පිනි පලස

අපේ නළුවන්ට කෙළවෙන්නේ එළියේ රඟපාන්න ගියාම

පසුගිය රයිගම් ටෙලි සම්මාන උළලේ නැගී එන නළුවා බවට පත්වූයේ ඔහු. ජාත්‍යන්තර සම්මාන ලැබූ පාංශු චිත්‍රපටයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළා. පොදු නාට්‍යය නිමා වුණත් ආදී ගැන හැමෝම කතා කරනවා.කවුද මේ ආදී?

මම ආදී නෙමේ. රන්දික ගුණතිලක. මොකද ආදී රඟපාලා ඉවරයි. කොටස් අට ඇතුළේ මම ආදී වෙලා උන්නා. එතැනින් පස්සෙ මම ඒ කතාව අමතක කරනවා. මොකද මම රඟපාන්නේ අදාළ චරිතය ඇතුළේ විතරයි.

ලංකාවේ හුඟක් නළුවන්ට කෙළවිලා තියෙන්නේ නාට්‍ය ඉවර වුණාමත් ඒ චරිතය එළියේ රඟදක්වන්න හදනවා. මම එහෙම නැහැ. රඟපාලා ඒ චරිතෙන් එළියට ආවම සාමාන්‍ය කෙනෙක්.

රන්දික කතාව පටන් ගත්තෙම වෙනස් ආකාරයට. කොහොමත් රන්දික කියන්නේ වෙනස් කෙනෙක්. සාර්ථකව රඟපෑවට ඔහු කිසිම දෙයක් ගැන ලොකුවට හිතාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.

කවදාවත් මම රඟපානවා කියලා හිතාගෙන වැඩ කරන කෙනෙක් නෙමේ. අවස්ථාව අනුව ලැබෙන ඕනම දේකට මම මුහුණදෙනවා. ඉස්කෝලේ යන කාලේ මම ඉගෙන ගත්තේ නැහැ. කොළොන්නාවේ ඉපදිච්ච මට ඉගෙන ගන්නවට වඩා රස්තියාදු ගහන එක මාර ගැම්මක් වුණා. යාළුවොත් එක්ක රෝන්දේ ගහන අතරේ තමා අහම්බෙන් උපාලි සපුතන්ත්‍රි සර් මුණගැසුණේ.

රන්දික තමාගේ ජීවිතේ වෙනස් වූ තැන ගැන කතා කළේ හරිම කැමැත්තෙන්.

සර් මගේ මොකක්දෝ මන්දා ලොකු වෙනසක් දකින්න ඇති. හැබැයි මට ඒ වෙනස කවදාවත් දැනිලා තිබුණේ නැහැ. සර් අපේ ගෙදරට කියලා මාව සර්ගේ ගෙදර එක්කගෙන ගියා. අපේ ගෙදර අය මම යනවට විරුද්ධ වුණේ නැහැ. මොකද මම හැදෙනවට හැමෝම කැමැත්තෙන් හිටියා කියලා අද මට හිතෙනවා.

මගේ තාත්තා රිය අනතුරකට ලක්වෙලා එක්තැන් වෙලා උන්නේ. ප්‍රශ්න තිබුණට අයියලා දෙන්නයි නංගිලා දෙන්නයි එක්ක සතුටින් ජීවත් වුණා. කොහොම හරි සර් මාව එයාගේ ගෙදර එක්කගෙන ගියා. අවුරුදු දෙකක් මම සර්ගේ ගෙදර උන්නා. පොත් කියවන්න, චිත්‍රපටි බලන්න මම පුරුදු වුණේ එහෙන්. අවසානයේ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් උසස් පෙළ කරලා කැම්පස් යන්න තරම් දක්ෂ වුණේ උපාලි සපුතන්ත්‍රි සර් මාව හැදුව නිසා. නැත්නම් රන්දික තාමත් කොළොන්නාවේ රස්තියාදු ගහන එකෙක් වෙන්න තිබුණා. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියත් දෛවය අපේ ජීවිතේ වෙනස් කරන තැන අපිටවත් හිතාගන්න බැහැ.

කැම්පස් එක ඇතුළේ මම මගේ ගමන ගියා. ප්‍රසන්නජිත් සර් තමයි කිව්වෙ උඹට රඟපෑම හරියනවා කියලා. රඟපානවා කියන දේ කොච්චර උගන්නන්න හැදුවත් ඇඟේ නැත්නම් ඒක කරන්න බැහැ. සර්ට තේරුණා මගේ ඇඟේ තියෙන්නේ මොකක්ද කියලා. එතැන ඉඳන් හොඳ නර්මාණ කීපයකටම දායක වෙන්න ලැබුණා. සිනමාවෙන් පාංශු වගේ චිත්‍රපටයක් ලැබුණම මට හිතාගන්න බැරි වුණා. මෑතක විකාශනය නිමා වූ පොදු නාට්‍ය දක්වාම ඉතා ඉහළ ප්‍රතිචාර ලබන්න වාසනාව ලැබුණා.

