brand logo
logo

අපට ආතක් පාතක් නෑ - රුක්මණී දේවිගේ නෑයොත් ඒ අතර

16 February 2020

නාච්චි අප්පන් රාමජන් තිස්හය හැවිරිදි වතු කම්කරුවෙකි. විවාහකයෙකි. සය දරු පියෙකි. ඔහු ඉපදී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙණියායේ වත්තක ය. බොහොම කෙටි කලක් පාසල් ගොස් ඇත්තේ, ඊඳඬුකිත ප්‍රදේශයේ පාසලකට ය. එහෙත් ඔහුට දෙමළ හෝ සිංහල ලියන්නට හෝ කියවන්නට බැරි ය. දෙමළ බස කතා කරන්නට පුළුවන. ගෙවී ගිය අවුරුදු තිස් හයට රාමජන් සිය දරු පවුල ද සමගින් වතු අටක සේවය කර තිබේ. එහි තේරුම වන්නේ, ඔහු එක් වත්තක සේවය කළ කාලසීමාව වසර හතරක්, හතරහමාරක් පමණක් වන බව ය. රාමජන්ගේ ළමා කාලය අවුරුදු පහළොවක් අත්හැරිය හොත්, මේ වන විට ඔහු රැකියාවෙහි යෙදී සිටින කාලය වසර විසි එකකි. ඉකුත් වසර විසි එකක කාලය තුළ ඔහු වතු අටක සේවය කර තිබේ. ඒ අනුව එක් වත්තක සේවය කළ කාලය වසර දෙක හමාරකට ගණනය කිරීමට පුළුවන. නාච්චි අප්පන් රාමජන් අපට හමු වූයේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තවලම, දියදොළ වත්තේ දී ය. එය ඔහුගේ අට වැනි සේවා ස්ථානයයි. නාච්චි අප්පන් රාමජන්ගේ කතාව, ලංකාවේ කිසිදු තැනක සටහන්ව නැති ‘සංක්‍රමණික වතු කම්කරුවන්ගේ’ කතා පුවතයි. සංක්‍රමණික වතු කම්කරුවන් බොහෝ දෙනෙකුට උප්පැන්න සහතික නැත. ජාතික හැඳුනුම්පත් නැත. සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය නැත. ඔවුන්ගේ දරුවන්ට ද උප්පැන්න සහතික නැත. ඒ නිසා ම ඔවුන් පාසලකට ඇතුළු කර ගන්නට ද පුළුවන්කමක් නැත. මේ පිරිසට ‘ඡන්ද බලය’ ද නැත. ඔවුන්ට තමන්ගේ නමට දුරකථන ‘සිම්පතක්’ ගන්නට ද බැරි ය. රාමජන්ලා ද, ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 15ක පමණ කොටසකට හිමිකම් කියන වතු වැවිලි ක්ෂේත්‍රයට, ශ්‍රමය වගුරන්නේ අනාදිමත් කාලයක සිට ය. එහෙත් ඔවුන්ට රටේ අනෙක් වතු කම්කරුවන්ට හිමි අයිතිවාසිකම් කිසිවක් නැතිවාක් මෙනි. මේ කතාව එළියට එන්නේ අහම්බෙනි. 2019 වසරේ සැප්තැම්බරයේ දී තවලම දියදොළ වත්තේ (දියෙස්ටා ගෲප්) නිෂ්පාදිත කාබනික කුරුඳු කුඩු තොගයක් ඇමරිකාවට අපනයනය කරන්නට එහි පාලනාධිකාරිය කටයුතු කළේ ය. එය ඇමරිකානු ඩොලර් 20,000ක් පමණ වටිනා කුරුඳු කුඩු පැකට් 2000ක තොගයකි. දියදොළ වත්තේ හිමිකරු වන හබරකඩ ආනන්ද ලියනගේ, කලක් තිස්සේ ඇමරිකාවේ ජීවත් වෙමින් ව්‍යාපාරික කටයුතු කරන තැනැත්තෙකි. ඔහු කාබනිකව නිෂ්පාදනය කළ කුරුඳු කුඩු පැකට් ඇමරිකාවට අපනයනය කරන්නේ වසර පහක පමණ සිට ය. එහෙත් ශ්‍රී ලංකා රේගුව, ඉකුත් සැප්තැම්බරයේ දියදොළ වත්තේ කුරුඳු කුඩු තොගය අපනයනය කිරීම තහනම් කළේ ය. ඊට හේතුව වශයෙන් රේගු බලධාරීන් පෙන්වා දුන්නේ කුරුඳු කුඩු පැකට්ටුවේ මුද්‍රණය කර ඇති එක්තරා වාක්‍ය ඛණ්ඩයකින් ශ්‍රී ලංකාවට දැඩි ‘අවමානයක්’ ගෙන දෙන බව ය. එම වැකිය මෙසේ ය. ‘We donate USD 0.25 from each bag of cinnamon we sell to the Stateless People Foundation, run by diyesta group. In Sri Lanka, most of the labour workforce consist of indian Tamils who came to sri lanka during the days of British rule. Most of them still lack sri lankan citizenship, wich prohibits them from enjoying free education, free medicine and other benefits that full citizen enjoy. For this reason, we have started project to empower the children of our working communities by providing them with the best education we can. We believe that empowering a child is like empowering generation . Today you become a part of our small exercise to bring a light future in the children of this beautiful Island.’ සමාජ ක්‍රියාකාරිනියක වන රදිකා ගුණරත්න, තහනම සම්බන්ධයෙන් නීති කටයුතු කරන නීතිඥවරියයි. ඇය පවසන අන්දමට, කුරුඳු කුඩු පැකට් තොගය අපනයනය කිරීම තහනම් කරමින් රේගු බලධාරීන් පවසා ඇත්තේ අමුතු කතාවකි. එනම්, ලංකාවේ සිටින ඉන්දියානු සම්භවයක් සහිත සියලුම දෙමළ වතු කම්කරුවන්ට පුරවැසිභාවය ප්‍රදානය කෙරී ඇති බැවින්, දැන් උප්පැන්න සහතික හෝ ජාතික හැඳුනුම්පත් ආදිය නැති පුද්ගලයන් සිටිය නො හැකි බවයි. එසේම, කුරුඳු කුඩු පැකට්ටුවේ සඳහන් වැකිය ‘දෙමළ ඩයස්පෝරාවේ’ මතය නියෝජනය කරන්නක් බවයි. ‘ශ්‍රී ලංකා රේගුව’ නො දන්නවා වුව ද, ලියුම්කරු ඇතුළු පිරිසක් පසුගිය දිනක හිනිදුම සහ තවලම අවට දකුණු පළාත් වතුකරයේ කළ සංචාරයේ දී හෙළි වූයේ, ස්ථිර පදිංචියක්, උප්පැන්නයක්, හැඳුනුම්පතක්, ඡන්ද හිමිකමක්, බැංකු පාස් පොතක් සහ සේවක අර්ථසාධක අරමුදලේ හිමිකමක් නැති දෙමළ කම්කරුවන් විශාල පිරිසක් ඒවායෙහි සිටින බවයි. ඒ අය ‘සංක්‍රමණික වතු කම්කරුවෝ’ වෙති. ඔවුහු ද, ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ (වර්ෂ-1796 සිට 1948 දක්වා) ඉන්දියාවෙන් ගෙන්වන ලද