ක්‍රීඩා

අපි එදා ජන ක්‍රීඩා කළේ ‘සෙල්ලමට’ ද?

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය හා බැඳුණු බෞද්ධ සංස්කෘතික පසුබිම, සාම්ප්‍රදායික උරුමයන්, දේව ඇදහිලි සංකල්ප, කෘෂි හා වාරි ශිෂ්ටාචාර විධික්‍රම ආදී සියල්ල එකට එක්ව ගොඩනැඟුණු හෙළයේ ජන ක්‍රීඩාවන් එදා අපේ මුතුන් මිිත්තන්ගේ කායික මානසික දියුණුවේ රහස වූවාට කිසිම සැකයක් නොමැත.

කුඹුරේ-හේනේ වැඩකර, ගතට උරුම වූ වෙහෙස මෙන්ම පැල් රැකීමට එක්ව ගතට දැනුණු විඩාව හා කාන්සිය මකා ගන්නට එක්වුණු සිව්පද, ගීත, තේරවිලි ඇතු`ඵ දේ සමඟ නොයෙක් ආකාරයේ ක්‍රීඩාවන්ද එකට මිශ්‍ර වූයේ එදා අපේ මුතුන් මිත්තන්ගේ ජීවිත ඔදවත් තෙදවත් ජීවිත බවට පත් කරමිනි.

ජනශ්‍රැති විද්‍යාව යනු මනුෂ්‍ය වර්ගයාගේ ඇදහීම්, විශ්වාස, පූජා විධි, යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යා, ජන කතා, ජන කවි පාදක කර ගනිමින් ජනතාව විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ කාරණා සමුදායක් ලෙස දැක්වේ. මේ තුළ ජන කතා, ජන කවි, ජන ගී, ජන නාට්‍ය, ජන ක්‍රීඩා, ජන සංගීතය, ජන ඇදහිලි, ජන විශ්වාස, උපමා අලංකාර, උපහැරණ, ප්‍රස්තාව පිරුළු ආදී බොහෝ දේ අන්තර්ගතය. මේ දේවල් අතරින් ජන ක්‍රීඩාවට අතීතයේ පටන් සුවිශේෂී තැනැක් හිමිව තිබුණු බව පෙනේ. ඉංග්‍රීසි ජාතික ලේඛකයෙකු වූ විලියම් ජේම්ස් තෝමස් 1846 වසරේදී තමන්ගේ පර්යේෂණයන්ට
“ජනශ්‍රැතිය” නම් වූ වචනය හඳුන්වා දුන්නත්, මේ හා සබැඳී ඇති ජන ක්‍රීඩාවන්වල අතීතය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වා දිව යන්නක් බව සඳහන් වේ.

1873 වසරේ පළවුණු රාජකීය ආසියානු සංගම් නිල ප්‍රකාශනයට “ආසියානු කලාපයේ රටවල ජන ක්‍රීඩාව” සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකළ මහාචාර්ය ලුඩෝවයික් මහතා මෙසේ සටහනක් තබා තිබේ.

“ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩාව ආසියාකරයේ අනෙක් රටවල්වලට වඩා වෙනස්කම් රැසක් සහිත සුවිශේෂී පසුබිමක් යටතේ බිහිව තිබේ. එම ජන ක්‍රීඩා අනන්‍යතාව ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය. එම ජන ක්‍රීඩාවන් හරහා සිංහලයා සෙසු ජාතීන් හා ජන කොටස් සමග සමගියෙන් සහයෝගයෙන් එකට එක්ව ජීවත්වීමේ කලාව ලෝකයට හඳුන්වා දී තිබේ.”

අදින් වසර 146 කට පෙර මහාචාර්ය ලුඩෝවයික් මහතා පැවසූ එම ප්‍රකාශය අද දවසේත් අපට අපේ “ජන ක්‍රීඩා” සංකල්ප පිළිබඳ මහා ගැඹුරක් පෙන්වා දී ඇත.
විශ්ව නීතිය සහ සොබා දහමේ නීතිය මගින් ඔපවත් වූ සංකේතයක් බඳු සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙසින් පිළිගැනෙත්දී එහි අත්‍යාවශ්‍ය අංගයක් ලෙස “ජන ක්‍රීඩාව” දැක්විය හැකිව තිබේ. එහි අගය වැඩි කරන්නට අපේ පැරැන්නන් යොදා ගත්තේ සමගිය සහ මිත්‍රත්වයයි. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන් රටට දායාද කළේද මුඵ ගමම එකට එක්ව, හැම දෙනාගේම සහභාගීත්වය ඇතිව සිදුකළ ගමේ මහා බක්මහ උළෙලයි.

