කතුවැකි

අපේ දරුවන් ගැන බලන්නේ කවුද?

දරුවන් අතර දියවැඩියා රෝගය ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව කියන පුවතක් ඊයේ අප පුවත්පත වාර්තා කොට තිබිණ. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියන ආකාරයට පසුගිය වසරේ දියවැඩියාව වැලඳුණු දරුවන් එකසිය විසි දෙනකු ප්‍රතිකාර ලබා ගැනීමට එම රෝහල වෙත පැමිණ තිබේ. විශේෂම කාරණය වන්නේ මේ අය පළමුවරට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අය නමුත් ඉන් බහුතරයක් ඉන්සියුලින් ලබා ගන්නා මට්ටමේ සිටි රෝගීන් වීමය. දියවැඩියා රෝගියකු ඉන්සියුලින් ලබා ගන්නා මට්ටමට පැමිණ ඇතැයි කීමෙන් හැඟෙන්නේ රෝගය තරමක බරපතළ අවදියකට පැමිණ තිබෙන බවය.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියන මෙම කාරණය දෙමාපියන්, සෞඛ්‍ය අංශ ඇතුළුව අප සියලු දෙනාගේ අවධානය යොමුවිය යුත්තකි. රිජ්වේ ආර්යා ළමා රෝහලට පමණක් නොව දිවයිනේ අනෙකුත් රෝහල්වලටද ළමා දියවැඩියා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබිය හැකිය. එසේම තවමත් රෝහල්වලට වාර්තා නොවූ රෝගීන්ද විශාල ප්‍රමාණයක් සිටීමට ඉඩ තිබේ. ඉන්සියුලින් ලබා ගත යුතු මට්ටමේ සිටින දරුවන් රිජ්වේ ආර්යා රෝහලට වාර්තා වීමෙන් පෙනී යන්නේ ඔවුන් කලක් තිස්සේ ප්‍රතිකාර සඳහා යොමුව නොමැති බවය.

මේ නිසා මෙම කාරණය කිසිසේත්ම නොතකා හැරිය නොහැකි කාරණයකි. දියවැඩියාව යනු දැනටමත් අප රටේ බහුතරයක් බිලිවී සිටින මහා ව්‍යසනයකි. එය නිට්ටාවට සුව කළ නොහැකි රෝග තත්ත්වයක් වන අතර, ක්‍රමවත්ව ප්‍රතිකාර ලබා නොගතහොත් කෝමා තත්ත්වයට පත් වී මරණය පවා ඉක්මන් කරවන රෝගයකි. මේ නිසා ජීවිතාන්තය දක්වාම ආහාර පාලනය කරමින්, ඖෂධ ලබා ගැනීමට දියවැඩියා රෝගීන්ට සිදු වේ. මෙම රෝගයේ ඇති භයානකම කාරණයක් වන්නේ මෙය නිසා ඇස් නොපෙනී යෑම වැනි වෙනත් බරපතළ රෝගාබාධ ඇතිවීමේ අවදානමය.

සාමාන්‍යයෙන් මැදිවිය ඉක්මවූ අයට වැලඳෙන්නේ යැයි කියන නමුත් බාල වයස්කරුවන් අතරද මෙම රෝගය පැතිර යන්නට පටන්ගෙන තිබුණේ කලෙක සිටය. දරුවන් අතර දියවැඩියාව පැතිර යන්නට එක් හේතුවක් වන්නේ මෙය ප්‍රවේණිගත රෝගයක් වීමය. මව, පියා වැනි වැඩිහිටියන් දියවැඩියා රෝගීන් වූ විටෙක දරුවන්ට රෝගය වැලඳීමේ වැඩි සම්භාවිතාවක් තිබේ. වැරදි ආහාර රටා, ක්‍රීඩාවෙන් ඈත් වීම නිසා ශාරීරික ව්‍යායාම නොමැතිකම, මෙන්ම අධ්‍යාපන තරගය විසින් දරුවන් තුළ ඇති කරන මානසික පීඩනය හා ආතතියද දියවැඩියාව රෝගය වැලඳීමට හේතුවක් බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.

මේ අනුව දරුවන් අතර දියවැඩියා රෝගය ඉහළ යෑමට කොවිඩ් වයිරසය විසින් ඇතිකර තිබෙන වාතාවරණය හේතුවක් විය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අනුමාන කර ඇත. මේ දිනවල දරුවන්ට පාසල් යා නොහැකි අතර කිසිදු ක්‍රීඩාවක හෝ නියැළීමේ අවස්ථාවක් නැත. ඔන්ලයින් ඉගැන්වීම නිසා ඊට පහසුකම් නැති දරුවා පමණක් නොව අවශ්‍ය පහසුකම් තිබෙන දරුවන්ද පීඩාවට පත්ව සිටිති. ඔන්ලයින් ක්‍රමයට හෝ අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කමක් ඇතත් මේ නිසා දරුවන් දිගු වේලාවක් පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට වාඩි වී සිටිමින් ඊට ඇබ්බැහි වී සිටී.

