විශේෂාංග

අපි පරිප්පු කන යක්කු බොලව්

එදා උදේ ‘පරිප්පු හොද්ද’ තැම්බුණේ ම නැත. එහෙයින් දහවල් බතට බෙදාගෙන එන්නට වූයේ ද, ‘බාගෙට තැම්බුණු’ පරිප්පුවකි. දහවල් කෑම මේසයේ දී ‘කන්තෝරු මිතුරන්’ සමග ද බෙදාහදාගන්නට සිදු වූ ‘ඒ පරිප්පුව’ නොවන්නට ‘මේ ලියමන’ නොලියවේ. පාරිභෝගික සේවා අධිකාරියේ වැඩ කරන කිහිපදෙනෙකු, මහජන

සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිපදෙනෙකු, පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකු පමණක් නොව, නිතර ‘පරිප්පු උයන්නියන්’ කිහිප දෙනෙකු සමග ද කතාබස් කිරීමෙන් අනතුරුව ‘පරිප්පු පිළිබඳ’ මේ ලිපිය නොලියා ම බැරි විය.

අපේ ‘ජාතික ආහාරය’ වන බත්පතේ ‘අගමැති’ වැනි තැනක තිබෙන ‘පරිප්පුව’ පිළිබඳ ‘ජාතික පුවත්පතක’ ලිපියක් පළවීම ‘විය යුතු ම’ දෙයකැ’යි ද සිතිණි. එසැණින් ම මගේ මතකයට පැමිණියේ ‘පරිප්පුව’ ට බුදුබව පතන ‘සරසවි කුරුටු ගීය’ යි.

‘‘පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා

ලුණුයි පොලුයි සැරියුත් මුගලන් වේවා

මලකඩ වතුර ​නේරංජන ගඟ වේවා

කැන්ටින් මුදලාලි අජරාමර වේවා…’’

කැන්ටිමෙන් කන සරසවි සිසුන් පමණක් නොව, බාල මහලු, ගැහැනු පිරිමි, දුප්පත්, පොහොසත් කවුරු කවුරුනුත් ‘ඉතා කැමැත්තෙන්’ කන ‘පරිප්පුව’ ප්‍රිය නොකරන්නේ, අහම්බෙන් කෙනෙකි. බත් සමග නොවේ නම්, පාන් සමග හෝ ඉඳි ආප්ප සමග, එසේත් නොවේ නම්, රොටී හෝ පරාටා සමගවත්, සතියට ‘හත් අට වේලක්වත්’ නොවරදවා ම ‘කැවෙන’ පරිප්පුව ගැන ‘කව් ගී ලියවුණේ’ ද අඩුවෙන් ය. ‘බාගෙට තැම්බුණු පරිප්පුවක්’ නිමිති කරගෙනවත් මෙවැනි ලිපියක්වත් ලියන්නට හැකිවීම ‘මා ලද භාග්‍යයකි.’

අදින් අවුරුදු දහතුන් දහසක් එපිට දී ත් ‘ධාන්‍ය වර්ග කෑවේ’ යැයි කියන අපේ ඓතිහාසික මුතුන් මිත්තන්ට නම් ‘පරිප්පු’ රහ බලන්නට හැකි වී නැත. ‘පරිප්පුව’ අපට පසු කාලයේ දී ‘ඉන්දියානුවන්’ හරහා ලැබුණේ යැයි කියැවේ. එහෙත් ඉන්දියානුවන් එය හඳුන්වන්නේ ‘පරුප්පු’ යන නමිනි. ලෝකයේ අනෙකුත් රටවල ‘පරිප්පුව’ හඳුන්වන්නේ, ‘ඩාල්’ හෙවත්, ‘ලෙන්ටින්’ යන නමිනි. කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ද ‘පරිප්පු බලවතුන්’ වන නමුත්, ‘පරිප්පු සංස්කෘතියක්’ ගොඩනැගෙන්නේ ‘ඉන්දියාවේ’ ය.

ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශයේ දී හමුවූ ‘එක්තරා කෝකියෙක්’ මා සමග පැවසූ ආකාරයට ඉන්දියානුවන් ‘පරිප්පු උයන විධි’ 170 කට වඩා තිබේ. එයිනුත්, ජාත්‍යන්තරයට ගොස් තිබෙන කෑම ‘පරිප්පු වඩේ’ ය. ‘වෙල්ලෝර්’ හි ‘ඒ කෝකියා’ පැවසූ ආකාරයට ඔවුන්ගෙන් ‘පරිප්පු වඩේ’ මිලදී ගන්නා විදේශිකයින්, එම ‘වඩේ’ තම තමන්ගේ රටවලට ද රැගෙන යයි. ඉන්පසුව ඒවා ‘නැවත බැද’රස බල යි.