වෘත්තීය නළුවෙක් ලෙස අද තෝරා බේරාගෙන රඟපාන රන්දිකගේ හිතේ ක්ෂේත්‍රය ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්.

මම වෘත්තීය නළුවෙක්. රංග කලාවේදය කරලා රංගනය කියන ශ්‍රේෂ්ඨ වෘත්තිය තෝරගත්තා. සමහරුනම් රඟපාන්නේ විනෝදාංශයට. සමහරු කියනවා වෘත්තීය රංගනවේදියාට තැනක් නැහැ කියලා. ඔය ඔක්කොම බොරු. වෘත්තීය භාවය නැති කරගෙන තියෙන්නේ අපේ අයමයි. මොකද රඟපාන්න ඇවිත් වෘත්තීය භාවයේ ඇති විනය ගැන දන්නේ නැතිව බහුභූත කියවනවා. සමහරු කලාව නොකර රඟපාන්න ඇවිත් වෘත්තීය නළුවෝ වෙනවා. එහෙම අය තමා වෘත්තීය නළු කම ගැන බයිලා කියවන්නේ.

මම රංග කලාව කරලා රඟපානවා. වෘත්තීය ගැන හරියටම දන්නවා. මම රංග කලාව කරලා පියන් කෙනෙක් වුණානම් මම එතන ෆේල්. අද නළුවෝ හැම නිර්මාණයක්ම භාර ගන්නවා. එක සැරේට තුන හතරක රඟපානවා. එහෙම රඟපාන්න බැහැ. එක නාට්‍යයක් කරලා පුංචි විරාමයක් ගන්න ඕන. අපි හිනාවෙලා උන්නට රඟපාන මොහොතේ හිනාවෙන එක අභියෝගයක්. ඒ වෙනුවෙන් මහන්සියක් ගන්න ඕන. රඟපාන්න මහන්සි වෙනවා වගේම විවේකයත් අවශ්‍යයි.

මේ විදිහේ නීතිරීති නොදැන රඟපාන අය තමා වෘත්තීය හෑල්ලු කරන්නෙ. වෘත්තීයට අතිශයින්ම ගරු කරන රන්දික අවසාන වශයෙන් තම ප්‍රේමය හා අනාගතය ගැන තබන පුංචි සටහනක් සමගම ඔහුට තාවකාලිකව සමුදෙන්න තීරණය කළා.

ප්‍රේමය සුන්දරයි සහ විඳින්න පුළුවන් හැඟීමක්. මටත් ඒ වගේ සුන්දර ප්‍රේමයක් තිබුණා. නමුත් මගේ වරදින් ඒ ප්‍රේමය මට අහිමි වුණා. එහෙම වුණා කියලා ආදරය ගැන කිසිම කලකිරීමක් නැහැ.

ආදරය කියන දේ මට දැනෙන්නේ ටිකක් වෙනස් විදිහට. කොතනකවත් ආදර සම්බන්ධතා මම පටළගන්නේ නැහැ. දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම මම දකින්නෙත් සම්බන්ධයක් විදිහට. එතැන ප්‍රේමයක් තිබෙන්නෙත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. හැබැයි තනියම හරි ප්‍රේම කරන්න පුළුවන්. මොකද කෙනෙක් ගැන හැඟීමක් අපේ හිතේ ඇතිවුණානම් ඈතින් ඉඳගෙන හරි ඇයට ඔහුට ආදරය කරන්න පුළුවන්. ඒ ඇතිවෙන හැඟීම කවදාවත් මැරෙන්නේ නැහැ. ප්‍රේමය මැරෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා.

අනාගතය ගැන බලාපොරොත්තු නැහැ. මොකද මේ හැම දෙයක්ම මට ලැබුණේ ඒ මොහොතේ ගත්තු තීරණ නිසා. රඟපාන්න ආවේ මුදල් හම්බ කරන්න බලාගෙන නෙමේ. මගේ කැමැත්ත එය නිසාත් මම සතුටු වෙන නිසා. නමුත් එයින් මට ජීවත් වෙන්න අද මුදලක් ලැබෙනවා. මෙතනින් එහා කිසිම දෙයක් හිතලා නැහැ. පොදු කරලා පුංචි විරාමයක් අරගන්නවා. ඊළඟ නිර්මාණය කුමක් වෙයිද කියලා මමවත් දන්නේ නැහැ. හැබැයි භාර ගන්න වැඩේ හොඳට කරනවා. හැම දෙයක්ම හරියට කරන්න ගන්න උත්සාහය තුළ ජීවිතයට සාර්ථකත්වය ඇතිවෙයි කියලා මම විශ්වාස කරනවා. එතනින් එහා වෙන කිසිම දෙයක් නැහැ.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර