විශේෂාංග

අප ඉන්නෙ කොරෝනා වහාම පාලනය කළ යුතු තත්ත්වයක

ලෝකය අකර්මණ්‍ය කළ කොවිඩ් 19 වයිරසයට එරෙහිව මේ වන විට එන්නත් කීපයක් සාර්ථකව ප්‍රතිචාර දක්වන බව අසන්නට ලැබීම වසරකට අධික කාලයක් මේ වසංගතයෙන් බැටකන ලෝ ජනයාට නම් සැනසුම් සුසුමක් වනු ඇත. නමුත් ඒ එන්නත ජනතාවට ලබාදීමට තව ටික කලක් ගතවනු ඇත. මෙලෙස එන්නත් සොයාගැනීම නිසා කොරෝනා ලොවින් තුරන් කළ හැකිවේද? මේ එන්නත අපටත් ලැබෙයිද යන්න පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක සමග කළ සංවාදයයි මේ.

බස්නාහිර පළාතේ සහ අවදානම් කලාපවල හැර අනෙත් පළාත්වල පාසල් නැවත විවෘත කිරීමට මේ වන විට සිදුවී තියෙනව. පවතින තත්ත්වය යටතේ එවැනි තීරණයක් අවදානමක් නොවන්නට මොනවගේ ක්‍රියාමාර්ගයන් ද ගත යුත්තේ…?

අවදානමක් තියෙනව තමයි, හැබැයි එහෙමයි කියල හැමදාම රටේ හැමදේම වහගෙන කටයුතු කරන්නත් බෑ. එහෙම විවෘත කිරීමේදී අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමුකළ යුත්තේ නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන පසුබිමක් තියෙනවද කියන එක ගැන. වැදගත්ම දේ තමයි රෝගය වැළැක්වීමේ මූලික ක්‍රියාමාර්ග පිළිපැදීම. ඒ වගේම ජනයා අනවශ්‍ය ලෙස ගැවසීම අඩුකිරීම තමයි අත්‍යවශ්‍යම දේ. මොන ස්ථානය විවෘත කළත් මේ දේවල් ඒ විදිහටම වෙන්න ඕන. පාසල් විවෘත වෙද්දි අනිවාර්යයෙන්ම පරෙස්සම් විය යුතුයි. මොකද පොඩි ළමයින්ට කොරෝනා රෝගයේ සංකූලතා අඩුවෙන්න පුළුවන්. නමුත් ඔවුන් රෝග වාහකයන් වෙලා නිවසේ ඉන්න වැඩිහිටි පුද්ගලයන්ට රෝගය බෝ වුණොත් ඒක භයානක වෙන්න පුළුවන්. පොඩි ළමයින්ට අවදානමක් නෑ කිව්වත් තාම මේ රෝගයට අවුරුද්දයි. තාම කවුරුවත් දන්නෙ නෑ රෝගය වැලඳිල රෝග ලක්ෂණ නැතිව සුවවුණ කෙනකුට වුණත් තව අවුරුදු පහකින් හයකින් එන සංකූලතා ගැන. ඒ නිසා ඒ අවදානම නොගත යුතුයි.

මේ වන විට කොරෝනා දෙවැනි රැල්ල අපි යම්තාක් දුරකට මැඬපවත්වා තියෙන බවට යම් යම් සුබවාදී කතාබහ ඇහෙනව. ඇත්තටම අපි දැන් ඉන්නෙ කොවිඩ් පාලනය කළ තත්ත්වයකද?

ඒක මම මෙහෙම කියන්නම්කො… අපි ඉන්නෙ මේ තත්ත්වය වහා පාලනය කළ යුතු තත්ත්වයක. කොරෝනා මුල් රැල්ලෙදි අපේ රටින් රෝගීන් වාර්තා වුණේ ඉතා අඩුවෙන්. දෙවැනි රැල්ලෙදි ඒක වැඩිවුණා. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නෙ වයිරසය පැතිරෙන්න අවශ්‍ය පාරිසරික සාධක ඒ තැන්වල සම්පූර්ණ වී තිබීම. ඇඟලුම් කම්හල්, පෑලියගොඩ මාළු වෙළඳපොළ වගේ ස්ථාන විශාල වශයෙන් ජනතාව ගැවසෙන, දෑත් පිරිසුදු කිරීමේ පහසුකම් අඩු, සෞඛ්‍ය පහසුකම් අඩු, වාතාශ්‍රය අඩු තැන්. ඒව රෝගය ඉතා පහසුවෙන් ව්‍යාප්තවීමට අවශ්‍ය සාධක සම්පූර්ණ වුණ තැන්.

