කතුවැකි

අපි කන හැටි ළිපා දනී

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැන් පොල් විකිණීම, හෙරොයින් ගංජා හෝ කසිප්පු වැනි තහනම් දේ විකුණන ආකාරයේ වැඩක් බවට පත් ව තිබේ. එසේ වී ඇත්තේ ආණ්ඩුව කියන මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නිසාය. සුපිරි වෙළෙඳ සංකීර්ණවල පවා පොල් ගෙඩියක් දකින්නට නැත. එසේ ඉල්ලා සිටින අයකුට හොර රහසේ පොල් අලෙවි කෙරෙන්නේ ආණ්ඩුවේ මිලට නොව වෙළෙඳපොළේ මිලටය. මේ හොරා – පොලිස් සෙල්ලම කරන්නට අකැමැති වෙළෙන්දන් පොල් විකිණීම අත්හැර දමා තිබේ.

වෙළෙඳපොළේ පොල් හිඟයක් ඇති වීමත් සමග මිල ඉහළ යෑම වැළැක්වීමට ආණ්ඩුව කළේ ගෙඩියක වට ප්‍රමාණය මත රුපියල් හැත්තෑවක් දක්වා පොල් ගෙඩියකට උපරිම මිලක් නියම කිරීමය. මේ තීරණය පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් බව මුළු රටම දැන සිටියත්, තීරණය ගත් අයට වැටහුණේ නැත. කිසිවකු වට ප්‍රමාණය මැන පොල් මිලදී ගන්නට නොගිය අතර කිසිවකු ඒ මිණුම් මත අලෙවි කළේද නැත. දැන් වට ප්‍රමාණය මැන හෝ නොමැතිව රුපියල් හැත්තෑවට නොව රුපියල් සියයකටවත් මිලදී ගන්නට වෙළෙඳපොළේ පොල් නැත.

පොල් පමණක් නොව සහල්ද දැන් දුර්ලභ භාණ්ඩයක් බවට පත්ව තිබේ. සතොස අලෙවිසල් පවා සහල් අලෙවි කරන්නේ එක් අයකුට කිලෝග්‍රෑම් පහක උපරිමයකට යටත්වය. පොල් හිඟයට හේතුව අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න සියයට දහයකින් අඩුවීම බව කියතත් සහල් හිඟයට එවැනි හේතුවක් බලපා නැත. වෙළෙඳ පොළ වාර්තාවන්ට අනුව අවශ්‍ය තරම් වී අස්වැන්නක් ලැබී ඇතත් සහල් හිඟයක් ඇතිව තිබෙන්නේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් අවශ්‍ය තරම් සහල් තොග වෙළෙඳ පොළට නිකුත් නොකිරීම නිසාය.

මෙය සහල් ව්‍යාපාරිකයන් හැමදාමත් කරන සෙල්ලම්ය. ඔවුන් මීට මාස තුනකට පෙරද මේ ආකාරයටම වෙළෙඳ පොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති කළේ ය. ආණ්ඩුව සහල් සඳහා පාලන මිලක් නියම කළ මුත් අවසානයේ ජය ගත්තේ සහල් මාෆියාවය. ඔවුන් යළිත් මේ කැසකවමින් සිටින්නේද යළිත් වරක් සහල් මිල වැඩිකර ගැනීමට බව නොතේරෙන්නේ ආණ්ඩුවට පමණය. බත් කන අයට නම් ඒ බව පෙනේ.

සාධාරණ වෙළෙන්දකු ගැන අප අසා ඇත්නම් ඒ සේරි වාණිජ ජාතකයේදී පමණය. වෙළෙන්දා හැම විටම උත්සාහ කරන්නේ කෙසේ හෝ ලාභ ඉපැයීමටය. වෙළෙන්දා පාරිභෝගිකයාගේ ඉහමොළ සූරා කෑම වළක්වන්නට කටයුතු කළ යුත්තේ ආණ්ඩුව විසිනි. සෑම ආණ්ඩුවක්ම ඒ සඳහා අමාත්‍යාංශයක්ද ඒ යටතේ නොයෙක් නොයෙක් ආයතනද පත් කරන නමුත් අප හැම විටම දකින්නේ නැට්ට විසින් බල්ලා නටවන තත්ත්වයකි.

රට තුළ යළිත් වරක් කොරෝනා වයිරසය පැතිර යන්නට පටන් ගැනීමත් සමග සහල්, පොල් හිඟය දෙගුණ තෙගුණ වන්නට පටන්ගෙන තිබේ. ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පමණක් නොව රටපුරාම ජනතාව වෙළෙඳසල් හිස් කරන්නට පටන්ගෙන ඇති බැවිනි. මෙම තත්ත්වය මත ඉදිරි දිනවල දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද ඇඳිරි නීතිය පැනවීමට සිදුවුවහොත් තත්ත්වය කුමක් වනු ඇත්ද?

සහල් වැනි අත්‍යවශ්‍ය, රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය සකස් කරන භාණ්ඩයක ඒකාධිකාරය පෞද්ගලික අංශයට දරන්නට ඉඩ දී තිබීමේ අවදානම අප මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. එක්කෝ අපි සියලු භාණ්ඩයන්ගේ මිල වෙළෙඳ පොළ විසින් තීරණය කරන්නට ඉඩ හැරිය යුතුය. එවිට කිසිදු භාණ්ඩයක හිඟයක් ඇති නොවනු ඇති නමුත් දුලබ භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. වඩා හොඳ භාණ්ඩ හිඟයක් ඇතිවීමද, වැඩි මිලකට හෝ මිලදී ගැනීමට භාණ්ඩ සුලභව තිබීම දැයි සිතා බැලිය යුතුය.

භාණ්ඩ මිල වැඩිවීම නිසා වැඩි දෙනකුට මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි කල්පනා කරන්නේ නම් කළ යුත්තේ සාධාරණ මිලකට කාටත් භාණ්ඩ මිලදී ගත හැකි ක්‍රමයක් සැකසීමය. පාරිභෝගික සේවා අධිකාරිය සතොස, සමුපකාර දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනත්, වෙළෙඳ අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශත් ඇත්තේ ඒ සඳහාය.

සහල්, පොල් පමණක් නොව වෙළෙඳ පොළේ තවත් පාරිභෝගික භාණ්ඩ හිඟය. සතොස වෙළෙඳසලේ පරිප්පු නිකුත් කරන්නේද එක් අයකුට කිලෝග්‍රෑම් තුනක් ලෙසය. මෙවැනි සීමාවක් දැන ගන්නා පාරිභෝගිකයා කරන්නේ ඇඳිරි නීතිය ඇතත් නැතත් අවශ්‍ය පමණටත් වඩා ආහාර තොග එක්රැස් කිරීමය. එවිට වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟයක් ඇතිවන්නේ නිරායාසයෙනි.

ඕනෑම භාණ්ඩ සඳහා සීමාවන් පැනවූ විට කළු වෙළෙඳ පොළක් ඇති වීම සාමාන්‍ය කාරණයකි. කහ සම්බන්ධයෙන් දැන් ඇතිව තිබෙන්නේ එවැනි තත්ත්වයකි. කහ ආනයනය සීමා කිරීම නිසා දැන් කහ රටට ගෙන එන්නේ හොර රහසේ ය. හැම දිනකම එලෙස ගෙන එන කහ තොග හසුවන නමුත් නීතියට හසු නොවී කොයිතරම් කහ ප්‍රමාණයක් රටට ගෙන එන්නේ දැයි අප දන්නේ නැත. මෙලෙස ගෙන එන කහ අලෙවි කෙරෙන්නේ අධික මිල ගණන්වලටය. ආනයන සීමා පැනවූවත්, අලෙවි මිල සීමා පැනවූවත් සිදුවන්නේ එකම දෙයකි. භාණ්ඩයේ මිල ඉහළ යෑම පමණය. ඉතින් සීමා පැනවීමෙන් භාණ්ඩ මිල ඉහළ යන්නට උඩගෙඩි නොදී වෙළෙඳ පොළේ ඉල්ලුම, සැපයුම මත ඒ මිල තීරණය වන්නට ඉඩ දීම වඩා යෝග්‍ය නොවන්නේද? කහ හිඟය සම්බන්ධයෙන් ගත් විට මේ හිඟය නැති කිරීමට පහසු මාර්ගයක් ඇතත් තවමත් ක්‍රියාත්මක වී නැත්තේ කුමක් නිසාද?

කහ ආනයනය සීමා කර ඇත්තේ දේශීය කහ වගාව දියුණු කිරීමටය. එහෙත් ඒ අස්වනු ලැබෙන තෙක් මිනිසුන්ගේ පරිභෝජනයට කහ ලැබෙන ක්‍රමයක් තිබිය යුතුය. ඒ සඳහා නීති විරෝධීව මෙරටට ගෙන එන කහ සතොස මගින් අලෙවි කරන බව කියා ඇතත් තවමත් එය ක්‍රියාත්මක වී නැත.

මේ ප්‍රශ්න කොරෝනා ඇතත් නැතත් විසඳිය යුතු ප්‍රශ්නය. එහෙත් කොරෝනා යළිත් රටපුරා පැතිර යෑමේ අවදානම නිසා ඒවා වහා විසඳිය යුතු ප්‍රමුඛ ප්‍රශ්න බවට පත්ව තිබේ. කොරෝනා වසංගතය පැතිර යෑම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්තාක් සේම ඒ ගැනද වගකිවයුත්තන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමු.