විශේෂාංග

අපේ රට ෆිච් රේටින්වලින් පහළ ගියේ ඇයි?

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින් (Fitch Ratings) විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළීමට කටයුතු කරන ලද්දේ පසුගිය නොවැම්බර් 27 වැනිදාය. ‘තවදුරටත්’ යැයි සඳහන් කළේ 2020 වර්ෂයේදී මීට පෙරත් ෆිච් වෙතින් එලෙස ශ්‍රී ලංකාව පහත හෙළා ඇති බැවිනි. ඒ 2020 අප්‍රේල් 24 වැනිදාය. අප්‍රේල් ආරම්භයේදී ණය ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ B මට්ටමේ සිටි ශ්‍රී ලංකාව B- දක්වා පහත හෙළනු ලැබීය. අනතුරුව දැන් මාස 07 කට පසුව B- සිට CCC දක්වා පහත හෙළා ඇත.

ෆිච් යනු ලොව ප්‍රධානතම ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන තුනෙන් එකකි. අනෙක් ආයතන දෙක වන්නේ මූඩිස් (Moody’s) සහ එස් ඇන්ඩ් පීය. (S&P- Standard and poor’s) මෙම ආයතන විසින් සිදුකරනු ලබන්නේ ලොව රටවල සමාගම්වල සහ පුද්ගලයන්ගේ (තෝරාගත්) ණය ගෙවීමේ හැකියාව තක්සේරු කිරීමයි. එනම් රටක් හෝ ආයතනයක් ලබාගන්නා ණය ආපසු ගෙවීමට පවතින හැකියාව පුරෝකතනය කිරීමයි. ෆිච් විසින් ශ්‍රී ලංකාව B- සිට CCC දක්වා පහත හෙළනු ලැබීම ඔස්සේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවට ඉදිරි වර්ෂ කිහිපයේදී විදෙස් ණය ගෙවීම් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි. නැතහොත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව දුර්වලවී ඇති බවයි.

මෙම ආයතනවල ප්‍රකාශනවල පවතින වැදගත්කම

සැබැවින්ම රටකට ඒවා වැදගත් වන්නේ ලෝක ණය දෙන ආයතනවලට හා රටවලට ඒවා අවශ්‍ය වන බැවිනි. එනම් යම් රටකට හෝ ආයතනයකට ණයක් ලබාදීමේදී ඔවුන්ට ආපසු ණය ගෙවීමට පවතින හැකියාව මෙම ප්‍රකාශන (වාර්තා) මගින් හඳුනාගත හැකි බැවිනි. වෙනත් ආකාරයක කිවහොත් ණය දෙනවාද නැද්ද මෙන්ම එම ණය වෙනුවෙන් කොපමණ පොලියක් අයකරනවාද නැද්ද යන්න පිළිබඳව නිර්ණායකයක් ලෙස ණය දෙන සංවිධාන සහ රටවල් (උදා ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ චීනය, එක්සත් ජනපදය, ජපානය) මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතනවල වාර්තාවන් සලකනු ලබයි.