දෙමළ වතු කම්කරුවන් ගෙන් පැවත එන්නෝ ය. ලියුම්කරුට නාච්චි අප්පන් රාමජන් මුණ ගැසෙන්නේ ද ඒ සංචාරයේ දී ය. රාමජන්ගේ තාත්තා, පෙරුමාල් නාච්චි අප්පන් ය. ඔහු ඉපදුණේ මහනුවර ය. තාත්තා වාලච්චේන කඩදාසි කම්හලේ සේවකයෙකි. ඔහුට සිය බිරින්දෑ මුණගැසී ඇත්තේ ද වාලච්චේන දී ය. ‘මම ඉපදිලා තියෙන්නේ දෙණියායේ වත්තක. පොඩි කාලේ අපි මොරවක, ඊඳඩුකිත, ‘සදන් හිල් වත්තට’ ඇවිත් තියෙනවා. ඒ කාලේ මට අවුරුදු හයයි. ටික කාලයක් පාසල් ගියා. ඊට පස්සේ නතර වුණා. මගේ උප්පැන්න සහතිකයයි, විවාහ සහතිකයයි දැන් දියවෙලා ගිහින්. ඒවා හදා ගන්න දෙණියායේ යන්ඩ ඕනෑ’, රාමජන් සිය සංක්‍රමණික ජීවිතයේ තොරතුරු කියන්නේ කාල වකවානු ගළප්පා ගනිමිනි. ඔහුගේ බිරිය ත්‍යාගරාජා සෙල්වරාණි (36) ය. රාමජන්ට ඇය මුණගැසෙන්නේ 2000 වසරේ ය. ඒ, නෙළුව, මැදගම, මිනිරන්පොළ වත්තේ දී ය. ඇයට නම් උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් තිබේ. රාමජන් සහ ත්‍යාගරාජා සෙල්වරාණි යුවළට දරුවන් පස් දෙනෙකි. ඉන් වැඩිමල් දියණිය දාහත් හැවිරිදි ය. බාල ම දියණිය පස් හැවිරිදි ය. ඔවුන් අතරින් උප්පැන්න සහතික ඇත්තේ දරුවන් දෙදෙනෙකුට පමණි. ඉතිරි තිදෙනාට උප්පැන්න සහතික නැත. එබැවින් ඔවුන්ට පාසල් යාමේ වරම් අහිමිවී තිබේ. ‘ලොකු ළමයි දෙන්නා ‘ක්ලිනික් කාඩ්’ බලලා ඉස්කෝලෙට බාර ගත්තා’, සෙල්වරාණි කියයි. ඔවුන් අකුරට යන්නේ තවලම දේවාලේගම පාසලට ය. තවත් එක් දරුවෙක් බානගල ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක අකුරු කරන බව සෙල්වරාණි කීවා ය. වතු තිබුණ ද, දෙමළ වතු කම්කරුවන් සිටිය ද, මෙම ප්‍රදේශවල දෙමළ පාසල් ඇත්තේ නැත. එසේම, හින්දු කෝවිල් ද නැත. ඉතින් ඇතැම් වතු කම්කරුවන් යන්නේ ප්‍රදේශයේ ඇති බෞද්ධ පන්සල්වලට ය. සංක්‍රමණික වතු කම්කරුවන් සිටින්නේ අක්කර දහස් ගණනින් ඉඩම් ඇති මහා පරිමාණ සමාගම් වතුවල නොවේ. කුඩා පරිමාණ පෞද්ගලික වතුවල ය. ඒවාට කම්කරුවන් අවශ්‍ය වන අවස්ථාවල වතු හිමිකරුවෝ, තවත් කොහේ හෝ වත්තක සේවය කරමින් සිටින දෙමළ කම්කරු පවුලක් කැන්දා ගනිති. එසේ කරන්නේ, ඔවුන් දැනට සිටින වත්තට සහ වත්ත ආශ්‍රිතව ඇති කඩ සාප්පු ආදියට ගෙවන්නට තිබෙන ණය-තුරුස් ද බේරා හැරීමෙන් පසුව ය. ඉන් පසුව ඔවුහු නව හාම්පුතාගේ වත්තේ ලැයිමක පැළපදියම් වෙමින් කම්කරු ජීවිතය අලුතින් පටන් ගනිති. කම්කරුවන් කැන්දා ගැනීමේ දී ණය-තුරුස් පියවන්නට වැය කළ මුදල, ඔවුන්ගේ වැටුපෙන් කපා