“ඉර බාරයි ඉරවට යන ගිරවුන්ට – හඳ බාරයි හඳවට යන හාවුන්ට
මල බාරයි මලවට යන බඹරුන්ට – අපි බාරයි හත් පත්තිනි දෙවියන්ට”

මේ ගැයුම ඈත අතීතයේදී නම් සෑම බක්මහ ක්‍රීඩාවක් ආරම්භයේදීම පාහේ සියලු දෙනා එකට එක්ව ගයන්නකි. මේ හරහා කරුණු කිහිපයක් ඉටුවේ. ඈත අතීතයේදී අවුරුදු ක්‍රීඩා බිහි වූයේ ක්‍රීඩාවට ලොල් වූ පත්තිනි දේව මෑණියන් ඇදහීම වෙනුවෙන් බව ඉතිහාස පොත්වල සඳහන් වේ. ඒ අනුව ක්‍රීඩාවට එක්වන සියලු දෙනා එකට එක්ව පත්තිනි දේව මැණියන් ඇදහීම මෙමඟින් සිදුකරනු ලබයි. එසේම දේව භක්තියෙන් ක්‍රීඩාවට පිවිසීම හරහා ජය පරාජය විඳ දරා ගන්නට මෙන්ම, ක්‍රීඩාවේ යුක්ති ගරුකත්වය ආරක්ෂා කරන බවට හෙතෙම තමන්ටම ප්‍රතිඥාදීමක්ද මෙමඟින් සිදු කර ගනියි.

ජන ක්‍රීඩාවන් පිළිබඳ මූලික වර්ගීකරණයේදී ජන ක්‍රීඩාවන් ප්‍රධාන වශයෙන් කොටස් 05 කට බෙදා දැක්විය හැකිය. අද වර්තමානයේ බොහෝ විට අප අතර දක්නට නැති එළිමහන් ක්‍රීඩා ඒ අතරින් විශේෂ වේ. තනි තනි පුද්ගලයන්, තරුණ තරුණියන් හා එකට එක්ව දරුවන්ද ඒකරාශී කර ගනිමින් සාමූහිකව සිදුකළ හැකි ක්‍රීඩාවන් ලෙස ප්‍රචලිත මෙම එළිමහන් ක්‍රීඩා හරහා කරුණු ගණනාවක් ඉටුකර ගැනීමට අතීතයේ මුතුන් මිත්තන් උනන්දු වූ බවක් පෙනේ. අතුරු මිතුරු, වළකජු ගැසීම, ඔට්ටු තැබීම, ඉරටු හැංගීම, ඔංචිලි පැදීම, කංකං බූරු, ගිනි හැංගීම, කොටු පැනීම, කැරපොත්තන් ඇල්ලීම, හැංගි මුත්තන් කෙළිය, අත්තාපල් මුත්තාපල්, කැට ගැසීම, ජල්ලි පැනීම, පනා හැංඟීම, රාහු ගිලීම, දිය ගොඩ මඩ, අල්ලි පැනීම, ඇට පැනීම, කොපර කොපර පිපිඤ්ඤා, මෝල්ගහේ දලු කැඩීම, ගස් කට්ටි පැනීම, රට ඇල්ලීම, භූ කෙළිය, ලුණු ඇදීම, කොළ පන්දු ගැහිල්ල, ජොරා පැනිල්ල, කණා ඇල්ලීම ආදී ක්‍රීඩාවන් හරහා ක්ෂණික විනෝදය ලබා ගැනීමට අමතරව සමාජය තුළ යම් මතයක් ඇති කරන්නටත්, එම මතය වර්ධනය කර අනාගත පරපුරට දායාද කරන්නටත් ආදී මුතුන් මිත්තන් ගෙන ඇත්තේ පුදුමාකාර වෙහෙසකි.