පෑලියගොඩ මාළු වෙළඳසැලෙ වෙළඳාම් කරන්නෙ කොළඹ ජනඝනත්වය වැඩි, පිරිසිදු වාතාශ්‍රය නැති, සෞඛ්‍ය පහසුකම් නැති ප්‍රදේශවල පිරිස. ඒ නිසා ඒ අය අතරත් රෝගය වේගයෙන් පැතිරෙනව. ඒකත් හේතුවක් වුණා රෝගය මෙවර වේගයෙන් ව්‍යාප්ත වෙන්න. මේ වගේ තැන්වලට කියන්නේ Super Spreader කියල. රෝගය 80% විතර ව්‍යාප්තවෙන්නෙ Super Spreader වලින්.

කොළඹ ගත්තොත් කොළඹ හැම තැනම රෝගය වේගයෙන් පැතිරුණේ නෑ. කොළඹ ජනතාව වැඩියෙන් ගැවසෙන තැන්වල තමයි රෝගය ව්‍යාප්ත වුණේ. එවැනි තැන්වල නීතියෙන් පමණක් මේ තත්ත්වය පාලනය කරන්න බෑ. ඒකට ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙ සහයෝගය අවශ්‍යයි. එතනදි මේ රෝගය පැතිරීම වළක්වාගන්නෙ කොහොමද කියන අවබෝධය ලබාදීමෙන් ඒ අය බලගැන්වීමක් කළ යුතුයි. ඒ ප්‍රදේශ වසා දැමීම හොඳ විසඳුමක් නෙමේ. ඒ ප්‍රදේශ වසා දැම්මත් ඒ අයගෙ හැසිරීම් රටාවත් එක්ක බලාපොරොත්තු වන දේ නොවෙන්න පුළුවන්.

රටේ විවිධ තැන්වලින් රෝගීන් වාර්තා වුණත් වසංගතවේද අංශය තවමත් කොරෝනා සමාජ ව්‍යාප්තියක් වී නැති බවයි පවසන්නේ. ඇත්තටම තවම රෝගය සමාජ ව්‍යාප්තියක් වෙලා නැද්ද?

රෝගීන් සමාජයෙන් හමුවීමයි, රෝගය සමාජ ව්‍යාප්තියයි කියන්නෙ දෙකක්. සමාජ ව්‍යාප්තිය කියන එක තාක්ෂණික තීරණයක්. ඒ තාක්ෂණික තීරණය දෙන්න ඕන වසංගතවේද අංශය. එතනදි විවිධ තාක්ෂණික කරුණු සලකා බලල තමයි රෝගය සමාජ ව්‍යාප්තියක් වෙලාද නැද්ද කියන එක තීරණය කරන්නෙ. අපි හිතමු රෝගය සමාජ ව්‍යාප්තවෙලා කියන තීරණය දුන්න කියල. ඒක බරපතළ තීරණයක්. මොකද එතනදි වසගංතය මර්දනයට ගන්න ක්‍රියාමාර්ගය වෙනස් කරන්න වෙනව. උදාහරණයකට රෝගය සමාජ ව්‍යාප්තිය වෙලා තියෙනවා නම් ආශ්‍රිතයන් හඹායෑම (contact tracing) ඵලක් නෑ. ඒක හින්ද සමාජගතවීම කියන වැරැදි තාක්ෂණික වචනයක් පාවිච්චි කරල ඒ වචනයෙ අර්ථය අල්ලගෙන විවේචනය කිරීම සුදුසු නෑ. ඒක වැරැදියි. හැබැයි මේ මොහොතේ රෝගය වේගයෙන් පැතිරෙන එක සිදුවෙනව. ඒක අභියෝගාත්මක කාරණයක්. පුද්ගල දුරස්ථභාවය, අත්සේදීම, මුව ආවරණයක් නිසියාකාරව පැලඳීම වගේ දේවල් අනුගමනය කිරීමෙන් පමණයි ඒ අභියෝගය ජයගත හැක්කේ.

රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරන පීසීආර් පරීක්ෂාවන් සහ වෙනත් නව පරීක්ෂාවන් සිදුකිරීම ප්‍රමාණවත්ව සිදුනොවන බවට ඇතැම් පාර්ශ්වයන් චෝදනා නගනව. අහඹු ලෙස තෝරාගත් නියැදි පීසීආර් කිරීමෙන් රෝග ව්‍යාප්තිය පිළිබඳ නියම චිත්‍රයක් ලබාගන්න පුළුවන්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙ පීසීආර් පරීක්ෂණ 100ක් කරද්දි, ඉන් පොසිටිව් වන ප්‍රමාණය 3ත්, 10ත් අතර තියෙනව නම් ඒක හොඳ තත්ත්වයක් කියල. මෙරටින් දවසකට කොරෝනා රෝගීන් අඩුවෙන් හමුවුණු පළමු රැල්ලෙදි දවසට පීසීආර් කළේ 1500ත්, 2000ත් අතර ප්‍රමාණයක්. එහෙම කළත් ලෙඩ්ඩු අහුවුණේ 10ක් වගේ සංඛ්‍යාවක්. ඒ කියන්නෙ සීයක් කළත් එක්කෙනෙක් හම්බවෙන්නෙ නැති තත්ත්වයක්. අද රෝගීන් වැඩිපුර හම්බවෙනව වගේම දවසකට පීසීආර් 10000කට ආසන්න ප්‍රමාණයක් සිදුකරනව. එතනදි දවසකට තුන්සීයක් හාරසීයක් වගේ ප්‍රමාණයක් ආසාදිතයන් හමුවෙනව. දළ වශයෙන් ගත්තාම මුළු රටේම පීසීආර් කළොත් 5%ක්, 6%ක් වගේ සාමාන්‍ය අගයක් තමයි එන්නෙ. ඒකෙන් කියන්නෙ අහඹු ලෙස මේක රට පුරාම කරන එක වැඩක් නෑ කියන එක.

පීසීආර් කළ යුත්තේ ඉලක්කගත ආකාරයට. එහෙම අපි කොළඹ තෝරාගත් ප්‍රදේශයක 100කට පීසීආර් කළොත් විස්සක් තිහක් වුණත් හම්බවෙන්න පුළුවන්. ඉන් අදහස්වෙන්නෙ ඒ තැන්වල රෝගය ව්‍යාප්තවීම වැඩියි කියන එක. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ රට පුරා තත්ත්වය ඒකයි නැත්නම් කොළඹ පුරාම තත්ත්වය ඒකයි කියල. මට්ටක්කුලියෙ පීසීආර් 100ක් කළාම ප්‍රතිඵලයයි, නුගේගොඩ පීසීආර් 100ක් කළාම ලැබෙන ප්‍රතිඵලයයි වෙනස්. ඒ නිසා මේක කරන්නන් වාලේ කළ යුතු දෙයක් නෙමෙයි. මේ පරීක්ෂණ වියදම් බොහොම අධිකයි. ඒකට ලොකු තාක්ෂණයක් ඕන. එක දිගට දහස් ගණන් කරන්න කියල ඕනවට වඩා පීඩනයක් මේකට යෙදෙව්වොත් ඒක අපේ රටේ ධාරිතාවට දරාගන්න බැරිවෙන්න පුළුවන්. එහෙම වුණොත් පරීක්ෂණ පරක්කුවෙනව, ප්‍රතිඵල පරක්කුවෙනව. අවසානයෙදි අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ. අනෙක් පරීක්ෂණවලටත් කියන්න තියෙන්නෙ ඒ කාරණයම තමයි.

