විශේෂාංග

’අපට එපා’ කියමින් අපට ආධාරදීම

කිසියම් රටකට විපතක් සිදුවූ විට වෙනත් රටවල් ඉදිරිපත් වී උපකාර කිරීමේ සිරිතක් ලොව පැවතිණි. සංවර්ධිත හා ඌන සංවර්ධිත වශයෙන් කොටස් දෙකට බෙදී තිබුණ රටවල් අතුරින් විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවලට මෙවැනි හදිසි විපත් ආධාර ඉතා වැදගත් විය. නිදහස ලැබුණ කාලයේ පටන් ශ‍්‍රී ලංකාව විපතේදී පමණක් නොව විපත් නැති කාලවලදීත් ආධාර ලැබූ හා පැතු රටකි. ලංකාවේ ප‍්‍රතිපත්තියේ් කිසිම වෙනසක් සිදුවී නැත. නමුත් ඇතැම් රටවල් හදිසි ආධාර ලබාගැනීමේ ප‍්‍රතිපත්තිය වෙනස්කර තිබේ. ඊට එක හේතුවක් සංවර්ධනය වෙමින් පැවති ඒ රටවල් දැන් සංවර්ධනය ව ූරටවල් බවට පත් වී තිබීම විය යුතුයි. චීනය නිදසුනකට ගතහොත් එය සංවර්ධනය වෙමින් පැවති රටකි. දැන් ඇමරිකාවට සමාන සංවර්ධිත රටකි. ගංවතුර උවදුරකදී චීනයට කාගේවත් ආධාර වුවමනා නොවේ.
ඉන්දියාවේ කතාව මීට තරමත් වෙනස් එකකි. එය චීනයට ආසන්න දියුණුවක් ලබා ඇති රටක් නමුදු රෝහලකට යන්නට නොහැකිව මහ මග මියයන මිනිස්සු ඉන්දියාවේ වෙසෙති. බොම්බාය කල්කටාව වැනි මහ නගරවල පමණක් නොව කුඩා නගරවලද නිවාස නැතිව තහඩු කෑලි හෝ තල් කොළ යට ජීවත් වන පවුල් ලක්ෂ ගණනකි. ඉන්දියාව ලංකාවට ගිලන් රථ සේවයක් ලබා දුන්නාය. උතුරු පළාතේ නිවාස යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කරමින් ගෙවල් තනා දෙයි. මේ සියලූ ආධාර ලැබෙන්නේ යුද්ධය ගැන සැලකිලිමත් වෙමිනි.
මේ මාසයේ මුල ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ ඇති වූ ජල ගැල්ම හා සමාන දරුණු ජල ගැල්මක් අවුරුදු සියයකින්වත් එහි ඇති නොවූ බව කියවේ. මේ නිසා කේරළ වැසියන්ට හා පොදු දේපළවලට සිදුවූ හානි බොහෝය. එක්සත් අරාබි එමිරේට්, කටාර්, මාලදිවයින් යන රටවල් ඉන්දියාවට ආධාර කිරීමට ඉදිරිපත් විය. එමිරේට් රාජධානිය පමණක් ඉන්දියාවට රුපියල් මිලියන හත්සියයක් දීමට කැමත්ත ප‍්‍රකාශ කළාය. ඉන්දියානු මධ්‍යම රජය ඉතා සුහද ස්වරයෙන් ’ස්තුතියි’අපට ආධාර අවශ්‍ය නැතැයි ඒ ආධාර ප‍්‍රතික්ෂේප කළාය. කේරළයේ දේශපාලනඥයින්, දේවගැතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු මහ පිරිසක් ආධාර ගැනීමටනොහැකිව කුපිත වී සිටිති.
ස්වභාවික විපත් පැමිණි හැම විටකම ඉන්දියාව විදේශ ආධාර භාරගත් රටක් බව ඉහත ස`දහන් කෙරිණි. එහෙත් ඉන්දියාව 2004 වසරේ සුනාමිය අවස්ථාවේ පරණ ප‍්‍රතිපත්තිය වෙනස්කර විදේශ ආධාර ප‍්‍රතික්ෂේප කළාය. කේරළයට ගංවතුර ගැලූවිට ලැබුණු ආධාර එපා කීම එම ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන යාමකි. මේ නිසා ලංකාව වැනි රටකට විපත් ආධාර සපයන ඉන්දියාව, තමන්ට ලැබෙන ආධාර එපා කියන්නේ මන්ද යන්න ප‍්‍රශ්නයක් මතුවේ. 2017 වසරේ ඉරානයේ භු චලනය අවස්ථාවේ ඊශ‍්‍රායලය ආධාර දීමට ඉදිරිපත් වූ විට ප‍්‍රතික්ෂේප කීරීම තේරුම් ගැනීමට පුළුවන. ඉරානය හා ඊශ‍්‍රායලය මිතුරන් සේ කටයුතු නොකරයි. ඉන්දියාවට ආධාර කරන්නට ඉදිරිපත් වූ හැම රටක්ම ඉන්දියාවේ මිතුරන්ය.
බොහෝ රටවලට හදිසි විපත්වලදී ලැබෙන ආධාරවල වටිනාකම කිව නොහැකිය. නමුත් සමහර රටවල් විශේ්ෂ පරමාර්ථ ඇතිව ආධාර කරයි. ආධාර සමග රටේ ආගම ආක‍්‍රමණය කිරීම නිදසුනකි. ඉන්දියාවට ඒ අමිහිරි අත්දැකිම් තිබේ. හදිසි විපත් ආධාර ප‍්‍රතික්ෂේප කිරීමට තවත් හේතු තිබේ. ලැබෙන ආධාර කෛරාටික දේශපාලනඥයින්ගේ සහ නිලධාරින්ගේ අතට යාම වැළැක්වීම අසීරුය. ඉන්දියාවට ඒ අත්දැකීමත් තිබේ. මෙවැනි දේවල් වැදගත් ලෙස නොසලකන්නේ ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් අතළොස්සක් පමණි.