කවරකු වුවත් දිගු කාලයක් එක දිගට පරිගණක හෝ ජංගම තිරයකට දෙඇස් යොමා සිටීම මානසික මෙන්ම ශාරීරිකවද රෝග ඇති කරවන හේතුවකි. එසේම මීට ඇබ්බැහි වූ ඇතැම් දරුවන් අසභ්‍ය වෙබ් අඩවිවලට පවා යොමු වන බවට වාර්තා වී තිබේ. මේ සියලු කාරණා සමග අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙසට දෙමාපියන්ගේ නිරන්තර බලකිරීම් සමග දරුවන් සිටින්නේ ඉතාමත් පීඩාකාරී තත්ත්වයක් තුළය.

කොවිඩ් ව්‍යසනය හේතුවෙන් දරුවන් පත්ව තිබෙන මෙම තත්ත්වය ගැන තවමත් කිසිවකුගේ අවධානය යොමුව නැත. පාසල් යළි ආරම්භ වූ පසු දරුවන්ව වෛද්‍ය සායන වෙත යොමු කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ. එහෙත් දැන් පවතින තත්ත්වය මත පෙනී යන්නේ ඒ සඳහා පාසල් යළි ආරම්භ කරන තෙක් ප්‍රමාද නොකළ යුතු බවය. කොවිඩ් නිසා දරුවන් පත්ව සිටින තත්ත්වය ගැන සොයා බැලීම තවදුරටත් ප්‍රමාද වුවහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි නිසාය.

මේ පිළිබඳ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් නොපැවරෙන නමුත් වැඩි වගකීමක් ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. ඔන්ලයින් ඉගැන්වීම සම්බන්ධයෙන් කොතරම් චෝදනා, දුක් ගැනවිලි ඉදිරිපත් වී ඇතත් තවමත් ඊට විසඳුමක් නැත. අපගේ අදහස වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය පළමුව තීරණයක් ගත යුත්තේ ඒ පිළිබඳව බවය. ඔන්ලයින් ක්‍රමය හරහා සුපුරුදු පාඩම් ඉගැන්වීමට තටමනවා හැර අඩුම වශයෙන් දරුවන්ට උපදේශ සේවයක් ආරම්භ කළ නොහැක්කේ මන්ද? ඇතැම් යහපත් ගුරුවරුන් පෙළඹවීමකින් හෝ නිල නියමයකින් තොරව දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ සොයා බලන නමුත් එය සිදුවිය යුත්තේ ජාතික වැඩ සටහනක් ලෙසය.

කොවිඩ් තත්ත්වය නිසා වැඩිහිටියන් රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්, ගැබිනි කාන්තාවන් ආදී පුද්ගල කණ්ඩායම් මුහුණ පා ඇති දුෂ්කරතා අවම කිරීමට විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබේ. එහෙත් රටේ අනාගතය වන දරුවන් සම්බන්ධයෙන් එවැනි වැඩපිළිවෙළක් නැත. අප තවමත් දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමටද සූදානමක් නැත.

රටපුරා කොවිඩ් වයිරසයේ පැතිරීම නිසා සෞඛ්‍ය අංශය මුළුමණින්ම පාහේ ඊට යොමුවී ඇතත් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීමේ වගකීමෙන් නිදහස් වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකිය. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා සඳහා වන රාජ්‍ය අමාත්‍යාංශයක්ද ඇතත් ඔවුන්ද ළමයින් ගැන අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත.

ළමයින්ගේ ප්‍රශ්න ගැන සොයා බලනවා නම් තවත් කොතෙකුත් ආයතන හා නිලධාරීහු සිටිති. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින ළමාරක්ෂණ නිලධාරියා හා පූර්ව ළමා විය සංවර්ධන නිලධාරියා ඉන් දෙදෙනකු පමණකි. දරුවන්ගේ ශාරීරික හා මානසික සුවය වෙනුවෙන් මේ අයට මහා දෙයක් කළ නොහැකි නමුත් ඔවුන්ට විශාල වැඩපිළිවෙළක ආරම්භය ගත හැකිය. රටපුරා සිටින වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍ය දරුවන් කොතෙක්ද යන තොරතුරු එකතු කිරීමෙනි. මේවා කරන්නට ඉහළින්ම නියෝග එනතුරු සිටිය යුතු යැයි නියමයක් ඇතැයි ද අප සිතන්නේ නැත.