ඈත අතීතයේදී ජන ක්‍රීඩාවන් සඳහා රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සහයෝගය ඉහළින්ම ලැබී තිබුණු බවද ඉතිහාස පොත්වල සටහන්ව තිබේ. එය පැහැදිලිව දැක්වෙන අවස්ථාවක් ලෙසින් මහා රණකාමී සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය දක්වාලිය හැක. තමන්ගේ අතිශය විශ්වාසවන්ත සේවකයන් තෝරාගෙන ඔවුන්ට ජන ක්‍රීඩාවන් රැක ගැනීම සඳහා පදවි තානාන්තර ලබා දුන් බවටද, ඒ සඳහා ඔවුන්ට නිරන්තර භවබෝග ලබා දුන් බවටද ඉතිහාසයේ සාක්ෂි සටහන්ව තිබේ. රාජසිංහ රජ සමය තුළ අංගම්පොර, ඇත්පොර, ගොංපොර, කුකුල්පොර, උකුසු කෙළිය, දුනු ශිල්පය, හස්ති ශිල්පය, අසු හරඹ, කඩු හරඹ, සහ මල්ලව පොර ආදී ක්‍රීඩාවන් බෙහෙවින් ප්‍රචලිතව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති බවද ඉතිහාසයේ සදහන් වේ.

ඊට අමතරව ඌරා ළිඳේ අංගම්කෙටීම, ඇත්පොර, බැටළු පොර, එළු පොර, නයි මුගටි පොර, මී ගොන් පොර සහ තිරික්කල රේස් තරග සතුන් මුල් කරගත් ක්‍රීඩා හා ත්‍රාසජනක ජන ක්‍රීඩා අතරට එක්වන තරග සමහරක් ලෙසින්ද දක්වා ලිය හැකිය.
ජන ක්‍රීඩාවන් රැක ගැනීම සහ තව තවත් උනන්දු කරවීම වෙනුවෙන් තරග පවත්වා භවභෝග තාන්න මාන්න, ගම්වර පවා ප්‍රදානය කළ රජ දරුවන් එදවස සිටීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

අතීතයේදී මෙම ක්‍රීඩාවන් සමාජමය පණිවිඩයන් හුවමාරු කර ගැනීමේ වක්‍රාකාර ක්‍රමවේදයක් ලෙස භාවිතයට ගැනීම විශේෂත්වයකි. අවුරුදු 14 ට අඩු දරුවන්ට අපල ගෙනදෙන විපත්තිදායක ග්‍රහයෙක් ලෙස පිළිගැනෙන රාහු ග්‍රහයා දරුවන්ගේ මිත්‍රයෙක් ලෙස දරුවන්ගේ මනසට ඇතුල් කිරීම සඳහා යොදාගත් “රාහු ගිලීමේ” ක්‍රීඩාව, හේන, කුඹුර, වැව සමඟ ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන් “දිය ගොඩ මඩ” ක්‍රීඩාව, බ්‍රිතාන්‍ය පාලකයන් අපේ රට අල්ලා ගැනීමට විරෝධය පෑම සඳහා උපහැරණයට යොදාගත් “අල්ලි පැනීමේ” ක්‍රීඩාව, දරුවන්ට ආදරේ කරන ගණ දෙවියන් ඇදහීම සඳහා වූ “පුල්ලෙයාර් ගැහීම”, පර සතුරු ආක්‍රමණයන්ගෙන් දරුවන් මුදා ගන්නට, ජීවිත ආරක්ෂා කරගන්නට උපක්‍රම ලෙස භාවිත කළ “අත්තාපල්-මුත්තාපල්” ක්‍රීඩාව, බ්‍රිතාන්‍ය පාලකයන් එල්ල කළ පීඩාවට පිළිතුරු ලෙස ඔවුන් උපහාසයට ලක් කරමින් කළ ‘කංකං බූරු” ක්‍රීඩාව, අපේ රට යටත් කරගත් ජෝර්ජ් රජ්ජුරුවන් සමච්චලයට ලක් කිරීම සඳහා යොදාගත් “ජොරා පැනිල්ල” ආදී ක්‍රීඩාවන් හරහා සමාජය තුළ කතාබහට ලක් කළ යුතු ඇතැම් මාතෘකාවන් වෙනස්ම ආකාරයකට ජනතාවගේ සිත් තුළ කාවද්දා ඇති බව පෙනේ.

