කතුවැකි

‘‘අපි ආයෙ එනවා. ඇවිත් කෙළවනවා’’

කොවිඩ් 19 වසංගත උණ සෑදී දැඩි සත්කාර ඒකකයේ ඉන්නා රෝගියකු දුටු විකාර සිහින කිහිපයක් බඳු සිදුවීම් දාමයක් පසුගිය දිනවල දේශපාලන ලෝකයේ සිදුවිය. මේ සිහිනවල කෙළවර භයානකය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොරෝනා වසංගතය පැතිරීම නිසා වසා දැමුණු අටුළුගම නගරයට කොස් ලොරියක් ගෙන ගියේය. ආරක්ෂක භටයන් තෙවරක් තෙවරප්පෙරුම නතර කළෝය.

ඔහු අටුළුගමට ඇතුළු වන තැනේ බිම හිඳගෙන තමන්ට වූ දේ ගැන බලවතුන්ට ගතු කීවේය. පාලිත තෙවරප්පෙරුම එසේ කළේ සියලු රූපවාහිනී චැනලවල කැමරා ඉදිරියේය. එය ගරු රඟපෑමකි. මේ මොහොතේ නාමයෝජනා භාර දුන් කිසිවෙක් බඩු බෙදීම, ආධාර දීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති නිවේදනය කර අවවාද කර තිබුණත් තෙවරප්පෙරුමට ඒ අවවාදය කෙරුණ බවක් වාර්තා නොවෙයි. ඔහු හුරේ හඬ මැද ඇඳිරි නීති බිඳගෙන බඩු බෙදයි.

මැතිවරණ කොමිසමේ වගකීම නිසි කලට වේලාවට අපක්ෂපාතීව, සාධාරණව මැතිවරණ පැවැත්වීමය. මැතිවරණ කොමසාරිස් කෙනකු වෙනුවට මැතිවරණ කොමිසමක් බල ගන්වනු ලැබුවේ ඡන්ද අයිතිය සුරකිමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ස්ථාපිත කිරීමටය. එහෙත් ඒ කොමිසමේ සාමාජිකයකු වන ආචාර්ය රත්නජීවන් හූල් දැන් වාර දෙකකදී ඡන්දය පැවැත්වීමට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

2018 ඔක්තෝබරයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීන්දු කළ මොහොතේ රත්නජීවන් හූල් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එයින් මැතිවරණ කොමිසමේ පවිත්‍රතාව ගැන ලොවට වැටහුණේය. එසේ තිබියදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට නාමයෝජනා කැඳවා තිබියදීත් තමන් මැතිවරණය පැවැත්වීමට දින නියම කරනවාට එරෙහි බව රත්නජීවන් හූල් මාධ්‍යට ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ තිදෙනෙකි. තිදෙනා එකතුව තීන්දුවක් ගැනීමට පෙරාතුවම තම මතය ස්වාධීන කොමිසමක සාමාජිකයකු ප්‍රකාශ කළ පළමු වතාව මෙය ය. ඡන්දයක් ප්‍රකාශ කර තිබියදී කෙසෙල් ඇවරියක් බෙදුවත් වරදක් ලෙස ප්‍රකාශ කරන රටක රාජන් හූල්ගේ මේ ප්‍රකාශය ගැන කොමිසම නිහඬය.

ඇඳිරි නීතියද, නිරෝධායන නීතියද කඩ කරමින් රන්ජන් රාමනායක තම සම්බාහනකරුවා මන්ත්‍රී නිල නිවසට කැඳවා ගත්තේය. ඒ ගෙන්වා ගත් සම්බාහනකරුවා ඇඳිරි නීති බලපත්‍රය සේ සලකා ඇත්තේ රන්ජන්ගේ සම්බාහනය ය. පොලිසියෙන් ඔහු නවතා ඇඳිරි නීති බලපත්‍ර ගැන ප්‍රශ්න කළ විට සම්බාහනකරුවා රන්ජන් රාමනායක එතැනට කැඳවා ගත්තේය. පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ වරදට රන්ජන් රාමනායක රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. එහෙත් දින කිහිපයකදී රන්ජන්ට ඇප ලැබිණි. රන්ජන්ට ඇප ගැනීමට තර්ක කළ පාර්ශ්වයත් ඇඳිරි නීතිය නීති විරෝධී යයි තර්ක කළහ.

අත්අඩංගුවට ගැනීමට පෙර මන්ත්‍රී නිල නිවස ඉදිරියේ රන්ජන් මෙසේ කීවේය.

‘‘අඩෝ දැනගනිල්ලා, අපි ආයෙ එනවා. ඇවිත් කෙළවනවා.’’

මේ සිදුවීම් උණ විකාරයන්ට පෙනෙන සිහින බඳුය. භයානකකම ඇත්තේ ඒ සිහින විචාරය කර බැලුවොතිනි.