විශේෂාංග

අපි සතියකට කෙඩ්‍රිට් කාඩ්පතක තරම් ප්ලාස්ටික් කනවා

ක්‍රෙඩිට් කාඩ්, වීසා කාඩ් හෝ ඩෙබිට් කාඩ් පත් දමා ගන්නේ තම මුදල් පසුම්බියේය. එම කාඩ්පත්වලින් බිල් ගෙවා ගන්නා ආහාරපාන නම් ඔබේ කට හරහා යන්නේ බඩටය. එහෙත් ඔබ සතියකට වරක් ක්‍රෙඩිට් හෝ වීසා කාඩ්පතක ඇති ප්ලාස්ටික් ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව කීවොත් එය භීතියට පත් වන කාරණාවක් වනු ඇත්තේය. ඒ කතාව කියන්නේ සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරය.

ඔබ භීතියට පත් කරන මේ කතාව හෙළි වන්නේ ගිය මාසේ එළි දැක්වූ ලෝක වනජීවී අරමුදලේ වාර්තාව අනුවය. එම වාර්තාව අනුව ජලය, ආහාර, බියර් පානය කරන බෝතලය හරහා සතියකට මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි 1669ක් මිනිස් සිරුරට ඇතුළු වේ. බරෙන් බැලුවොත් ග්‍රෑම් පහකි. එම ගණන ඇස්තමේන්තු ගත කර ඇත්තේ ක්‍රෙඩිට්,ඩෙබිට් කාඩ්පතක බරකටය. එසේ බලන විට ඔබ සතියකට ක්‍රෙඩිට් කාඩ් පතක් ආහාරයට ගන්නා තරම් ප්ලාස්ටික් කන බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියන්නේය.

මොනවද මේ මයික්‍රෝ ප්ලාස්ටික්?

මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ ලොකු ප්ලාස්ටික් බෝතලයක් කැඩිලා බිඳිති බවට පත් වෙලා පරිසරයට එකතුවීමයි. උදාහරණයක් ලෙස කියනවා නම් වතුර බෝතලයක්, සින්තටික් ඇඳුමක් අවසානයේ මයික්‍රෝ ප්ලාස්ටික් බිඳිති බවට පත් වෙනවා. ඒ දෙය අපිට පෙනෙනවා. නමුත් අපිට නොපෙනෙන දේවල් තියෙනවා. එය නම් යම් නිෂ්පාදනයකට මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති හිතා මතාම එකතු කිරීමයි. එසේ කියන්නී වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙව්වන්දි ජයකොඩිය.

මයික්‍රෝ ප්ලාස්ටික් කුඩු ඇසට නොපෙනේ. එම කුඩු මිලිමීටර් පහත් එකත් අතර ප්‍රමාණයකින් යුතුය. පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ මෙම මයික්‍රෝ ප්ලාස්ටික් කුඩු ඇතැම් නිෂ්පාදකයන් හිතාමතාම දන්තාලේපන, මුහුණේ ආලේප කරන ක්‍රීම් වර්ග, පැම්පස්, තොල් ආලේපන යනාදී වර්ග රැසකට අන්තර්ගත කර ඇති බවය.

දන්තාලේපනවලට මේවා වැඩිපුර යොදා ඇත්තේ දත් මදිද්දී වැඩිපුර දත් හොඳින් සුද්ද කරන අදහසින්. සමහර වෙලාවට මෙම මයික්‍රෝ ප්ලාස්ටික් යොදා තිබෙන්නේ අලංකාරයට විතරයි. දත් මැදලා කෙළ ගහද්දී සින්ක් එක හරහා මයික්‍රෝ ප්ලාස්ටික් ළඟම තියෙන ජල ප්‍රභවයට හෝ පරිසර පද්ධතියට එකතු වෙනවා. මේවා අවසානයේ ගංගාවලට, මහ මුහුදට එකතු වෙනවා. මෙලෙස මයික්‍රෝ ප්ලාස්ටික් ජලයට එකතු වූ පසුව ජලය පිරිපහදු කරන ස්ථානවලින්වත් මයික්‍රෝ ප්ලාස්ටික් ඉවත් කරන්න බෑ. ඒවා ඒ තරමටම කුඩායි යැයි ආචාර්ය සෙව්වන්දි ජයකොඩි සඳහන් කළාය.

මෙම මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි නොපෙනෙන මහා සතුරන් බව රට වැසියන්ට තේරෙන්නේ නැත. පස, ජලය හා වායුගෝලය මේ නොපෙනෙන හතුරා කරන විනාශය රටුන්ට නොදැනෙන්නේ එබැවිනි.
සමුද්‍ර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කරන පරිදි මයික්‍රෝ ප්ලාස්ටික්වලට විස ද්‍රව්‍ය උරා ගැනීමේ වැඩි හැකියාවක් පවතී. එබැවින්, මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු දෑ දීර්ඝ කාලයක් සතුන් ආහාරයට ගැනීම මගින් එම සතුන් විනාශයට ලක්වේ.

