අතන මෙතන

අනියම් බිරිය මරාගෙන අනියම් සැමියා මැරෙයි

මැදිරිගිරිය, පැරකුම්පුර ප්‍රදේශයේදී විවාහක පුද්ගලයෙකු සිය අනියම් බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

එසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇඟලුම් සේවිකාවක වන මැදිරිගිරිය, දියසෙන්පුර, බිසෝ උයන, අංක 130 ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ මල්ලිකා කුමාරී දිසානායක නමැති 26 හැවිරිදි විවාහක කාන්තාවකි.

ඇය පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක රැකියාව කර ඇති අතර පෙරේදා (22දා) පස්වරුවේ සේවා මුරය සඳහා නොගොස් සිය පෙම්වතා හමුවී ඔහුත් සමග යතුරුපැදියෙකින් ගොස් ඇතිබවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

ඇය නැවත නිවසට පැමිණ නැති අතර ඇගේ මළසිරුර මැදිරිගිරිය පොලිස් වසමට අයත් කවුඩුල්ල පිනාමංකඩ අමුණට නුදුරු පාළු වෙල් යායක තිබී ඊයේ (23දා) උදේ හමුවී ඇත.

මැදිරිගිරිය, පළමු පියවර, අංක 306/3 ලිපිනයේ පදිංචි ඒ.ඩබ්ලිව්. සුපුන් ගුණවර්ධන නමැති 28 හැවිරිදි විවාහක එක්දරු පියෙකු වන සැකකරු තම ගෙවත්තේ පිහිටි ගසක එල්ලී සිටියදී ඔහුගේ මළසිරුරද පොලිසිය ඊයේ (23දා) උදේ සොයා ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ එම පුද්ගලයා අතර කාලයක් තිස්සේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් මොවුන් දෙදෙනාම විවාහකයන් බවත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කළේය. එහෙත් ඇයව මෙසේ මරා දැමීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

ඔහු මෙම මිනීමැරුම සිදුකළ බවට ලියා තැබූ ලිපියක්ද ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන උල් පිහියක්ද පොලිසියට හමුවී තිබේ.

කේ.ජී.කරුණාරත්න-තමන්කඩුව
ආර්.ඒ.බණ්ඩාර-හිඟුරක්ගොඩ