කොරෝනා ව්‍යාප්තිය හතරවැනි මට්ටම දක්වා පැතිරුණු පසු ස්වාභාවිකවම එය අඩුවෙන බව පැවැසෙනව. මෙහි සත්‍යතාවක් තියෙනවද?

එහෙම වෙන්න පුළුවන්. හැබැයි ලංකාව එහෙම කිට්ටුවටවත් තවම ඇවිත් නෑ. ඉතාලිය වගේ රටවල් ඒ තත්ත්වයට මුහුණ දුන්න. එහෙම වුණත් ආයෙත් රෝගය මතුවෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රස්තාරයෙ උච්චතම අවස්ථාවට ගිහින් පහළට එනකම් බලා සිටීම නම් කිසිසේත් සුදුසු නෑ. එය මරණ ප්‍රමාණය ඉතාමත් වැඩිවීමට හේතුවක්.

කොරෝනා දෙවැනි රැල්ලේ බොහෝ මරණයන් වාර්තාවෙන්නෙ කොළඹ ආශ්‍රිතව. ඇයි එහෙම වෙන්නේ…

වසංගතයක් හැමෝටම එක හා සමාන ලෙස බලපාන්නෙ නෑ. වැඩිපුර බලපාන්නෙ වැඩි ජනඝනත්වයක් තියෙන අඩු සෞඛ්‍ය පහසුකම් තියෙන ප්‍රදේශවලට. මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වෙච්ච කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගෙ ශාරීරික දුර්වලතා වැඩියි. වයස වැඩි පිරිසත් ඒ තැන්වල වැඩියි. ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු පිරිස. මේ හැමදේකම මිශ්‍රණයන් තමයි කොළඹ මේ රෝගය ව්‍යාප්තවෙලා තියෙන කොටසෙ තියෙන්නෙ. ඒ නිසා එවැනි කරුණු මරණ වැඩිවීමට බලපාල තියෙනව.

නිවසේ රෝගීන් මියයෑමට හේතුවී තියෙන්නෙ මොනවගේ කාරණාද?

නිවසේදී රෝගීන් මියයෑමටත් ඉහත කී හේතු බලපානව. ඒ වගේම රෝගය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය එතනදි වැදගත්. තමන්ට රෝග ලක්ෂණ තියෙනව නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවෙන්න ඕන. එහෙම නැතිව ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ යම් අඩුවක් තියෙනවා කියන එක. කොරෝනාවලට තියෙන භීතිකාවත් මේකට හේතුවෙන්න පුළුවන්. ඒනිසා රෝගය ගැන සමාජය බලගැන්වීම ඉතාවැදගත්. එතනදි ජනමාධ්‍යවලටත් ලොකු වගකීමක් තියෙනව.

කොවිඩ් ආසාදනය වෙලා සුව වුණාට පසුව ඒ පුද්ගලයගෙ ප්‍රතිශක්තිය වර්ධනය වෙන බවට වාර්තා පළ වෙනව…

කොහොමටත් වයිරස් ආසාදනයක් ඇතිවුණාට පස්සෙ ප්‍රතිශක්තියක් ඇතිවෙනව. මේ රෝගයෙදිත් ඒක එහෙම තමයි. සමහර රෝගවලදි ඒ රෝගය මුළු ජීවිත කාලයටම හැදෙන්නෙ නෑ. සමහර රෝග ආයෙත් හැදෙන්න පුළුවන්. කොරෝනා සම්බන්ධයෙන් තාම අපි දන්නෙ නැති කාරණය තමයි ඇතිවන ප්‍රතිශක්තිය කොච්චර කල් තියෙනවද කියන එක.

කොරෝනා රෝගය සම්බන්ධයෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම උදෙසා යම් යම් ඖෂධ නිකුත්වී තියෙනව. මේ රෝගය සම්බන්ධයෙන් ප්‍රතිශක්ති වර්ධනයට ඉවහල්වෙන බටහිර ඖෂධ තියෙනවද?