ඉන්දියාවේ ‘කොයිම්බතූර්’ වලට උඩින් තිබෙන ‘මයිසූර් පළාත’ පරිප්පුවලට ප්‍රසිද්ධම පළාත වන අතර, ඉන්දියානු උප මහාද්වීපය පුරා ම ජනප්‍රියම පරිප්පු වර්ගය වන්නේ, ‘මයිසූර් පරිප්පු’ ය. කලක් අපේ රටේ ද ඉතා ම ජනප්‍රිය වූ ‘මයිසූර් පරිප්පු’ දැන් නම් සොයාගන්නටවත් නැත. අද කාලේ අපේ කඩේ මුදලාලි ‘මයිසූර් පන්සීයයි’ කියා කිරා දෙන ‘පරිප්පු’ ගෙන්වන්නේ, මයිසූර්වලින් නොව, ඔස්ට්‍රේලියාවෙනි. ඇත්තෙන්ම දැන් අපේ රටට ‘මයිසූර් පරිප්පු’ ගෙන්වන්නේ ම නැති තරම් ය.

ඔස්ට්‍රේලියාවේ සිට අපේ රටට පරිප්පු ගෙන්වන ප්‍රධාන ව්‍යාපාරිකයින් ‘කිහිප දෙනෙකු’ සිටින අතර, බොහෝ විට අපි කන ‘පරිප්පුවේ’ මිල තීරණය වන්නේ ද, ‘ප්‍රමිතිය’ සකස් වන්නේ ද ඔවුන් අතිනි. එය ‘අත්‍යාවශ්‍ය භාණ්ඩයක්’ ලෙස සලකා ‘මිල’ පාලනය කිරීමේ ‘ක්‍රමවේදයක්’ ඇතත්, එය ආනයන කරන්නන්ගේ ‘ඉල්ලීම්’ නොතකා සිදු කරන ‘සාධාරණ’ ක්‍රමවේදයක් නම් නොවේ. මේ කියන ‘පරිප්පු ආනයනකරුවන් කිහිපදෙනා’ පසුගිය කාලයේ ‘පරිප්පු ඇට වශයෙන් ගෙන්වා’ පියලි බවට පත් කරන ‘මැෂින්’ මිලදීගත් අතර ඉන් පසුව ‘පරිප්පු ඇට’ ගෙන්වා පියලි කර විකිණීමෙන් ‘විශාල ලාභ’ ලබන්නට පටන් ගත් හ. ඉන්පසුව ‘පියලි කරන ලද පරිප්පු ගෙන්වන’ සුළු ව්‍යාපාරිකයින් ‘ටිකෙන් ටික’ වැටුණු අතර ‘පරිප්පු ඇට ගෙන්වන කිහිප දෙනා’ ලංකාවේ අපි කන ‘පරිප්පු’ වලට වගකියන ‘මහා පරිප්පු බලවතුන්’ බවට පත්විය. දැනට අවුරුද්දකට පමණ ඉහත දී, ‘පියලි කරන ලද පරිප්පු ගෙන්වන’ කුඩා පරිමාණයේ ආනයනකරුවන්ට 400% ක (සියයට හාරසීයක) බදු පනවනු ලැබීමෙන් පසුව ‘මහා පරිප්පු බලවතුන්ගේ බලය’ දෙගුණ තෙගුණ වූ බව ද අමතක නොකළ හැකිය.

මේ මහා පරිප්පු බලවතුන්, පරිප්පු පිරිපහදු කර, පියලිවලට වෙන් කර ගබඩා කරන මහා පරිමාණයේ ‘පරිප්පු මෝල්’ ඉදි වූ අතර අපේ කම්කරුවන්ට ඒවායේ ‘වැඩ’ ද ලැබෙන්නට විය. අක්කර ගණනක් විශාල වූ මේ මෝල්වල තිබෙන පරිප්පු ගබඩා කර තැබෙන්නේ විශාල කුලුනුවල ය. ඒ එක් කුලුනක කන්ටේනර් ‘හැට හැත්තෑවක’ පමණ පරිප්පු තැන්පත් කර තැබෙන අතර එනිසා ම ඒවායෙහි වැඩ කරන කම්කරුවන් හැමවිටම වැඩ කරන්නේ ‘පරිප්පු කුලුනු ගරා වැටීමේ’ අවදානම සහිතව ය. එක් කුලුනකට යම් හානියක් සිදුවුවහොත්, එය එකහෙළා ම ‘පරිප්පු නාය’ කි. මෑත කාලයේ ‘කැලණිය ප්‍රදේශයේ’ පරිප්පු මෝලකින් මෙවැනි නායයාම් දෙකක් වාර්තා වූ අතර ඒ අවස්ථා දෙකේ දී ‘ටොන් ගණනක්’ පරිප්පුවලට යට වී කම්කරුවන් දෙදෙනෙකු මියගියේ ය. මෙසේ මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් එහි ‘වැඩට’ පැමිණ තිබුණේ, මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයෙනි. ‘පරිප්පු නායකට හසුවීම’ හේතුවෙන් මෙම පුද්ගලයා මියගියේ 2017 දී ය. මොනරාගල ප්‍රදේශයෙන් වැඩට පැමිණ සිටි තවත් කම්කරුවෙකු ‘පරිප්පු නායකට’ හසු වී 2015 දී පමණ මියගියේ ය.

