brand logo
logo

අපේ අරමුණ ත්‍රස්තවාදය, අන්තවාදය තුරන් කර එකට සිටීම

03 July 2020

‘‘මගේ පියා ඝාතනය වූයේ කොටි ත්‍රස්තවාදී බෝම්බකරුවකු නිසයි. ඔහු දෙමළ ජාතිකයෙක්. නමුත් එක පුද්ගලයකුගේ ක්‍රියාකාරකමක් මත අප දෙමළ ජාතියට වෛර කරන්නේ නැහැ. ඒ දෙමළ ජාතිය සම්බන්ධ හින්දු ආගම් , කතෝලික ආගම් වලට වෛර කරන්නේ නැහැ. ඒ ජන කොට්ඨාසවලට වෛරකරන්නේ නැහැ. රණසිංහ ප්‍රේමදාස අපට උපදෙස් දී තිබෙන්නේ, අපට උගන්වා තිබෙන්නේ එක් අයකුගේ, දෙදෙනකුගේ, කිහිපදෙනකුගේ වැරදි ක්‍රියා මත මුළු ජාතියක්ම ආගමක්ම විනාශ කිරීම වැරදි දෙයක් බවයි.’’ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසුවේ වව්නියාවේදීය. සමගි ජන බලවේගය වවුනියාව දිස්ත්‍රික් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාව සංස්කෘතික රංග ශාලාවේ පැවැති අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මෙසේද කියා සිටියේය. ‘‘පාස්කු ප්‍රහාරයේදී මහා දැවැන්ත හානියක් අපේ රටට කළා. ඒ පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතිකයින් සම්බන්ධවූවයි කියා අප මුළු මුස්ලිම් ජාතියම විනාශකරන්නට හොඳ නැහැ. ඔවුන්ගේ ආගම වූ ඉස්ලාමීය ආගම විනාශකරන්නට හොඳ නැහැ. එවැනි දේවල් අපට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උගන්වලා නැහැ. අපි දැනගන්නට ඕනෑ ත්‍රස්තවාදය , අන්තවාදය තුරන්කරලා සංහිඳියාවෙන් එකමුතු භාවයෙන් එකට ඉන්නට. එය තමයි සමගි ජනබලවේගයේ උදාරතර සංකල්පය. මා ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා වන්නි මැතිවරණ කොට්ඨාසයේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ හැටපන්දහසකට වැඩිය ඡන්ද ලබාදීලා සියයට 74 කට වැඩි ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාසට ලබාදී තැබූ විශ්වාසය පිළිබඳව. ඒ විශ්වාසය මත අනිවාර්යයෙන් ඔබ බලප්‍රදේශයේ වවුනියාව මැතිවරණ කොට්ඨාසයේ ජීවත්වන ජනතාවගේ ජන ජීවිතය දියුණු කරන්නටත් මා මේ මොහොතේ පොරොන්දු වනවා. අපේ වැඩපිළිවෙළ මෙම ප්‍රදේශයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඔස්සේම ගම්මාන දියුණුව, සංවර්ධන ජීවනෝපාය ශක්තිමත් කිරීමට මේ හැම අංශයටම දැවැන්ත වැඩකොටසක් දියත් කරනවා. මා පිරිසුදු සිංහල බෞද්ධයෙක් හැටියට බුදුන් වහන්සේගේ ඒ නිර්මල දහම අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. අකුරටම පිළිපදිනවා. ලොව්තුරා බුදුන් වහන්සේ ලොවට ලබාදෙන උතුම් පණිවුඩය තමයි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත්වෙත්වා, වෛර නොවෙත්වා, දුකින් මිදෙත්වා යන්නයි. කිසිම දවසක ලොව්තුරා බුදුන් වහන්සේ මිනිසුන් ජාතීන් ලෙස, ආගම් ලෙස, කුල ගෝත්‍ර ලෙස වෙනත් විදිහට හඳුන්වලා වෙනත් විදිහට සලකන්නට කියා කොහෙවත් දේශනා කරලා නැහැ. එසේනම් සජිත් ප්‍රේමදාස මේ උතුම් ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර ජන කොට්ඨාසවල අන්තවාදී පිරිස් සිටිනවා. අපි ඒ අන්තවාදය නැතිකරන්නට ඕනෑ. ජාතිබේදය, ජාතිවාදය, ආගම්බේදය, ආගම්වාදය අප තුරන්කරන්නට ඕනෑ. අප අනිවාර් යේන් සියලුදෙනා රටක් හැටියට එකට එක්ව එක මවකගේ පියකුගේ දුවා දරුවන් හැටියට රට රැකගෙන සියලු ජනකොට්ඨාස රැකගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. මාධව කුලසූරිය - වව්නියාව
 

More News..