කතුවැකි

අපි Colleges ලා උඹලා බයියෝ

අඹ වාරය, කජු වාරය, අවුරුදු කාලය, නිවාඩු කාලය ආදියය එදා ළමා ලෝකයට ආවේ. අද ඒ කාල ළමා ලෝකයට එන්නේ නැත. දැන් ළමා ලෝකයට එන්නේ බිග් මැච් කාලයය.

දැන් කොළඹටත් ප්‍රධාන නගරවලටත් මේ ග්‍රීස්මය මැද්දේ බිග් මැච් කාලය උදා වී තිබේ. අඹවාර, කජු වාර ඇරඹෙන බව තේරෙන්නේ ගහකොළ මල් පිබිදී ළමා සිත් මිහිරෙන් පුරවාලීමෙන් වුවද, බිග් මැච් වාරය ඇරඹෙන බව දැනෙන්නේ එබඳු මිහිරියාවකින් යුතු දෙයකින් නොවේ. නීති විරෝධී මහජන පීඩාවට හේතුවන සිද්ධි රැසක් වාර්තා වීමෙනි.

මෙවර මේ කාලය ආරම්භ වූ බව දැනුණේ කොළඹ හතේ පාරක සිද්ධ වූ හදිසි අනතුරකිනි. නාලන්දා විද්‍යාලයේ බිග් මැච් උණ විකාරෙන් යෞවන සිසු පිිරිසක් තම සුපිරි වාහනය මහ මග අධි වේගයෙන් පදවා පෙරළා දමා තවත් වාහන කිහිපයකට බරපතළ හානි සිදු කළේ ය.

ඊළඟට රාජකීය විද්‍යාලයේ සිසු පෝතක රෑනක් කොළඹ කාන්තා විද්‍යාලයට බලෙන් පැන සිසු දැරියන්ට හිංසා කළෝය. හිංසාව නතර වූයේ කොල්ලුපිටිය පොලිසිය සිසු රෑන අල්ලා පොලිසියට ගෙන ගොස් ‘හොඳ ළමයි වෙන්න බබාලා’ වැනි දෙයක් කියා පියවරුන් සේ ඔවා දීමෙනි. පොලිසිය හැමදාමත් එසේ කරන්නේ තමන්ගේ අනාගතය ගැන ඇති දුර දැක්මෙනි. මාළිගාවත්තේ ඉස්කෝලෙක සිසු රෑනක් ඒ පාසලට බලෙන් පැන්නා නම් උන්ගේ අම්මා, අප්පාත් තාම පොලිසි, උසාවි ගානේ රස්තියාදු වෙන්නට හේතුවෙන නීති රීති රෙගුලාසි පොලිසියේ ඉන්නා අන්දම නිලධාරියාගේ වුව ඇහැට අපූරුවට පෙනෙන බව නම් සහතිකය.

සුපිරි පාසල්වල මේ සිදුවීම් පත්තරවල විස්තර කෙරෙන්නේ ඩබ්ලිව් පහ හෙවත් When Where What Why Who නම් පද පහෙන් වූවද සුපිරි පාසලක් පිළිබඳ ප්‍රවෘත්තියේදී Who හලා දමයි. Who හෙවත් කවුද යන්න විස්තර නොකර හලයි. ඒ කොළඹ රාජකීය, ශාන්ත තෝමස්, ආනන්ද, නාලන්ද මේ විද්‍යාලවලට හූ කියන්නට අකැමැති නිසාය.

සැබැවින්ම මේ කාලේ පාර පුරා මාර්ග වාහන තදබද කරමින් කොඩි වනමින් මඳ පමණට සුරා විතින් සප්පායම් වෙමින් පාසල් ආක්‍රමණය කර දැරියන්ගේ හිරි ඔතප් බිඳිමින් ගලා යන්නේ ප්‍රධාන පාසල්වල සිසුන්ද, ආදි සිසුන්ද තම කොලීජියට ඇති ආදරයය. මේ අය පාසලට තියෙන ආදරය කොතරම්ද යත් ඔවුන්ගේ පෙකණිවැල කපා තිබෙන්නේ වින්නඹු මාතාවගේ කතුරෙන් නොව තම විද්‍යාලයේ ගේට්ටු පථ දෙක මැදට තබා තද කිරීමෙන් බව වරෙක ජනමාධ්‍යවේදියකු කීවේය.