මාළු වෙළෙඳපොළේ දැන් ලොකු මාළු අඩුයි. පොඩි මාළු වැඩියි. ඉස්සර වැඩියෙන් කාපු මාළු දැන් අඩුයි. මයික්‍රෝ ප්ලාස්ටික් නිසා මුහුදේ ඉන්න මාළු විශාල වශයෙන් විනාශ වීම මීට හේතුවයි. ඉවක් බවක් නැතිව සාගරයට ප්ලාස්ටික් මුදාහැරීම නිසා සමස්තයක් ලෙස ගත් විට හැම මාළුවකුගේම ඇඟට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු වෙලා තියෙන්නේ. බෙල්ලෝ, කකුළුවන්ගේ ආදී සෑම මුහුදු ජීවියකුගේම සිරුරට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළුවෙලා තියෙන්නේ. මේ මත්ස්‍යයන් ආහාරයට ගත් විට එම මයික්‍රේ ප්ලාස්ටික් මිනිසාගේ ශරීරයට ඇතුළු වෙනවා. මොකද මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ කුඩු වර්ගයක්නේ. මේ කුඩුවලට ජලයේ තියෙන විෂ ද්‍රව්‍ය උරා ගන්නවා. මයික්‍රෝ ප්ලාස්ටික් කෑල්ලක් ශරීරයට ඇතුළුවුණා කියන්නේ විවිධ විෂ ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවූවා සමානයි. මයික්‍රෝ ප්ලාස්ටික් මිනිස් ශරීරයේ තැන්පත් වෙනවා. මේ නිසා පිළිකා තත්ත්වයන්ද ඇති වෙනවා. අපි මුහුදු පරිසරය විනාශ කරද්දී එහි ප්‍රතිඵලය ආපසු එන්නේ අපටමයි. මේක බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නෑ යැයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කීවේය.

සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය විසින් ඉකුත් වසරේ (2019) සතියක කාලයක් ඇතුළත මෙරට වෙරළ කලාපයේ කිලෝමීටර් 98ක ප්‍රදේශයක් පුරා විශේෂ සංගණනයක් කරනු ලැබීය. නමදහසක පිරිසක් මෙම සංගණනයට සහභාගි විය. සතියක් තුළ ප්ලාස්ටික් කැබලි කිලෝග්‍රෑම් 36,000ක් වෙරළ පරිසරයට එකතු වන බව එම සංගණනයේදී අනාවරණය වී ඇත. මෙහිදී ප්ලාස්ටික් නොදිරන කැබලි 392,697ක් එකතු කර ඇත. මෙරට වෙරළ කලාපය තුළ සතියක් ඇතුළත ප්ලාස්ටික් කිලෝග්‍රෑම් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් එකතු විය හැකි බවත්, වසරක කාලයකට ඇස්තමේන්තුගත නොදිරන ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් 32,947,031ක් එහිදී හෙළි වී තිබේ.

ප්ලාස්ටික් කියන්නේ නොදිරන ද්‍රව්‍යයක්. ප්ලාස්ටික් දූපත් වශයෙන් මුහුදේ පාවෙනවා. අත්ලාන්තික් සාගරයේ වර්ග කිලෝමීටරයකට ප්ලාස්ටික් කැබලි 40,000ක ඝනත්වයකින් පැතිරී තිබෙනවා. මේ නිසා මුහුදු ජීවීන් දැඩි අනතුරට ලක්ව සිටිනවා යැයි ද ඔහු කියන්නේය.

මෙරට දෛනිකව එකතු වන නාගරික කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10,000කි. මෙම ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 700ක්ම පොලිතීන් සහ ප්ලාස්ටික්ය. මෙම ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීයකරණයට ලක් කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 90ත් 95ත් අතර ප්‍රමාණයකි. ප්ලාස්ටික් හා පොලිතීන් මෙට්‍රික් ටොන් 90ක් දිනපතාම ගංගා දිගේ ගොස් මුහුදට එකතු වේ. දෛනිකව පොලිතීන් හා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 500ක් පරිසර පද්ධතියේ රැඳී පවතින බව මධ්‍යම පරිසර අධිකාරි​යේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි ඉන්ද්‍රරත්න කියන්නේය.

කෙසෙල් ලෙල්ලක් දිරාපත් වීමට සති 3-4ක කාලයක් ගතවුවද, ප්ලාස්ටික් බෑගයක් දිරාපත්වීමට අවුරුදු 200-1000 දක්වා කාලයක් ගත වේ. ප්ලාස්ටික් වියෝජනයට පත් වූ පසු ඒවා කුඩු බවට පත්වී පරිසර පද්ධතිය තුළම මේවා දකින්නට නොතිබුණද ඒවා කුඩු වශයෙන් පවතින බවද පරිසරවේදීහු සඳහන් කරති.එහි ප්‍රතිඵලය වන්නේ ප්ලාස්ටික් ශරීරගතවීම නිසා ජාන රෝග සහ පිළිකා වැලඳී ඉක්මනින් පරලොව යාමය.

සාලිය කුමාර ගුණසේකර