කතුවැකි

අපි වෙනුවෙන් අපි ඉවසමු

කොරෝනා නම් වසංගතයක් රට තුළ පැවති බව අප කාටත් යළිත් සිහිපත් වන්නට පටන්ගෙන තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වීමත් සමගය. ඊයේ සවස් වන විට ඇය සමඟ සේවය කළ අතරින් අසූ හතර දෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණ. මෙම කාන්තාවගේ ගම, ඇයගේ සේවාස්ථානය හා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය රෝහල වශයෙන් කලාප තුනක් හඳුනාගෙන ඇති හෙයින් ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

පසුගිය ජූලි මාසයේ අවසානයේ සිට පෙරේදා (04 වැනිදා) වෙන තෙක් මාස දෙකකටත් වැඩි කාලයක් තුළ විවෘත සමාජයෙන් කොරෝනා ආසාදිතයකු හමුව තිබුණේ නැත. මේ කාලය තුළ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ විදේශයන් හි සිට පැමිණි ශ්‍රී ලාංකික රෝගීන් නිසාය. ඒ සියලු දෙනා සමග ඊයේ උදෑසන වන විටත් මෙරට ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ තුන්දහස් දෙසිය පනස් අටක් වශයෙනි. ඒ අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පිරිස එකසිය විසිනවයක් වූ අතර මියගිය සංඛ්‍යාව දහතුනකි. මෙරට තත්ත්වය එසේ වුවත් මේ වන විට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් දෙදහස් හයසියයකට කොරෝනා ආසාදනය වී ඇති අතර හැටහතර දෙනකු මියගොස් තිබේ. මේ සංඛ්‍යා ලේඛන අපට කියන්නේ පෙරේදා වන තෙක් අප ඉතා සාර්ථකව කොරෝනා පාලනය කරමින් සිටි බවය. කොරෝනා පාලනය කිරීමෙන් අප රට දෙවැනි වන්නේ චීනයට පමණක් බවද චීන පර් යේෂණ ආයතනයක් ප්‍රකාශ කර තිබිණි.

අපට මේ සාර්ථකත්වය අත්කර ගන්නට හැකි වූයේ ආණ්ඩුව නිසි අවස්ථාවේ නිසි තීරණ ගැනීමත්, ආරක්ෂක අංශ සෞඛ්‍ය සේවා ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම උපරිමයටත් ඔබ්බට යමින් ඒ තීරණ ක්‍රියාත්මක කිරීම හා ජනතාව අපහසුතා විඳ ගනිමින් ඒවාට අනුගතව කටයුතු කිරීම නිසාය. කෙසේ වෙතත් අප ලැබූ ඒ සාර්ථකත්වයම පෙරළා යළි රට තුළ කොරෝනා භීතියක් ඇතිවීමට හේතු වී ඇති බව පැහැදිලිය. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම, මරණ සංඛ්‍යාව ඉතාමත් අඩුවීම හේතු කරගෙන අප සියලු දෙනාගේ ප්‍රවේසම ඉතාමත් දුර්වල වීම නිසා ය. මේ නිසා කොරෝනා රැල්ලක් යළි රටපුරා පැතිර ගියහොත් එහි වගකීම අප සියල්ලන් එක්ව භාරගත යුතුය.

දිවුලපිටියෙන් යළි කොරෝනා මතුවීම රටපුරා ව්‍යාප්ත වීම පාලනය කිරීමට අදාළ අංශ දැනටමත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. මේ නිසා රෝගය පැතිර යනු ඇතැයි අනිසි බියක් ඇතිකරගත යුතු නැත. එහෙත් අප තවදුරටත් රෝගයට බිය නොවී කටයුතු කළහොත් එය පැතිර යෑම වැළැක්වීමට ආණ්ඩුවට ආරක්ෂක අංශවලට හා සෞඛ්‍ය සේවාවන්ට කළ හැකි යමක් ඉතිරි නොවනු ඇත.

කොරෝනා වයිරසය පැතිරීම ඉතා හොඳින් පාලනය වී තිබියදීත් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළේය. එසේ වුවත් අප ඒවා බරපතළ ලෙස සැලකිල්ලට ගත්තේ නැත. රටපුරා ඇඳිරි නීතිය පනවා තිබියදී අසීරුවෙන් ඊට අවනත වූ අප අවම ආරක්ෂක ක්‍රියාවන් වූ දෑත් සේදීම හා මුව ආවරණ පැලඳීමට හෝ උනන්දු වන බවක් පසුගිය දිනවල දක්නට නොතිබූ බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය.