අපට ඇති අවාසිය

දැන් මෙලෙස ඉන් ප්‍රමුඛ ආයතන තුන විසින්ම ශ්‍රේණිගත කිරීමේදී පහත හෙළීම ඔස්සේ ශ්‍රී ලංකාවට ණය ලබාදෙන ආයතන පැහැදිලිවම අ​ධෛර්යමත් කර ඇත. එම තත්ත්වය මත ශ්‍රී ලංකාවට ඉදිරියේදී ණය ලබාදී‍මේදී ඉහළ පොලියක් මෙන්ම දැඩි කොන්දේසි පැනවීමේ හැකියාව ණය දෙන ආයතනවලට ඇත. නැතහොත් ණය ලබාදීම ප්‍රතික්ෂේප කළ හැක.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ෆිච්, මූඩිස් සහ එස්. ඇන්ඩ් පී යන ආයතන තුනම ඉතාම දැඩි පිළිවෙත් අනුගමනය කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම ෆිච් ආයතනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති CCC මට්ටම යනු ශ්‍රේණිගත කිරීම්වල පහළම අගයකි. CC මට්ටමේ රටවල් හෝ ආයතන පිළිබඳව ෆිච් තවදුරටත් විවරණ වාර්තා (Out looks)නිකුත්කරන්නේ නැත. එනම් CCC යනු නොසලකා හරින ලද මට්ටමකි. එහෙත් 2020 වසර ආරම්භවීමත් සමග ව්‍යාප්ත වූ කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ලොව රටවල් රැසක්ම ශ්‍රී ලංකාව මට්ටමින් හෝ ඊටත් උග්‍ර ලෙස ආර්ථික අවපාතයන්ට මුහුණ දී සිටියි. එහෙත් එම රටවල් පිළිබඳව සැලකීමේදී ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙතරම් දරුණු වී නැති බව දැකගත හැකිය. එසේනම් මීට සැබෑ හේතුව හෝ හේතු හඳුනාගත හැක්කේ කෙසේද?

අපේ බදු ප්‍රතිපත්තියට ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අකමැතිද?

2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග එවකට පැවැති යහපාලන ආණ්ඩුවද අවසන් විය. එතැන් සිට ආරම්භ වූ වත්මන් ආණ්ඩුව විසින් හදිසි බදු සංශෝධන රැසක් හඳුන්වා දුන් අතර විශේෂයෙන් එතෙක් 15%ක්ව පැවති වැට් (VAT)බදු ප්‍රතිශතය 8% දක්වා පහත හෙළනු ලැබීය. කෙසේ වෙතත් මෙම බදු සංශෝධනය ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේක්ෂා කරන බදු ප්‍රතිපත්තිය ආපස්සට හැරවීමක් විය. විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) 2020 වර්ෂය ආරම්භ වන විටම චෝදනා කරන ලද්දේ වැට් බදු සංශෝධනයෙන් පමණක් ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 140ක පමණ ප්‍රමාණයක් මූලිකවම අහිමිකරගෙන ඇති බවයි. මීට මාස 11කට පෙර (2019 නොවැම්බරයේ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව ඒ මොහොතේ සිදුවූ බදු අහිමිවීම රුපියල් බිලියන 143ක් වූ අතර රජයේ බදු සංශෝධනය හේතුවෙන් එතෙක් වැට් බදු ගෙවමින් සිටි ව්‍යාපාර 54,000ක ලිපි ගොනු මොහොතකින් දෙපාර්තමේන්තුවට අහිමිවී ගියේය. ඒ වසර ආරම්භයේදීය. දැන් මූල්‍ය අරමුදල පවසන්නේ අදාළ වැට් බදු සංශෝධනය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 500කට වැඩි බදු මුදලක් ශ්‍රී ලංකා රජය අහිමිකරගෙන ඇති බවයි. මෙම බදු සංශෝධනයේ ව්‍යංග අරමුණු ලෙස ශ්‍රී ලංකා රජය පැහැදිලි හේතු කිහිපයක් පෙන්වා දී ඇතත් (ව්‍යාපාරිකයන් සතු මුදල් හැකිතාක් ආයෝජනය කිරීමට දිරිමත් කිරීම) විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සිය ණය කොන්දේසි ලෙස සඳහන් කර ඇති, තවදුරටත් බදු රැස්කිරීම් කාර්යක්ෂම කිරීම රජය විසින් නොසලකා හැරීම IMF විසින් පවසන බවක් මේ වන විට ප්‍රදර්ශනය කර නැත. එම නිසා ශ්‍රී ලංකාවේ බදු සංශෝධනයට සමාන්තරව ශ්‍රේණිගත කිරීමේ ආයතනද සිය ශ්‍රේණිගත කිරීම් පහත දමා ඇති බවත් ඊට සමගාමීව IMF වාර්තා නිකුත් කිරීම් සිදුව ඇති බවත් පෙනෙන්නට තිබේ.

