මිථ්‍යාවෙන් නිදහස්වන ජනතාව ඇත්ත දකින්නටත්, යථාර්ථයට මුහුණ දෙන්නටත් පුරුදු පුහුණු වනු ඇත. එහෙත් ජනතාව මිථ්‍යාවෙන් නිදහස් කර ගන්නට කිසිවකුටත් අවශ්‍යතාවක්, උනන්දුවක් නැත්තේද ඒ නිසාමදැයි අප දන්නේ නැත.