මේ පාසල් විවේචනය කරන්නාට ඔවුහු මනෝමූල කාරණා කියති. සුපිරි පාසල් විවේචනය කරන්නේ ඒවාට යන්නට බැරි වීමේ හීන මානය නිසාය කීම සුලබ කීමකි. සැබැවින්ම පාසලට ඇති ආදරය මුවාවෙන් හීනියට ක්‍රියාත්මක වන්නේ හීනමානයය.

බිග් මැච් කාලෙට මහ පාරේදී අහු වුණොත් අනෙක් පසින් ක්‍රිකට් තරගයට එන පාසලේ එකාගේ ඔළුව පළන්නට තරම් ආදරය බරපතළය. තෝමියන්ලා රුසියන් ගැහැනුන් තිදෙනකු බිග් මැච් එකට ගෙනැත් නැටවුවහොත් රාජකීයයන් රුසියන් ගැහැනුන් 05ක් වත් නටවති. සමහර විද්‍යාලයක් බිග් මැච් වෙනුවෙන් හෙලිකොප්ටර් යානාවක් යොදවා විද්‍යාලයේ කොඩිය පෙන්නාගෙන අහසේ සරති. තරගකාරී අනිත් පාසල කරන්නේ ගඟට හෝ මුහුදට යෝධ බෝට්ටු පෙළක් යොදා දවසෙම යාත්‍රා කරමින් කොඩිය පෑමය. මේ හීනමානය තියෙන්නේ කාටද? තමන්ගේ පාසල්වලින් මේ රටට වැඩදායීම පුරවැසියන් බිහි කරන අතර අනෙක් පාසල්වලින් බිහි කෙරෙන්නේ වැඩකට නැති මහ පොළොවට බරක් වූවන් බව මේ හැම තැනකදීම ප්‍රකාශ කෙරෙයි. මේ සුපිරි ජාතික පාසල්වලින් හොඳම පුරවැසියන්, රටට හිතැතිම පුරවැසියන් බිහිවන බව කීම මේ රටේ අධ්‍යාපන තරගය උග්‍ර කළ මුළාවකි. මේ පාසල්වලින් හොඳම පුරවැසියන් සේම ලෝක හොරුන්ද, වංචාකාරයන්ද බිහි වූ අවස්ථා අපමණය. එකම පාසලේ එකම පන්තියේ දේශප්‍රේමියාද, දේශද්‍රෝහියාද බිහිව සිටි අවස්ථා බොහෝය.

ඈත පිටිසර ගම් නියං ගම්වල සිටි ගම්මු තමන් මඩේ බැස, පතලේ බැස, මුහුදේ යමින් කළ රස්සා, විඳි දුක් ගැහැටින් අත් මිදීමටය, තම දරුවන් කොළඹ මහා විද්‍යාලවලට එවූයේ. අද ගමට උජාරුකම් පෙන්වන උන්ගේ අම්මා අප්පලාද එදා ගමේ බයියෝය. තමන්ගේ බයි හංවඩුවෙන් ගැලවී කුල්ටූර් හංවඩුවක් කොටා ගැනීමට ලැබීම අද මේ සිසුන්ට තිබෙන එකම ජීවිත පණිධායනයය. ඔවුන් අද සමාජයේ කතා කරන්නේ We are Colleges ලා කියාය. එසේ කියන විට අපට ඇසෙන්නේ හිනමානී ගෝත්‍රික හඬකි. සෙස්සන් පස්සට යවන්න හීනමානී කණ්ඩායම පාරේ වාහනවල පාසලේ කොඩි දාගෙන සෙසු විද්‍යාලවලට අවමන් කරමින් යන, කාන්තා විද්‍යාලවලට පැන වීරකම් පාන, හැම මොහොතකම රටට කියන්නේ මේ හීන මානය ගොඩනගන අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බව ය.

We are College Boys මනස තුරන් කළ යුතු බවය.