මේ රෝගයට අදාළව ප්‍රතිශක්තිය වර්ධනය වෙනව කියල විද්‍යාත්මකව තහවුරු වුණු කිසිම බෙහෙතක් තාම සොයාගෙන නෑ. ප්‍රතිශක්තිය ඇතිවෙන්න ශරීරයේ ප්‍රතිදේහ ඇතිවෙන්න ඕන. එහෙම ප්‍රතිදේහ නිපදවිය හැකි ප්‍රතිශක්තිජනක ඖෂධයක් තාම නෑ. හොඳින් ආහාර අරගෙන, ව්‍යායාම කරල, පිරිසුදුව හිටියම ස්වාභාවික ප්‍රතිශක්තියක් ශරීරයෙ ඇතිවෙනව. ඒක මේ රෝගයට විශේෂිත ප්‍රතිශක්තියක් නෙමේ. හැබැයි නිරෝගී බව කියන එක ඕනෑම රෝගයකට එක්තරා ආකාරයක ප්‍රතිශක්තියක්.

කොවිඩ් 19ට එරෙහිව මේ වනවිට එන්නත් කීපයක් සාර්ථක මට්ටමට පත්ව ඇති බව පැවසෙනව. කොරෝනාවලට එන්නතක් හොයාගන්න තව අවුරුදු කීපයක් බලා සිටීමට සිදුවේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පැවසුවා. එවැනි පසුබිමක එම කාලසීමාවන්ට පෙර එන්නතක් සොයාගැනීමේ වෑයම සාර්ථක වෙලා….

කොවිඩ්වලට එන්නත් නිපදවීමේ උත්සාහය පසුගිය අවුරුද්දක කාලයක පුරාම සිදුවුණු කටයුත්තක්. යම්කිසි වයිරසයකට එරෙහිව එන්නත් නිකුත් කිරීමට නම් සාමාන්‍යයෙන් අවුරුදු දහයක වගේ කාලයක් ගතවෙනව. ඒකට හේතුව තමයි එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය පියවර ගණනාවකින් සිදුවන නිසා. විශේෂයෙන්ම නව එන්නතක් නිපදවා ඒවා ජනතාවට එන්නත් කිරීමේදී ඉන් ඇතිවිය හැකි දිගුකාලීන හා කෙටිකාලීන අතුරු ආබාධ ගැන සොයාබැලීමක් කළ යුතුයි. එහෙම සොයාබලා සියලු දේ සුරක්ෂිතයි කියල තහවුරු වුණාට පස්සෙ තමයි එන්නතක් නිදහස් කරන්නෙ. තාක්ෂණික හා ආරක්ෂණ හේතු මත තමයි මම ඉහත සඳහන් කළේ අවුරුදු 10ක කාලයක් එවැනි දේකට ගතවෙනව කියල. නමුත් කොරෝනා වැනි හදිසි අවස්ථාවකදී එන්නතක් ඉතා ඉක්මනින් නිදහස් කරන අවස්ථාත් තියෙනව. හැබැයි ඒ අවස්ථාවල එන්නතක් නිෂ්පාදනය කිරීමේ ආරක්ෂිත ක්‍රියාමාර්ගය යම් වගකිව යුතු ආයතනයකින් තහවුරු කරන්න ඕන. එහෙම අනුමත වුණොත් විතරයි එන්නතක් භාවිත කිරීමට නිදහස් කරන්න පුළුවන්.

මේ විදිහට එන්නතක් සොයාගැනීමත් එක්ක කොරෝනා වයිරසය ලෝකයට කරන බලපෑම අඩුවෙයිද?

දැනට එන්නත් පහක් විතර සාර්ථකවෙලා ඉදිරියෙන් තියෙනව. එ​සාර්ථකවෙලා තියෙන ඒ එන්නත් පහෙන් එන්නත් දෙකක් 94%ක, 95%ක වගේ හොඳ ප්‍රතිඵල පෙන්නල තියෙනව. කොරෝනා කියන්නෙ ලෝකය පුරාම පැතිරුණු රෝගයක්. එන්නතකින් විතරක් කොරෝනා පාලනය බැරිවෙන්නෙ දැනට මුළු ලෝකයේම ජනගහනයට සරිලන ආකාරයේ එන්නතක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් කිසිම සමාගමකට තාම නැති නිසා. ඒ වගේම යම්කිසි එන්නතක් එක්වරක් පමණක් එන්නත් කිරීම සාර්ථක නෑ. අඩුම තරමේ දෙපාරක්වත් එන්නත් කරන්න ඕන.