අපට කෙසේවෙතත්, මේ දෙදෙනාගේ පවුල්වල උදවියට නම්, ‘පරිප්පු තරම් තිත්ත වූ’ දෙයක් නැතුවා විය හැකි ය.

මා මිත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු, මෙවැනි පරිප්පු මෝල්වල සැඟවුණු තවත් රහස් කිහිපයක් ගැන, මා සමග කීවේ මෙසේ ය.

‘‘සමහරවිට අපට හමුවෙලා තියෙනවා, මේ වගේ විශාල පරිප්පු මෝල්වල තියෙන පරිප්පුවලට ‘ඩෙල්ටාමිත්‍රින්’ සහ ‘පර්මිත්‍රින්’ වගේ වැනි රසායන ද්‍රව්‍ය දාලා ‘දූමායනය’ කරන අවස්ථා…’’

‘‘මොනවද මේ රසායන ද්‍රව්‍යවලින් කෙරෙන්නෙ…?’’ යනුවෙන් විමසුවේ මා ය.

‘‘මේවායින් දූමායනය කරන්නෙ, පරිප්පුවලට ගුල්ලො වගේ කෘමීන්ගෙන් වෙන හානි වළක්වන්න… මේවා තමයි අපි ගෙවල්වල කැරපොත්තන්ට, මැස්සන්ට, කූඹින්ට ගහන බෙහෙත්වල තියෙන්නෙත්…’’ ඔහු කීවේ ය.

පසුගිය දිනෙක ‘උඩ පළාතේ’ එළවළු වගාවක් කරන එක්තරා ගොවි මහතෙකු, අපේ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකු සමග පවසා තිබුණු ‘තවත් කතාවක්’ මගේ මතකයට නැගුණේ එවිට ය. එම ගොවියා පවසා තිබුණේ, ඔහු විසින් සොයාගත් ‘අපූරු කෘමිනාශකයක්’ ගැන ය. එම කෘමිනාශකය අන් කිසිවක් නොව ‘පරිප්පු සේදූ වතුර’ ය.

මේ අතර ‘පාරිභෝගික සේවා අධිකාරියේ’ තවත් මිතුරෙකු පවසා තිබුණේ, යම් යම් පරිප්පු මෝල්වලින් ‘පරිප්පුවලට ෆාම් තෙල් යොදා’ ඇති බව ද අසන්නට ලැබෙන බව ය. ඔහු කියන ආකාරයට පරිප්පුවලට ‘ෆාම් තෙල්’ යොදන්නේ ද කල්තබා ගැනීමේ ‘කාරකයක්’ වශයෙනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක මිතුරා කී තවත් කතාවකට අනුව මීට මාස කිහිපයකට ඉහතදී එක්තරා ගබඩාවකින්, ගුල්ලන් ගැසූ පරිප්පු කිලෝ එක් ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ සොයාගනු ලැබ ඇති අතර ඒවා සොයාගන්නා විට, බාගයක් පමණ, කෘමීන්ට බෙහෙත් ගසා ‘සල්ලඩි වැනි දැල් විශේෂයකින්’ මැරුණු කෘමියන් හලා දමා ‘නැවත පැකට් කර’ තිබී ඇත. ඇතැම් විට ඒ තොගයෙන් ‘සුළු හෝ ප්‍රමාණයක්’ වෙළෙඳපොළට ද නිකුත්වී තිබෙන්නට ඇත.

පසුගිය දවසේ මා විසින් තැනුණු ‘බාගෙට තැම්බුණු පරිප්පුව’ට කුමන ‘වින්නැහියක්’ වී තිබෙන්නට ඇද්දැ’යි මා ඔහුගෙන් විමසුවේ, අන්තිමට ය.

‘‘සැලකිය යුතු කාලයක් ගිහිල්ලත් තැම්බුණේ ම නැත්නං ‘හෝස් ලෙන්ටින්’ වෙන්න ඇති…’’ ඔහු කීවේ, ‘කලින් අත්දැක’ පුරුද්දෙනි.