කොරෝනා සමග සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විවිධ ක්ෂේත්‍රයන් අරබයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පනස් හයක් ඉදිරිපත්කොට තිබේ. සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතුවලදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් සෞඛ්‍ය අංශ ඉතා පැහැදිලිව දැනුම් දී තිබේ. දැන් අප කළ යුත්තේ ඉතා ඕනෑකමින් හා දැනුවත්ව එකී සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමය.

එසේ නොවුණහොත් අපේ ජන ජීවිතයද, රටේ ආර්ථිකයද තව තවත් අර්බුදයට යෑම වැළැක්විය නොහැකි වනු ඇත. දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමග යළිත් වරක් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිට තිබේ. කල්ගිය උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය යළිත් වරක් කල් යෑමට ඉඩ තිබේ. සංචාරක ව්‍යාපාරය ඇතුළුව රටේ ව්‍යාපාර අංශ යන්තම් හිස ඔසවන්නට පටන් ගත්තා පමණකි. මේ වන විට රාජ්‍ය අංශයේද ඇතැම් ආයතන සේවක වැටුප් ගෙවීමේ පවා අර්බුදයකට මුහුණ දී සිටිති. මාස හයකට පසු වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ පහළම අගයන් වාර්තා කළේ ය.

මේ අතර මාස දෙකකට පසු සමාජයෙන් කොරෝනා රෝගියකු වාර්තා වීමත් සමග කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් කට කතා පැතිරෙන්නට පටන් ගෙන තිබේ. ඇතැමකු මේ කටකතා අහන්නේද, කියන්නේද නොදැනුවත්කමටය. ඉතා වුවමනාවෙන් සංවිධානාත්මකව කටකතා පතුරුවන පිරිසක්ද සිටිති. නොදැනුවත්කමට කටකතා විශ්වාස කරන හා පතුරුවන අය දැනුවත් කළ හැකි නමුත් දැන දැන වුවමනාවෙන්ම කටකතා පතුරුවන්නෝ නිවැරදි කළ නොහැකිය. මේ පිරිස නම් අන් කවුරුන්වත් නොව කොරෝනා රෝගීන් වැඩිවීම ගැන දේශපාලනික සතුටක් ලබන, එයින්ද ආණ්ඩුවට පහර දීමට සූදානමින් සිටින අයය.

කොරෝනා වයිරසයට ගොදුරු නොවීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නා සේම කටකතා පතුරුවන්නන්ට අසු නොවීමට සිහි බුද්ධියෙන් කටයුතු කිරීම සාමාන්‍ය ජනතාවගේ වගකීමකි. දැන හෝ නොදැන කටකතා විශ්වාස කිරීම හෝ පැතිරවීමද දැන දැනම කොරෝනා වයිරසය පැතිරවීමට කටයුතු කිරීමට සමාන පහත් ක්‍රියාවකි.

මිනුවන්ගොඩින්, කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමග රටපුරා ජනතාව ලහි ලහියේ ඉන්ධන හා පාරිභෝගික භාණ්ඩ එක්රැස් කර ගන්නටද පටන්ගෙන ඇතැයි වාර්තා වී තිබේ. මෙයද මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය සමනය කිරීමට නොව උත්සන්න කිරීමට හේතුවන නිරර්ථක ක්‍රියාවකි. ජනතාව මේ අන්දමට කලබලයට පත්වීමට, බොරු කටකතාද හේතු වී ඇතත්, මීට පෙරද රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ නිසා කිසිසේත්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් පිළිබඳ බියක් ඇතිකරගත යුතු යැයි අප සිතන්නේ නැත. මීට පෙර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේද යම් යම් සීමාවන්ට යටත්ව හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ මාර්ග හා අවස්ථා තිබුණු බැවිනි.

අනෙක් අතට හදිසි තත්ත්වයක් යටතේ අපගේ සුපුරුදු ජීවන රටාව අනුගමනය කිරීමට නොහැකි බව අප කොරෝනා වසංගතය උත්සන්නව පැවැති සමයේ අත්දැක තිබේ. දැන් අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අනුගමනය කළ යුත්තේ මීට පෙර කොරෝනා වසංගතය පැතිර යමින් තිබියදී අනුගමනය කළ ජීවන රටාවමය. එහිදී කුමන අපහසුතාවක් විඳීමට සිදු වූවත් කුමන සීමාවන්ට යටත් වීමට සිදු වූවත් ඉවසා සිටීමට වගබලා ගැනීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් බව කිව යුතුය. ඒ ඉවසීම අන් කිසිවකු වෙනුවෙන් නොව අප වෙනුවෙන්මය.