චීන ඇසුර නුහුරට හිටියද?

මීට සමගාමීව ශ්‍රී ලංකා රජය භාරගත් නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියද මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා යම් පමණකට බලපා ඇති බවද පෙනෙන්නට තිබේ. 2020 මාර්තු මාසයේ පටන්ම ශ්‍රී ලංකාව විදේශීය ආයෝජන සහ ණය ගැනීම්වලදී චීනය කෙරෙහි යම් නැඹුරුවීමක් පවතින බව පෙනේ. එය බටහිර රටවලට මෙන්ම ඒවායේ ආධාර ලබන මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට රුස්සන නැඹුරුවක් නොවේ. 2019 වර්ෂය අවසානයේදී ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය තොගය ඇමරිකානු ඩොලර් බිලියන 34.7ක් විය. එය ඊට පෙර වර්ෂයට (2018ට) සාපේක්ෂව 6.4%ක (ඩොලර් බිලියන 32.6ක) වැඩිවීමක් විය. මෙම ණය තොගයෙන් 47%ක්ම එනම් ඩොලර් මිලියන 16,383.4ක්ම (බිලියන 16.38)ක්) ලබාගෙන ඇත්තේ වෙළෙඳපොළ ණය වශයෙනි. ඒ හැරුණු කොට 2019 අවසන් වන විට ශ්‍රී ලංකාව දෙවැනි වැඩිම ණය ප්‍රමාණය ලබාගෙන ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. එහි අගය ඩොලර් බිලියන 4.41කි. එනම් 13%කි. තෙවැනි විශාලතම ණය ගැනුම්කරුවා වන්නේ චීනයයි. චීනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.388ක් (10%ක්) ලබාගෙන ඇත. මීට අමතරව ජපානයෙන් ඩොලර් බිලියන 3.36කුත් (10%ක්) ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3.23කුත් (9%ක්) ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව ඉන්දියාවටත් ඩොලර් බිලියන 01ක පමණ ණයක් ඇත. (මෙම අගය 2020 වර්ෂයේදී තවත් ඩොලර් මිලියන 500කින් පමණ වර්ධනය වී ඇත.) ඉතිරි ණය කොටස වන ඩොලර් බිලියන 3.38 (9%ක්) අනෙකුත් සියලුම මූලාශ්‍රවලින් ලබාගත් ණය වේ.

ඉහත සංඛ්‍යා ලේඛනවලට අනුව පෙනී යන්නේ රටවල් දෙකක් අතර ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා ලබාගත් ණය අතර ඉදිරියෙන්ම පවතින්නේ චීන ණය බවයි. 2020 වසරේදී දැනටමත් චීනය මෙරටට තවත් ඩොලර් මිලියන 400ක ණය මුදලක් අනුමත කර ඇති අතර වර්ෂාවසානයේ තවත් ඩොලර් මිලියන 500ක ණයක් ප්‍රදානය කිරීමට නියමිතය. මේ අනුව බලනවිට 2020 වර්ෂයේදී චීන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කට ආසන්න මට්ටමක පවතී. එහෙත් මීට සාපේක්ෂව ලේක බැංකුවෙන් හෝ මූල්‍ය අරමුදලින් හෝ ජපානයෙන් ණය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට විශාල ලෙස පෙළවීමක් නැති බව රජය ප්‍රදර්ශනය කර තිබේ. මේ අතර කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT)සඳහා වූ ඩොලර් බිලියන 2.2ක් පමණ වටිනා ජයිකා (ජපානයේ) ණය මුදල ප්‍රතික්ෂේප කිරීම වැනි තීරණාත්මක තීන්දුවලටද එළඹ ඇත.

