ක්‍රීඩා

අපිට පොඩි සවියක් දෙන්න ලොකු බරක් උස්සන්නම්

එදා ආසියාවේ ජයකෙහෙළි නැංවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව අද ජාත්‍යන්තරය ඉදිරියේ නට්ටංය. මෙරට ක්‍රිකට් පිටියේද සද්දේ තරමට පසුගිය සමයේ වැඩ දකින්නට නොලැබුණි. ඉදිරියටත් එසේ නොවෙතැයි කියා සිතීමට නොහැකි තරමට ක්‍රිකට් පිටියෙන් ජයග්‍රහණය ඈත් වී තිබේ. එනිසා ක්‍රිකට් ක්‍රිඩාවට උරුම වී ඇත්තේද මලල ක්‍රීඩාවට අත්ව තිබෙන සන්තෑසියමය.

ඒ ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලංකා ධජය ඉහළින් ඔසවා තැබූ රටේ ප්‍රධාන පෙළේ ක්‍රීඩාවන් දෙකකට අත්ව තිබෙන ඉරණමකි. එක අතකට එය මෙරට මුළු මහත් ක්‍රීඩාවේම අහේනියක් වැන්න.

ජයග්‍රහණයන් ලබා ගැනීම පිණිස මෙකී ප්‍රධාන පෙළේ ක්‍රීඩාවන් මත්තේම තවදුරටත් ඇලී ගැලී හිඳිනවාද? එහෙමත් නැතිනම් ජාත්‍යන්තරයේ කීර්තියක් අත්කරගත හැකි යැයි කල් තියා නිගමනය කළ හැකි වෙනත් විකල්ප ක්‍රීඩාවන් තෝරාගෙන ඒ ඔස්සේ ඉදිරියට යෑමට සැලසුම් සකස් කරනවාද? යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලයක් මේ වනවිට එළැඹ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ධජය පෙරටුකොට ගෙන ජාත්‍යන්තරයට ගොස් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන්නත්, නිසි ඇගයිමක් නොලැබුණු අනාගත තරු ලකුණු දිස්වෙන එවැනි ක්‍රීඩාවක් වෙනුවෙන් අපි අවධානය යොමු කළෙමු.

මේ සටහන තබනුයේ සවි එසවීමේ ක්‍රීඩාව ගැනයි. සවි එසවීම යනු බර ඉසිලීමේ ක්‍රීඩාවන් මූලික කර ගනිමින් නිර්මාණය වී තිබෙන ප්‍රධාන ක්‍රීඩා කුලකයේ එක් උප කුලකයක් යැයි කීවහොත් එය දෝෂ රහිතය.

සාමාන්‍ය බර ඉසිලීමේ ක්‍රීඩාව හා ගත්කල සවි එසවීමේ ක්‍රීඩාව අංග කිහිපයකින් වෙනස් වෙයි. බර ඉසිලීමේදී ‘ක්ලින් ඇන්ඩ් ජර්ක්’ සහ ‘ස්නැච්’ යනුවෙන් ආකාර දෙකක් යටතේ එසවීම් සිදු වෙයි. එම දෙයාකාරයෙන් යම් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔසවන මුළු බරෙහි එකතුව අනුව ජයග්‍රාහකයා තේරීම සාමාන්‍යයෙන් සිදුවෙයි.

නමුත් සවි එසවීමේදී එසවීම් සිදුවනුයේ ආකාර තුනක් යටතේය. ඉන් එකක් වනුයේ ‘ස්කොට්’ ය. එම එසවීම් මගින් සිදුකෙරෙනුයේ ශරීරයේ ඉණෙන් පහළ කොටසේ ශක්තිය නිර්ණය කිරීමයි. ‘බෙන්ච් ප්‍රෙස්’ යනු පපුව ප්‍රදේශය සහ අත් දෙකෙහි ශක්තිය බැලීම උදෙසා මෙහිදී සිදුවෙන එසවීමේ ක්‍රමයයි. තෙවනුවට ‘ඩෙඩ් ලිෆ්ට්’ එසවීමෙන් කරනු ලබන්නේ මුළු ශරීරයේම ශක්තිය උරගා බැලීම පිණිසයි. මෙම ආකාර තුනෙන්ම ඔසවන බරෙහි මුළු බර මගින් ජයග්‍රාහකයා තේරීම සිදුවෙයි.

කායවර්ධන මධ්‍යස්ථානයකට ගොඩවෙන ඕනෑම අයෙකුට මෙම ව්‍යායාමයන්ගේ නිරත වීමට සාමාන්‍යයෙන් අවස්ථාවක් ලැබුණත්, මෙය ව්‍යායාමයකට එහා ගිය ඔසවන බරට මූලිකත්වයක් දී සිදුකෙරෙන කාර්යයක් බැවින් එය තරමක් සංකීරණ තත්ත්වක් කරා පැමිණ තිබෙයි.

