කතුවැකි

අපේ දුක සැප බලන්න දේශපාලකයන්ට අකැපද?

කොරෝනා වසංගතය හමුවේ ජනතා සුබ සාධනය සැලසීම මුල් කරගෙන දේශපාලකයාට දෙආකාරයකට පහර වදින්නට පටන්ගෙන තිබේ. ජනතාව මේ තරම් පීඩාවකට පත්ව සිටියදී දේශපාලකයන් කිසිවක් නොකරන්නේ යැයි ඇතැමෙක් චෝදනා කරති. මේ නිසා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව වහාම යළි කැඳවිය යුතු යැයි කියන පිරිසක්ද සිටිති. මේ අතර දේශපාලකයන් කොරෝනා සටනට මැදිහත්වීම සම්බන්ධයෙන්ද විරෝධයක් මතුව තිබේ.

අපට නම් පෙනෙන්නේ ජනතාවගේ සුබ සෙත පිණිස ඉදිරිපත් වන්නේ යැයි පෙනෙන්නට ඇතත් මේ අදහස් දෙකම මතුවන්නේ දේශපාලන කුහකකම නිසා බවය. පාර්ලිමේන්තුවෙන් රටට පලක් නොමැති බවත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල රෝහලක් බවට පත්කළ යුතුය වැනි කතා පවතින්නේ කලක සිටය. කෙසේ වෙතත් මේ අදහස ජනතාවගෙන් මතුවූවක් නොව බටහිර රාජ්‍ය නොවන සංවිධාන කතුරෙන් පෙකෙණිවැල කපා, අඩු මාසයෙන් උපත ලද දේශපාලන විචාරකයන් යැයි තමන්ම හඳුන්වා ගන්නා පිරිසක් විසින් සමාජයට කාවද්දන ලද අදහසකි.

දැන් කොරෝනා වසංගතය හමුවේ දේශපාලකයන් කරන්නේ කුමක් දැයි ප්‍රශ්න කරන්නේද මේ පිරිසමය. විටෙක පාර්ලිමේන්තුව වසා දැමිය යුතු යැයිද 225 ම එපා යැයි කියන අයම දැන් දේශපාලනය ප්‍රශ්න කරන්නේත්, පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු යැයි කියන්නේත් දේශපාලන කුහකකම නිසා නොවේ නම් කුමක් නිසාද?

වඩා උණුසුම් ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කොරෝනා සටනට දේශපාලකයා මැදිහත්වීමය. මෙම විරෝධයේ පදනම වන්නේ මහ මැතිවරණයක් කැඳවා ඇති මේ අවස්ථාවේ සහනාධාර බෙදීම තුළින් දේශපාලකයා අනියම් වාසියක් ගන්නා බවය. මේ තර්කය ඉතාමත් සාධාරණ එකක් වුවත්, ඒ මත පදනම්ව නැගෙන විරෝධයේ සාධාරණත්වයක් නැත. විරෝධය එල්ල වන්නේ එක් පක්ෂයක් ඉලක්ක කරගෙන පමණක් බැවිනි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වාම බලයට පත්වන්නේ ජනතා ඡන්දයෙනි. එසේ නම් මැතිවරණයක් තිබුණත්, නැතත් තමන්ට ඡන්දය දුන්නත්, නැතත් තම ප්‍රදේශයේ ජනතාව පීඩාවකට පත්ව සිටින විටෙක ඔවුන්ගේ දුක, සැප සොයා බැලීම දේශපාලකයන්ගේ යුතුකම පමණක් නොව වගකීමක් නොවන්නේද?

පාර්ලිමේන්තුව විසුරුවා ඇති තත්ත්වයක් තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුවේ ප්‍රතිපාදනවලින් තමන් දෙන දෙයක් සේ සහනාධාර බෙදීම නීත්‍යනුකූල නොවන්නා සේම සදාචාරාත්මකද නොවන බව තවත් තර්කයකි. නමුත් කොරෝනා මර්දනය හා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සියලු තීරණ ගනු ලබන්නේද ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසිනි. ඔවුන්ද දේශපාලකයන් කණ්ඩායමකි. මේ දේශපාලකයන් කණ්ඩායම තමන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරවීමට තමන්ට ඇති දේශපාලන ව්‍යුහයන් භාවිත කිරීමේ වරද කුමක්ද? පාර්ලිමේන්තුව විසුරුවා ඇති නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල බලය අහෝසි වී තිබෙන බව සත්‍යයකි. එහෙත් උදාවී ඇත්තේ පොතේ න්‍යායෙන් පමණක් ජයගත හැකි අභියෝගයක් යැයි මැතිවරණ කොමිසම හා මේ මතය දරන අනෙක් අය සිතන්නේද?