මේ ආර්ථික පහරදීම දේශපාලනිකයි

මේ අනුව ශ්‍රී ලංකාවේ වර්තමාන ණය නැඹුරුව සහ පෙරකී ආයතන ත්‍රිත්වයේ ශ්‍රේණිගත කිරීම් අතර යම් සමාන්තර ගමනක් පවතින බව පෙනෙන්නට තිබේ. එසේ නොමැතිව ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හැරීමක් හෝ ණය නොගෙවීමේ සාක්ෂි සහිත සූදානමක් පිළිබඳව පෙන්වා දීමට අදාළ ආයතන කටයුතු කර නැත. එසේම ෆිච් මූඩිස් සහ එස්ඇන්පී යන ආයතන ත්‍රිත්වය විසින්ම CCC මට්ටමට සහ ඊට පහළට මෙම වර්ෂයේදී ශ්‍රේණිගත කර ඇති ග්‍රීසිය,බෙලරුසියාව,බෙලීස්, කියුබාව, සයිප්‍රස්, ඉක්වදෝරය, ඊජිප්තුව, ජැමෙයිකාව, පාකිස්තානය, යුක්රේනය හෝ වෙනිසියුලාව සමගද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සමපාත වීමක් පෙනෙන්නට නැත. කියුබාව හැර එම ලැයිස්තුවේ අනෙක් සියලුම රටවල් මේ වන විට ණය පැහැර හැරීමේ සීමාව ඉක්මවා යමින් සිටින අතර එම රටවල ආර්ථික අර්බුද කොරෝනා වසංගතයට වසර කිහිපයක පෙර සිටම ක්‍රමිකව උග්‍රවෙමින් පවතින්නකි. (බටහිර රටවලින් හෝ ආධාර ආයතනවලින් ණය ලබානොගැනීම සහ දේශපාලන හේතුන්මත කියුබාවද අවාසනාවන්ත ලෙස මෙම ලැයිස්තුවට ඇතුළුවීමට සිදුව තිබේ.) ඒ අනුව පැහැදිලිවම පෙනී යන්නේ ආර්ථික සාධකවලට වඩා ඔබ්බට ගිය දේශපාලනික හේතූන් පදනම කරගෙන ශ්‍රී ලංකාවට යම් මට්ටමක අන්තර්ජාතික ආර්ථික පහරකෑමකටද ලක්වීමට සිදුව ඇති බවයි.

මෙම ක්‍රියාවලිය දෙස සාවධානව බලසිටීමේදී පෙනීයන්නේ එහි සත්‍ය ලෙසම ඇත්තේ ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටලුවක් නොවන බවයි. එහි ඇත්තේ ණය ලබාගැනීම පිළිබඳ ගැටලුවකි. නැතහොත් ශ්‍රී ලංකාව ණය ලබන්නේ කාගෙන්ද යන්න පිළිබඳ ගැටලුවකි. ණය, චීන ණය වීම පිළිබඳ ගැටලුවකි.ණය කෙතරම් ලබාගත්තද ඒවා ජපානයෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායමේ ආධාර ලබන අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් වේ නම් ගැටළුවක් නොවන බව ශ්‍රේණිගත කිරීමේ ආයතන වල මෙම ව්‍යංග ප්‍රකාශන වලින් හඳුනාගත හැකිය.