මේ අයුරින් සිය දක්ෂතා උරගා බැලීමට මීට සති කිහිපයකට ඉහතදී ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් සහ ක්‍රීඩකයින් හත් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පියාසර කළේ ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් නුවර පැවැති ආසියානු පැසිපික් කලාපීය සවි එසවීමේ ශූරතාව සඳහායි. සාර්ථක සංචාරයක් අවසන් කළ ඔවුන් යළිත් ලංකාව බලා පැමිණියේ රන් පදක්කම් 9 ක් රිදී පදක්කම් දෙකක් සමගින් සිය පදක්කම් මල්ල තරකර ගනිමිනි.

එම 18 න් පහළ බාලක තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීම, වයස අවුරුදු 23 න් පහළ බාලක තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීම සහ කාන්තා අංශයෙන් රන් පදක්කම් දෙකක්, රීදී පදක්කමක් දිනාගැනීම සේම විවෘත පිරිමි අංශයෙන් දිනූ රන් පදක්කම් තුන ඊට ඇතුළත් විය. තරගාවලිය සඳහා සහභාගි වූ සියලු දෙනාම එහිදී පදක්කම්ලාභීන් බවට පත්වීමෙන් මේ වසරේ ජුනි 7 වැනිදා ස්විඩනයේදී ආරම්භ කෙරෙන ලෝක සවි එසවීමේ ශූරතාවලිය සඳහා සුදුස්සෝ බවට පත් වූහ.

නිශ්චිත පුහුණුවීමේ ස්ථානයක් හෝ නොමැතිව ශ්‍රී ලංකා සවි ඔසවන්නෝ ලෝක තරගාවලියට සුදුසුකම් ලබමින් ඔස්ට්‍රේලියාවේදී විදහා පෑ දස්කම් අති මහත්ය. කනිෂ්ඨ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් හැරුණු කොට මෙහි එන ක්‍රීඩකයින් බහුතරයකට සමාන්‍ය කායවර්ධන මධ්‍යස්ථානයක පුහුණුවීම් කිරීමේ හැකියාවක් නොවෙයි. එයට හේතු වනුයේ මොවුන් ඔසවන වැඩි බර ප්‍රමාණයට සරිලන සවි එසවීමේ ක්‍රීඩාවටම උචිත ආම්පන්න බොහෝමයක් කායවර්ධන මධ්‍යස්ථානයන්හි නොමැති වීමයි. එබැවින් අධිබර කාණ්ඩයන්හි ක්‍රීඩා කරන පිරිමි ක්‍රීඩකයින් කොහුවල පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට වාර්ෂික මුදලකට යටත්ව යොමු වී තිබෙන්නේ ක්‍රීඩාවට සරිලන ආම්පන්න සියල්ල අඩුවක් නැතිව එතැන තිබෙන බැවිනි. එසේ ස්වොත්සාහයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමේ අරමුණ පෙරදැරි කරගෙන මේ කරන මෙහෙයුමේදී ඔවුන් වෙනුවෙන් දිරි දීමට සිටින සවි එසවීමේ සංගමය පැත්තෙන් ඉටුවිය යුතු යුතුකම් සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සිටිනුයේ එතරම් ප්‍රසාදයකින් නම් නොවේ.

සවි එසවීමේ සංගමයේ නිලධාරියෙක් සහභාගි නොවන විදෙස් තරගාවලි වෙත සිය ක්‍රීඩකයින් සහභාගි කරවීමේදී හා ඊට අදාළ ප්‍රතිපාදන සපයා දීමේදී යම් මැලිකමක් දක්වන බැව් ක්‍රීඩකයින්ගෙන් ඔවුන්ට එල්ලවෙන එක් චෝදනාවකි. කොටින්ම විදෙස් සංචාරයකදී පිටත්වීම දක්වා වූ ලියකියවිලි කටයුතු සංගමයේ පාර්ශ්වයන් අතින් සිදුවිය යුතු වුවත්, මෙකී සංගමයෙන් විසා අයැදුම් කිරීමට උචිත අයුරේ ලිපියක් ලබා ගැනීමද ඉතාමත් අපහසු කාර්යයක් වී තිබීම එහි එන තවත් චෝදනාවකි. පදක්කම් දිනාගත හැකි මෙවැනි ක්‍රීඩාවක් වෙත ඒ සඳහා වග කියන රටේ ප්‍රධාන සංගමයෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් ක්‍රීඩාවට ලැදි පිරිස් ඇතුළු ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කොතෙකුත් දැනුවත් කළද ඒවාට නිසි පිළියම් තවමත් ලැබී නොමැත. එහෙමත් නැතිනම් පිළියමක් ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ පුටුව තවකෙකුට මාරු වීය.

ලංකාවේ දැනට සිටින විශිෂ්ටතම සවි ඔසවන්නා වනුයේ රන්සිලු ජයතිලකය. හේ මීට පෙර කිලෝ ග්‍රැම් 120 බර පන්තිය යටතේ ක්‍රීඩා කරමින් කප් ගැසූ තරුණයෙකි. 2017 වසරේ ඉන්දියාවේ පැවැති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ බර ඉසිලීමේ ආකාර තුනෙන්ම මුළු එකතුව ලෙස කිලෝ ග්‍රෑම් 732 ක් වූ ඔහුගේ එසවීම සටහන් වූයේ ආසියානු වාර්තාවක් ලෙසිනි. එවෙලෙහි වූ ‘ඩෙඩ් ලිෆ්ට්’ අවස්ථාවේදී කිලෝග්‍රැම් 317 ක් ඔසවා තිබීමද ආසියාවේ අංක එකට පැමිණියේ රන්සිලුගේ නාමය ඉදිරියේ තවත් ආසියානු වාර්තාවක් සනිටහන් කරමිනි.

ඉන් පසු වසරක් ගතවන්නටත් මත්තෙන් 2018 වසරේ කැනඩාවේ පැවැති ලෝක සවි එසවීමේ ශූරතාවට සහභාගී වූ රන්සිලුට ‘ඩෙඩ් ලිෆ්ට්’ එසවීමේදී කිලෝ ග්‍රෑම් 318 ක් ඔසවමින් එම ආසියානු වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට වරම් ලැබිණ. එම තරගාවලියේදී මුළු බර කිලෝ 737.5 ක් එසවූ ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

නමුත් රන්සිලු මේ වනවිට නව අත්හදා බැලීමක් සිදුකරමින් සිටියි. එනම් තමන්ට සුපුරුදු කිලෝ ග්‍රෑම් 120 බර පන්තියේ තරග වදිනවා වෙනුවට කිලෝ ග්‍රෑම් 105 බර කාණ්ඩයේ තරග වැදීමටයි. එය තරමක අභියෝගයක් වුවද, හේ ඒ සඳහා මේ දිනවල සැලසුම් සකස් කොට හොඳ සූදානමකින් පසුවෙයි. ලංකාවේ සවි එසවීමේ ක්‍රීඩාව ගමන් කරන දිසාව පිළිබඳව අපි රන්සිලුගෙන් විමසුවෙමු. ‘සවි එසවීම කියන්නේ ලංකාව වගේ රටකට පදක්කම්වලට යන්න පුළුවන් ක්‍රීඩාවක්. දැනට ලංකාවේ මේ ක්‍රීඩාව කොළඹට සහ මහනුවරට පමණක් සීමා වෙලා තියෙනවා. එහෙම නොවී මෙය ග්‍රාමීය මට්ටම දක්වා අරන් යන්න පුළුවන්නම් දක්ෂතා සහිත තරුණ තරුණියන් තව ඉස්සරහට ගන්න පුළුවන්. ඒක මේ ක්‍රීඩාවට වගේම රටේ ක්‍රීඩාවේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් හොඳ ආයෝජනයක් වෙයි. දැන් දැන් මේ ක්‍රීඩාවට යොමුවෙන අපේ ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාවත් වැඩිවෙලා තියෙනවා. ඒක ක්‍රීඩාව පැත්තෙන් හොඳ ප්‍රවණතාවක්.

ලබන ජුනි මාසේ පැවැත්වෙන ලෝක සවි එසවීමේ ශූරතාවලියට අපේ රටෙන් 11 දෙනෙක් සුදුසුකම් ලබලා තියෙනවා. තරගාවලිය තියෙන්නේ ස්විඩනයේ. ටිකක් වියදම් අධික ගමනක්. මේ දවස්වල සියලු දෙනාම තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය මුදල් හොයමින් ඉන්නේ. ප්‍රතිපාදන ලැබුණොත් තමයි ඒකට යන්න වෙන්නේ. ගියපාර ඔස්ට්‍රේලියා සංචාරයට සහභාගි වෙද්දි හරීන් ඇමැතිතුමාගෙන් ලොකු සහයක් අපි හැමෝටම ලැබුණා. අපි 11 දෙනාම උත්සහ කරනවා ලෝක තරගාවලියට සහභාගි වෙලා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන්න.’

ක්‍රිකට්, පාපන්දු, රග්බි වැනි ක්‍රීඩාවන්ගේ මෙන් ජාත්‍යන්තර මව් සංගමයන්ගෙන් මෙම ක්‍රීඩාවන්ට බරපැන ලැබෙන්නේ නැතිය. ලැබුණත් එහෙමත් වෙලාවකදීය. මේ ක්‍රීඩකයින් විදෙස් තරගයකට සහභාගි වූවානම් සිය පෞද්ගලික වියදමෙන් කොටහක් හෝ නොදැරූ අවස්ථාවක් ‌නොමැති තරම්ය. එබැවින් ජාත්‍යන්තරයේ පදක්කම් අහේනිය ගැන කතාකරමින් ක්‍රීඩාවන් එකකට දෙකකට කොටුවනවාට වඩා මෙවැනි ජයග්‍රහණ අත්කරගත හැකි ක්‍රීඩාවන් තෝරාගෙන ඒවා කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය උදාවී තිබේ. එනිසා මේ එළැඹ ඇත්තේ සවි එසවීමට සවියක් අවැසි කාලයයි.

ගයාශාන් විතානආරච්චි