ආගමික සිරිත් විරිත් ගැබ්ව ඇති ජන ක්‍රීඩාවන්ටද බක් මාසයේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. යාතුකර්ම ලක්ෂණ ගැබ්ව ඇති මෙම ක්‍රීඩාවන් හරහා වසංගත රෝගවලින් මිදීමේ ඇදහිලි සිදුකිරීම, භවබෝග සම්පත් රැකදෙන ලෙස දෙවියන්ගෙන් පිහිට ඉල්ලීම ආදිය සිදුකර තිබේ. දේව භක්තියෙන් ක්‍රීඩාවට පිවිස, ජය පරාජය සමව විඳ දරා ගන්නට හුරුවීමත්, ක්‍රීඩාවේ යුක්ති ගරුකත්වය ආරක්ෂා කිරීමත් මත දෙවියන් ඇදහීමට ජන ක්‍රීඩා උපයෝගී කර ගත් බව පෙනේ. අංකෙළිය, පොරපොල් කෙළිය ආදී ආගමික ක්‍රීඩාවන් හරහා තමන්ගේ සිත්වල පවතින බිය තුනී කර සශ්‍රිකත්වය ප්‍රාර්ථනා කිරීමත් එහි අවසානයේ ගම්මඩුවක් පවත්වා සියල්ල නිමා කිරීමත් අතීතයේදී සිදුකර තිබේ.

ජාති – ආගම් – ස්ත්‍රී – පුරුෂ වයස් බේදයකින් තොරව ගමේ සියලු දෙනා එක්ව අතීතයේදී සූදානම් කළ ජන ක්‍රීඩාවන් සිය ගණනක් අතරින් වර්තමානය දක්වා පැවත එන්නේ ක්‍රීඩාවන් කිහිපයක් වුවත් එදා නිර්මාණය වූ එවැනි ජන ක්‍රීඩාවන් පිළිබඳව සටහන් කිරීම අපේ යුතුකමකි.

එළිමහන් කෙළි සෙල්ලම් ලෙස පෙන්වා දෙන අතුරු මිතුරු, වළකජු ගැසීම, ඔට්ටු තැබීම, ඉරටු හැංගීම, මට්ටකෙළිය, කොපර කොපර පිපිඤ්ඤා, චක්ගුඩු පැනීම, පාටක් සෙවීම, කොඩිගස් පැනීම, රියන් ගැසීම, එළුවන් කෑම, බැටළුවෝ පැනීම,කණාපොල්ලෙන් ගැසීම, අඹ ඇට පැනීම, රාහුබැලීම, ලූණු ඇදීම, දියමුතු ඇල්ලීම, ඉනිවැට පෙරලීම, වළ පංදු ක්‍රීඩාව, ගිනි හැංගීම, කොට්ටාපොර, සඳ ඇල්ලීම, එල්ලේ ගැසීම, පිල්ලන් පෙත්ත, ලී කෙළිය, කහට කෙටියන් ඇල්ලීම, ගස් සතරේ ක්‍රීඩාව, ලිස්සනගහ නැඟීම, කණා ඇල්ලීම, දිය කෝකිලයන් සෙවීම, සෙක්කු පැදීම, පුල්ලෙයාර් ගැසීම, තාච්චි පැනීම, මේවර කෙළිය, කාසි පියුන්, අත්තාපල් මුත්තාපල්, ජොරා පැනීම, ඔළිඳ කෙළිය,ටින් කැඩීම, පනා හැංගීම, කඹ ඇදීම, දියගොඩ පැනීම, අලියාට ඇස තැබීම, උකුණු ගසේ යෑම, ඉඩොක් ගැසීම, වියත් මැනීම, කැට ගැසීම සහ අල්ලි පැනීම ඉන් කිහිපයකි. අත්හැංගීම, පොල් කැඩීම, ගල් කෙටීම, පොල් කූරු කෙළිය, නෙරංචි ඇදීම, චතුරංග කෙළිය, පැටිකිච්චන් කෙළිය, මදිංචි ගැසීම, පස් මුළු ගැසීම, මගුල් පරක්කුව, දොළහ කෙළිය, යොන් මැරිල්ල, සත්දිවියන් කෙළිය, සීත කෙළිය, සෙන්තාරු කෙළිය, ඔලිඳ කෙළිය, ආදී ක්‍රීඩාවන් ගෘහස්ථ ක්‍රීඩාවන් ලෙස පැවතුණු ජන ක්‍රීඩා රාශියෙන් කොටසකි.