‘‘ඒ කිව්වෙ…?’’ මම ඇසුවෙමි.

‘‘ඒ කියන්නෙ ‘අශ්ව පරිප්පු’ කියන එක… මේක හදන්නෙ මිනිස්සුන්ගෙ කෑමට නෙවෙයි… අශ්වයින්ගෙ කෑමට… හැබැයි අපට පහුගිය කාලෙ වතාවන් කිහිපයකදි ම මේ වර්ගයත් වෙළෙඳපොළේ තිබිල හම්බ වුණා…’’ ඔහු කීවේ ය.

‘‘හයියෝ… ඒකත් එහෙම ද…? එහෙනං ඒක තමයි මං කාපු හොඳම පරිප්පුව…’’ යැයි මා’තින් කියැවුණේ, ‘පරිප්පුවට’ ගරහන ‘ආප්තයක්’ ද සමඟිනි. ඒ අපිට මුහුණ දෙන්නට සිදුවන ‘කිසියම් අකරතැබ්බයක’ දී ‘ඒක නං මාර පරිප්පුවක්…’ යැයි කියැවෙන පුරුද්දට ය. මට හිතෙන හැටියට මෑත ඉතිහාසයේ ‘මාර ම පරිප්පුවක්’ කෑ පුද්ගලයා විය හැක්කේ, නවගමුව පත්තිනි දේවාල පෙරහරේ අලි කුලප්පුවක් අතරතුර ‘පස්සෙන් පස්සට ගොස්’ දානයට සාදමින් තිබුණු ‘මහා පරිප්පු කල්දේරමකට වැටී’ මියගිය පුද්ගලයා ය. එහෙත් පිසින ලද ‘හොද්දකට’ වැටී එකවර මියයාමත්, නිතිපතා ම ‘රසායනික බෙහෙත් ගැසූ ආහාර වර්ග’ කමින් ‘ටික ටික මියයාමත්’ අතර ඇත්තේ ‘කාලය’ පිළිබඳ වෙනසක් පමණි.

මේ ‘පරිප්පු කතාව’ එතෙකින් ද අවසන් නොවිය යුතු ය. ‘අප කන පරිප්පුවේ තරම’ එයින් ද ‘හරිහැටි’ නොකියවෙන නිසා ය.

යාපනයට ඉන්දියාවෙන් පරිප්පු හෙළූ යුගය, ජනතා විමුක්ති පෙරමුණ විසින් කරළියට ගෙනා ‘ඉන්දියා විරෝධය’ මත පදනම්ව ‘පරිප්පු තහනම්’ කළ යුගය පමණක් නොව මේ දෙක ම සිදුවන්නට කලින්, ‘මැලේරියා මර්දනයට’ ගිය පැරණි වමේ බලවතුන් ‘ගෙයින් ගෙට පරිප්පු බෙදූ යුගය’ ද අමතක කළ නොහේ. එන්.එම්.පෙරේරාට ‘පරිප්පු මහත්තයා’ යන නම පටබැඳුණේ ද ඔහු ‘මැලේරියා මර්දන ව්‍යාපාරයෙන්’ පරිප්පු බෙදන්නට ගිය ‘ප්‍රමුඛයා’ වූ නිසා ය.

එකී මෙකී කතා අතරතුර මෙතෙක් නොකී කතාව නම් මේ ය.

ඇත්ත වශයෙන් ම අපි ‘මෙ‌ලොව සිහියක් නැතිව පරිප්පු කන’ ජාතියකි. අපේ දෛනික පරිප්පු පරිභෝජනය ‘පරිප්පු කන්ටේනර් 10’ කි. එනම් කිලෝග්‍රෑම් 24,000 කි. මේ විදියට ‘පරිප්පු කෑම’ සඳහා මාසයකදී අප විසින් රුපියල් කෝටි 97 ක් පමණ වියදම් කරනු ලැබේ.

සාමාන්‍යයෙන් පරිප්පු කෝප්පයකින් ලැබෙන කැලරි ප්‍රමාණය බිත්තර දෙකකින්වත් ලැබෙන්නේ නැත. එබැවින්, හැමවිටම ‘පරිප්පු කාලා’වත් ඇඟපතේ ‘හයිය හත්තිය’ තබාගැනීම කෙරෙහි අධෛර්යමත් නොවිය යුතු ය. පවුලේ අය සමග බෙදාගෙන කෑම සඳහා හැකිතාක් ‘හොඳ පරිප්පු’ සොයාගන්නට මහන්සි වන්න…! මා මෙන් ‘බාගෙට තැම්බුණු – අශ්ව පරිප්පු’ නොකන්න…!

සුරේඛා සමරසේන