ගැනීම හාම්පුතුන්ගේ සිරිතයි. යම් අවස්ථාවක අලුත් කම්කරු ජීවිතය හොඳ නැතැයි සිතුණ හොත්, ඔවුහු වෙනත් වත්තකට සංක්‍රමණය වෙති. ලංකාවේ මෙබඳු වතු කම්කරුවන් කොපමණ සිටිත් ද? යන්න, කිසිවෙක් නො දනිති. ඔවුන්ට ස්ථිර පදිංචියක් නැති බැවින් කිසිදු ගණනය කිරීමකට හසුව නැත්තේ ය. ‘අපි දියදොළ වත්තෙන් තුන් පාරක් වෙන වතුවලට ගියා. ඒ හැම වතාවෙම දියදොළ වත්තේ මහත්තයා ණය මුදල් බේරලා අපිව අරන් ආවා. මහත්තයාට රුපියල් ලක්ෂයක් විතර වියදම් වෙන්න ඇති. එක සැරයක් අපි ගියේ කොටපොළ දංගල වත්තට. අපි වත්තට රුපියල් 17,000ක් ණය වෙලයි හිටියේ. ළඟ කඩවලටත් රුපියල් 11,000ක් විතර ණය වෙලා තිබුණා. මහත්තයා ඒ සේරම පියවලා අපිව අරන් ආවා’, රාමජන් සහ සෙල්වරාණි කීවෝ ය. ත්‍යාගරාජා සෙල්වරාණිගේ තාත්තා, ඩැනියෙල්ස් ත්‍යාගරාජා ය. ඔහු සේවය කළේ අකුරැස්ස, ගොඩපිටියේ රක්ෂිණ වත්තේ ය. ඊට පසුව ඔවුහු දංගල වත්තට පැමිණියහ. සෙල්වරාණිලාගේ පවුලේ දරුවන් අට දෙනෙකි. ඔවුන් අතරින් වැඩිමල් පිරිමි සහෝදරයන්ට පාසල් යන්නට බැරි වුණු බව ඇය කියන්නී ය. ඇගේ වැඩිමල් සොහොයුරා ඩැනියෙල්ස් ත්‍යාගරාජන් ටීමනී (47) ය. කිසියම් කටයුත්තකට දියදොළ වත්තට පැමිණ සිටි ඔහු ද ලියුම්කරුට මුණගැසිණි. ‘‘මට උප්පැන්න සහතිකේ නෑ. ජාතික හැඳුනුම්පතක් නෑ. බැංකු පාස් පොතක් නෑ. දෙමළ හරි සිංහල හරි ලියන්න-කියවන්නත් බෑ. මම ගාල්ලේ මාපලගම තේ වතුවල වැඩ කළා. මම කසාද බැන්දේ මුස්ලිම් ජාතික කාන්තාවක්. එයාගේ නම, මොහමඩ් නයිසර් පාතිමා නුස්රා. අපට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට නම් උප්පැන්න සහතික තියෙනවා. පස්සේ මමත් මුස්ලිම් ආගමට ගියා. දැන් මගේ අලුත් නම මොහමඩ් නයිසර් සල්මන්. මම ගාල්ලේ දංගෙදර පැත්තෙන් පර්චස් දෙකක් අරගෙන පොඩි ගෙයක් හැදුවා. දැන් මම ළමයින්ට උගන්වනවා’, ටීමනී අප හා කීවේ ය. සෙල්වරාණිත්, ටීමනීත් සුවිශේෂ ය. ඔවුන්ගේ පියා, ඩැනියෙල්ස් ත්‍යාගරාජා ය. ඔහු, හෙළ සිනමාවේ අසහාය නිළි රැජින වූ රුක්මණී දේවියගේ බාප්පාගේ පුත්‍රයා ය. ඒ අනුව, සෙල්වරාණිලා, ටීමන්ලා රුක්මණී දේවියගේ ළඟම ඥාතීහු වෙති. ‘අපේ තාත්තා 2008 දි මියගියා. එඩී ජයමාන්න අපේ තාත්තාගේ මස්සිනා’, සෙල්වරාණි කියයි. ‘රුක්මණී දේවි’ කියන්නේ මගේ නැන්දා’, ටීමනී කියන්නේ මහත් අභිමානයෙනි. රුක්මණී දේවිය ඉපදී ඇත්තේ 1923 වසරේ නුවරඑළිය රම්බොඩ වත්තේ දී ය. ඇගේ පියා ජෝන් ඩැනියෙල්ස් ය. අම්මා, පෙලන් රෝස් ය. රුක්මණී