මේ අය කියන විදියට ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ගන්නා තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ යුද හමුදාව සහ නිලධාරීන් මගින් පමණක්ද? ඉන් නොකියා කියන්නේ රටක පාලනය ගෙන යෑමට මේ කණ්ඩායම පමණක් ප්‍රමාණවත් බවද? එසේ කියන්නේ නම්, මුදල් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි කියන්නේ අහවල් කෙංගෙඩියකටද? සියලු බලතල ජනාධිපතිවරයාට පවරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ගොවිතැනක් බතක් කරගෙන ගමට වී ඉන්නැයි කිව හැකි නොවේද? ඉන් ජන සම්මතවාදය අකුරටම ඉටුකර ගන්නට හැකිවනු ඇත්ද? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ ජනාධිපති ධුරය ශක්තිමත් කරන්නටද? දුර්වල කරන්නටද?

අපගේ අදහස නම් මේ අවස්ථාවේ පක්ෂය, පාට කුමක් වුවත් සෑම ජනතා නියෝජිතයකුම රටත්, ජනතාවත් පත්ව ඇති මේ අවාසනාවෙන් ගොඩ ගන්නට ක්‍රියාකාරීව මැදිහත් විය යුතු බවය. ජනතා නියෝජිතයන් සහන සලසන්නේ ජනතා මුදලින් වුවත්, නොවුණත් ඒ හරහා ඡන්ද හිඟන්නට උත්සාහ කරන්නේ නම් එය මළමිනී විකුණා ලාබ උපයන්නට ගන්නා උත්සාහයකට සමාන බව අපි ද පිළිගන්නෙමු. එහෙත් මේ රටේ සිටින සියලු ජනතා නියෝජිතයන්, මහ මැතිවරණයේ අපේක්ෂකයන් නොවන බවත්, මේ අය වියදම් කරන හැම සතයක්ම ජනතා මුදල් නොවන බවත් මැතිවරණ කොමිසමද දැනගත යුතුය.

අනෙක් අතට ආණ්ඩු පක්ෂයේ වුවත්, සෑම දේශපාලකයකුම එක සමානව මේ කටයුත්තට දායක වන්නේ නැත. එය තීරණය වන්නේ දේශපාලකයාගේ හැකියාව, දක්ෂතාව හා කැපවීම මතය. ටික දෙනකු දුෂ්කරතා ඉවසා දරා ගනිමින් මේ සඳහා කැපවෙද්දී එසේ බැරි අය කරන්නේ ඔවුන්ට වළකැපීමය. පක්ෂ සම්බන්ධයෙන්ද කියන්නට ඇත්තේද ඒ ටිකමය. වැඩිපුර කෑගසන්නේ කිසිවත් කරගත නොහැකි පක්ෂය.

දේශපාලකයන් සහනාධාර බෙදීමට මැදිහත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විරෝධය පළකිරීමට හේතු වී ඇති කාරණය ඒ කාරණයෙන්ම නිශේධනය වී තිබෙන බවද කිව යුතුය. මැතිවරණයට නාමයෝජනා කැඳවා ඇතත් මැතිවරණය පැවැත්වෙන දිනය අවිනිශ්චිතය. තවදුරටත් තත්ත්වය එසේ වුවහොත් දැනට කැඳවා ඇති නාමයෝජනා අහෝසි කොට මැතිරණ ක්‍රියාවලිය යළි මුල සිට ආරම්භ කිරීමට සිදුවනු ඇත. එසේ නම් දැන් මැතිවරණ අපේක්ෂකයන් යැයි පිරිසක් සිටින්නට නොහැක. මේ තත්ත්වය අපටත් වඩා හොඳින්ම දන්නේ මැතිවරණ කොමිසමය. මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ දේශපාලකයන් පමණක් ජනතා සහන වැඩපිළිවෙළින් වළක්වාලීමට උත්සාහ කිරීම දේශපාලන කුහකත්වය මිස අන් කුමක්ද?