අද කාලයේ අවුරුදු ජන ක්‍රීඩා තරගවල ජයග්‍රාහකයන්ට මුදලින් තෑගි බෝග පිරි නැමුනද අතීතයේදී නම් තරගවල ජයග්‍රහණය වෙනුවෙන් සමගිය – මිත්‍රත්වය සහ සහයෝගය තිළිණ වශයෙන් බෙදා දී තිබීම තවත් විශේෂත්වයකි. එදා ඈත අතීතයේදී ගමේ දෙපිරිසක් අතර ඇතිවන ජන ක්‍රීඩාවක් එක් පිලකට ජය ගෙන දෙමින් නිමාවුණු විට සිද්ධ වෙන්නේ ජයග්‍රහණය කළ පිරිස පරාජය වූවන්ට ඇනුම් පද කියමින්, ඔවුන් හාස්‍යයට ලක් කරමින් ගම පුරා රවුම් ගැසීමය. ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් ලබනුයේ එසේ ප්‍රතිවාදීන්ට කොලොප්පන් කරමින් ගම පුරා ඇවිදීමට ලැබුණු වරමයි. අවාසනාවකට අද එවැනි දෙයක් සිදුකළ හැකිද.ර එවැන්නක් දක්නට ලැබේවිද.එවැනි දේකට උත්සාහ කළොත් එහි අවසන් ප්‍රතිඵලය කුමක් විය හැකිද . මේවා බුද්ධියෙන් සිතා බැලිය යුතු වන්නේ අතීත ශ්‍රී විභූතිය හා මුසුවුණු ගමේකම, සුන්දරත්වය, සහජීවනය කවදා හෝ නැවත අපේ රට තුළ ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක් නිසාවෙනි.

එදා සහ අද අතර වෙනස වන්නේ බක්මහ උළෙලේ මූලික අරමුණු හා අභිප්‍රායන් එකිනෙකට පරස්පර වීමය. අතීතයේදී බක්මහ උළෙලක් සංවිධානය කර ජනක්‍රීඩා උළෙලක් පවත්වා බලාපොරොත්තු වුණු ගමට සාමය හා සෞභාග්‍යය උදා කර ගැනීම, මිත්‍රත්වය වැඩි දියුණු කර ගැනීම, තරුණ තරුණියන්ගේ ශක්තිවන්ත බව, පෞරුෂය ඉහළ නංවාලීම ආදිය අද දවසේදී එකම එක වචනයකින් කිව හැකි අරමුණක් බවට පරිවර්තනය වී තිබේ. ඒ එකම එක වචනය “විනෝදාස්වාදයයි.” හුදු විනෝදාස්වාදය මෙන්ම ලබා දෙන තෑගි බෝග වෙනුවෙන් බක්මහ උළෙලේ තරග සඳහා එක්වන පිරිස බොහෝ වෙති.

ඈත අතීතයේ පටන් ජන ක්‍රීඩාවන් වැඩි වශයෙන් කළ එළි බසින්නේ අද මෙන්ම බක්මහ අසිරියත් සමගිනි. මහපොළව හා නිරන්තර පොර බැදූ අපේ මුතුන් මිත්තන් භාග්‍යවත් මාසය හෙවත් බක් මාසයේ ගොවිතැනින් ලද විරාමය මේ සඳහා උපයෝගී කරගත්හ. තමන් ලැබූ එම නිදහස් කාලයේ වෙහෙස නිවා ගන්නට මෙන්ම, බුද්ධිය වැඩිදියුණු කර ගන්නටද ඔවුන් යොදා ගත්තේ “ජන ක්‍රීඩාවයි.” නමුත් මේ සියල්ල අද වර්තමානයේ අප පෙර කී විනෝදාස්වාදයට මුල්තැන ලැබුණු බක්මහ උළෙලක සිතිවිලි අතර වචන හරඹයක් බවට පමණක් පත්ව තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. වත්මන් සමාජයෙන් හා වත්මන් පරපුරෙන් ගිලිහී යමින් පවතින “හෙළ ජන ක්‍රීඩා” නැවත කරළියට රැගෙන ඒමත්, ඒවා අනාගත පරපුරට දායද කිරීමත් අද දවසේ අත්‍යාවශ්‍ය යුතුකම ලෙස දැක්වුවද වරදක් නොවේ.

නුවන් උදාර කරුණාරත්න.