දේවියගේ මුල් නම, ඩේසි රාසම්මා ඩැනියෙල්ස් ය. ඇය ‘රුක්මණී දේවිය’ යයි ප්‍රකට වූයේ සිනමාවට පැමිණීමත් සමගිනි. ටීමනී පවසන අන්දමට, තාත්තාගේ සහෝදරිය පච්චි අම්මා ය. ඇය දැනට පදිංචිව සිටින්නේ වීරවිල, අටේ කොලණියේ ය. තවත් පුංචි අම්මා කෙනෙක් වන ‘පොන්නු’ අකුරැස්ස ගොඩපිටියේ වෙසෙයි. ‘අපි ඒ කාලේ රුක්මණී දේවිගේ චිත්‍රපට බලනවා. කොළඹ, මහ බොරැල්ලේ (දෙමටගොඩ) එයාගේ ගෙදරටත් ගිහින් තියෙනවා’, ටීමනී පවසයි. නාච්චි අප්පන් රාමජන් පවසන අන්දමට, උප්පැන්න සහතික නැති, ජාතික හැඳුනුම්පත් නැති, ඡන්ද අයිතිය නැති, උප්පැන්න සහතික නැති නිසා පාසල් යාමේ වරම් අහිමි වුණු දරුවන් ඇතුළු දෙමළ කම්කරුවන් 500ක පමණ පිරිසක් හිනිදුම, නෙළුව, තවලම, අකුරැස්ස සහ කොටපොළ ආදී ප්‍රදේශවල සිටිති. දියදොළ වත්තේ පාලනාධිකාරිය වරක් ‘ලොරි බොඩි පාසල’ නමින්, ලොරි බොඩියක ඉදි කළ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ද පවත්වා ගෙන ගියේ ය. එයින් අකුරු ඉගෙනගත් දරුවන් විශාල පිරිසක් අදටත් එහි සිටිති. පසුව එය බිඳ වැටිණි. දියදොළ වත්තේ හිමිකරු වන හබරකඩ ආනන්ද ලියනගේ නිතරම පාහේ සිය කම්කරුවන්ගේ සුබසාධනය පිණිස දායක වන කෙනෙකි. සංක්‍රමණික දෙමළ වතු කම්කරුවෝ බොහොම දෙනෙක් ජංගම දුරකථන ද භාවිතා කරති. ඒ අනුන්ගේ නමට ලබා ගත් සිම්පත්වලට ය. දුරකථනයේ අංකය කුමක් දැයි විමසු විට, ඔවුන් එය කියන්නේ තම දරුවන්ගේ සහායෙනි. ඊට හේතුව ඔවුන්ට අකුරු-ඉලක්කම් ගැන දැනීමක් නැතිකමයි. තවලම, සහකාර ප්‍රාදේශීය ලේකම් උපුල් ප්‍රියංකර දහනායක පවසන්නේ, සංක්‍රමණික දෙමළ වතු කම්කරුවන් පිළිබඳ ප්‍රශ්නය බොහොම සංවේදී එකක් බවයි. ‘මේ ගොල්ලෝ අඩු වයසින් විවාහ වෙනවා. බොහෝවිට දරුවන් ලැබෙන්නෙත් වතු නිවාසවලමයි. ඉතින් විවාහය ලියාපදිංචියක් නෑ. ඒ නිසා උප්පැන්න සහතික ගැනීමත් අසීරු වෙනවා. සමහරු ඉපදිලා තියෙන්නේ දුර බැහැර වතුවල. ඒ අයට උප්පැන්න සහතික හදා ගන්න ඒ ප්‍රදේශවලට යාමත් දුෂ්කරයි. සමහර විට අපට තොරතුරු ලැබෙනවා. ඒත් අපේ නිලධාරීන් සොයන්න යන විට, ඒ අය වෙනත් වත්තකට ගිහින්. මෙහෙම යන හුඟ දෙනෙකුට ‘ස්ථිර පදිංචියක්’ නෑ. ඒත් අපි හැම වෙලාවෙම ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. ඒ අය මෙහේට එනවා නම් අපට හුඟක් දේවල් කරලා දෙන්න පුළුවන්. ඒත් එන්නේ නෑ. සමහරුන්ට ඒවා ගැන ඕනෑකමකුත් නෑ වගේ’, ප්‍රදේශීය ලේකම්වරයා කීවේ ය.
 

More News..