අනෙක් කාරණය එන්නත් සමාගම්වලට වැඩිපුර ප්‍රාග්ධනය යොදවන්නෙ ධනවත් රටවල්. එතනදි ඒ එන්නත් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නෙත් ඒ ධනවත් රාජ්‍යයන්. එහෙම පසුබිමක අනෙක් රටවලට තමන්ගෙ සම්පූර්ණ ජනගහනය ආවරණය කරන්න එන්නත් ලබාගැනීමට අපහසුවෙනව. එවැනි අවස්ථාවල තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ සංවිධාන ඉදිරියට එන්නෙ එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන්. ඒ වගේම වැදගත්ම දේ තමයි එන්නතට අවශ්‍ය යටිතල පහසුකම් සපයාගැනීමේ අභියෝගය. උදාහරණයකට එන්නත ගබඩා කරගැනීමේ පහසුකම් එතනදි විශේෂයි. ඉතාම අඩුම උෂ්ණත්වයක් පවත්වා ගත හැකි දාමයකයි (cold chin) මේ එන්නත භාවිත කළ යුත්තේ. එවැනි ප්‍රායෝගික ප්‍රශ්නත් තියෙනව. එන්නත් එන එක හොඳයි. ඒ වුණත් එන්නත මත පමණක්ම රඳා පැවැතීම නම් කිසිසේත්ම සුදුසු නෑ.

එළැඹෙන මැයි මාසය වෙද්දි අපටත් ඒ එන්නතක් ලැබෙන බවට පැවසෙනව. එතනදි මොන වගේ දේවල්ද අප කළ යුත්තේ…?

ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හදාගන්න ඕන. අධිශීතකරණ වගේ පහසුකම් අපට එකවර හදාගැනීම අසීරුයි. අපි ඒ එන්නත යම් පිරිසකට ලබාදීමේදී ඊට අවශ්‍ය පහසුකම් තියෙන්න ඕන. එක වරක් එන්නත් කළාට පස්සෙ අදාළ එන්නත දෙවැනි වරටත් අපට ලබාගන්න පුළුවන්ද කියන එක සොයා බලන්න ඕන. එවැනි ප්‍රයෝගික ගැටලුවලට විසඳුම් සපයාගත යුතුයි. දැනට පවතින තත්ත්වය අනුව නම් අපිට මේක මැයි මාසයේ ලැබෙයි කියල හිතන්න අමාරුයි. එහෙම එන්නතක් අපට ලැබෙනව නම් ලබන වසරේ අගභාගය දක්වා කල්යන්න පුළුවන්.

එහිදී මුලින්ම ජනගහනයෙන් 20%කට තමයි ඒ එන්නත ලබාදෙන්නෙ. ඒ ලබාදෙන නියැදිය තෝරාගැනීමේදි මොනවගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕන…?

ඕනෑම රටක් මේ එන්නත දෙන්න සැලසුම් කරන්නේ ජනගහනය විවිධ කාණ්ඩවලට බෙදල. එතනදි අවදානම වැඩි කාණ්ඩවලට පළමුවෙන් එන්නත ලබාදෙන්න තමයි කටයුතු කරන්නෙ. උදාහරණයකට සෞඛ්‍ය අංශයේ සේවකයන්. ඔවුන් තමයි මේ රෝගීන් සමග සෘජුවම ගනුදෙනු කරන්නෙ. ඒ නිසා ඔවුන් අවදානම් කාණ්ඩයේ පසුවන අය. ඒ වගේම වයෝවෘද්ධ පිරිස, වෙනත් රෝග සංකූලතා තියෙන පිරිස වගේ අයට ප්‍රමුඛතාව දීම වැදගත්. ඇමරිකා එක්සත් ජනපදයටවත් තාම බෑ මේ එන්නත සියලු ජනතාවටම ලබාදෙන්න. ඒ නිසා අපි ගැන කුමන කතාද?

සංවාදය – ලක්මාල් බෝගහවත්ත