අපෙන් වුණු අඩුපාඩුව

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රකාශනයන්ද අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනවල වාර්තාවන් සැකසීමට යම් පමණක දායකත්වයක් දක්වා ඇති බව පෙන්වා දිය යුතුය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය -1.6ක අවගමනයක් පෙන්නුම් කළ අතර එය මෙරට ආර්ථික වර්ධනයේ ඍණ අගයක් ප්‍රදර්ශනය කළ තීරණාත්මක අවස්ථාවක් විය. (ඊට පෙර 2020 සිව්වන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය 2%ක් වශයෙන් සටහන් විය) 2020 මාර්තු මාසයේදී කොවිඩ් -19 වසංගතය මෙරට ව්‍යාප්තවීම ආරම්භ වූ අතර පැහැදිලිවම දෙවන කාර්තුවේදී ආර්ථික හැකිළීම තවදුරටත් පුළුල්වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. එම නිසාම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ විගණන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ දක්වාද 2020 දෙවැනි කාර්තුවේ මෙරට ආර්ථිකයේ හැකිළීම පිළිබඳ සැබෑ සංඛ්‍යා ලේඛන එළි දක්වා නැත. එම කරුණද මේ වන විට ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවට අයහපත් වන ලෙස සිය ශ්‍රේණිගත කිරීම් සැකසීමට භාවිත කර ඇත. රජයේ නිල සංඛ්‍යාලේඛන වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙන්ම වෙනත් අවශේෂ පාර්ශ්ව විසින් නිකුත් කර ඇති 10%ත් – 20% ත් අතර වු මෙරට ආර්ථික වර්ධනයේ හැකිළීමේ දළ ප්‍රක්ෂේපණය උපයෝගී කරගනිමින් ශ්‍රේණිගත කිරීමේ ආයතන සිය වාර්තා සකස්කර ඇත. එමනිසා එම ආයතන සිය වර්තා සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නිල දත්ත භාවිත කිරීමෙන් බව කීමේ අවස්ථාව මේ මොහොතේ ශ්‍රී ලංකාවට අහිමි වී ඇත. මෙම තත්ත්වය මත යම් අයහපත් ප්‍රක්ෂේපණ පැවතියද වහාම ශ්‍රී ලංකාවේ නිල ආර්ථික දත්ත අනාවරණය කිරීමේ බරපතළ වගකීමක් ශ්‍රී ලංකා රජය සතුව පවතී.

ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදීද ඇමරිකානු ඩොලර් බිලියන 4.5කට ආසන්න අතිවිශාල විදෙස් ණය වාරිකයක් අතපසු කිරීමකින් තොරව ගෙවා ඇති බව සැබෑය. එහෙත් ඒ පිළිබඳ පාරම්බෑම පමණක් රටේ ආර්ථිකය පිළිබඳව නිර්මාණය කෙරෙන සම්පූර්ණයෙන් නිවැරදි නොවන ප්‍රතිරූපයන්ට පිළිතුරු දීම සඳහා ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට 2021 වර්ෂයේදී ද ඩොලර් බිලියන 4.4ක පමණ විදෙස් ණය වාරිකයක් ගෙවීමේ දැවැන්ත වගකීමක් ශ්‍රී ලංකාව සතුව පවතී. එහෙත් මෙරට විදෙස් ණය සංචිතය පවතින්නේ ඩොලර් බිලියන 6.5ක මට්ටමේදීය. එම අතිරික්තය මෙරට මාස දෙකක ආනයන වියදම පවා පියවා ගැනීමට ප්‍රමාණයත් නොවේ. එම නිසා ඉතාම කඩිනමින් මෙරට ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළ නිශ්චිතව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා රජය සතුව ප්‍රමුඛ අභියෝගයක් ලෙස පවතී. එසේම දැනටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක (එහෙත් අතරමග අත්හිටුවා ඇති) ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ඉක්ම වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කඩිනමින් ප්‍රකාශයට පත්කළ යුතුව ඇත. (දැනටමත් මූල්‍ය අරමුදලෙන් ඊට බලපෑම් එල්ල වී ඇති අතර ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේද පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් අනතුරුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.) එම නිසා ශ්‍රී ලංකා රජය 2021 වර්ෂයට ඉතාම පැහැදිලි සංඛ්‍යා ලේඛන ‘‘අතේ ඇතිව’’ හා තැබිය යුතු බව නම් අමුතුවෙන් කිවයුතු නැත.

 

නයන තරංග ගමගේ