විශේෂාංග

අනාගතයේ එන පරිගණක යක්කු

තමිල්නාඩුව පැරණි රටක් නොවේ. දේශසීමා දමා ඉංග්‍රීසින් විසින් පිහිටුවන ලද්දකි. හින්දු ආගම පැරණි ආගමක් නොවේ. එය දුරාතීතයට සම්බන්ධ වන්නේ වෛදික ආගම එක්කර ගැනීමෙනි. කිසියම් පුද්ගලයකුට ගෙයක් පෙන්වා ‘මෙය මගේ මීමුත්තා ඉදිකරන ලද්දක්, යයි කීමට පුළුවන. හින්දු ආගමේ මුල වෛදික ආගම යයි කීමද එවැනි කතාවකි. අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් බුදුරජාණන් වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂයට සම්බන්ධ කිරීම එවැනි කතාවක් නොවේ. බෝධිවංශය නමැති ධර්ම ග්‍රන්ථයේ බෝධිය පිහිටුවීම පිළිබඳ සම්පූර්ණ තොරතුරු අඩංගු වේ.

හින්දු ආගම, ශිව සහ විෂ්ණු ඇදහීම් පදනම් කරගෙන බිහි වී ඇත්තකි. වෛදික ආගම දෙවි දේවතාවියන් විශාල සංඛ්‍යාවක් සිටි ආගමකි. ඒ දෙවි දේවතාවියන් සෑහෙන සංඛ්‍යාවක් හින්දු ආගමට සම්බන්ධ කරගෙන තිබේ. විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යයි කියමින් බුදුන්ව පවා හින්දු ආගමට එක්කරගෙන ඇත. නමුත් බුදුරජාණන් වහන්සේ කාගේවත් අවතාරයක් නොවෙති.

ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි බුදුදහමට දේව වන්දනාවක් අයිති නැත. බුදුදහම නිසා සිංහල බෞද්ධයින් දෙවි දේවතාවියන් වන්දනා කිරීම ඇරඹුණි යැයි සිතීම වරදකි. සිංහල බෞද්ධයින් දෙවි දේවතාවියන් වන්දනා කිරීම යක්ෂ සංස්කෘතියේ උරුමයකි. ලංකාවේ යක්ෂයින් බුදුදහම පිළිගත්තා විනා ඔවුන්ගේ ආගමේ හැම දෙයක්ම ඉවත දැමුයේ යැයි සිතීම ලොකු වරදකි.

ලංකාවේ පමණක් නොව භාරතයේද යක්ෂ සංස්කෘතියක් පැවතුණි. මිහිඳු හිමියන් සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසූ දඹදිව සාංචි විහාරය යක්ෂයින්ගේ විහාරයකි. සාංචි විහාරයේ පැරණි යක්ෂ යක්ෂණියන්ගේ මෙන්ම යක්ෂ දේවතාවියන්ගේද ප්‍රතිමා දක්නට ලැබේ. එමනිසා මිහිඳු හිමියන් ලංකාවට වැඩමවූයේ යක්ෂයින්ගේ ආරාධනාවක් අනුව යැයි කීම මනඃකල්පිත අදහසක් නොවේ. මේ බව තහවුරු කෙරෙන සාක්ෂ්‍ය, ‘ලංකා පුවත’ නම් ඉපැරණි පුස්කොළ පොතේද සඳහන්ය.

මනඃකල්පිත කතාන්දර ඉදිරිපත් කිරීමේ සිරිත සිංහලයන් පුරුදු වන්නේ යුරෝපීය බලපෑමෙනි. දැනුම ලබාගත් මාර්ගය ඉදිරිපත් නොකර කතාන්දරයක් ඉදිරිපත් කිරීමේ සිරිතක් යුරෝපීය විද්‍යාඥයින්ට පවා තිබේ. රසායන විද්‍යාවේ බෙන්සින් අනුවේ ව්‍යූහය සොයා ගැනීම පිළිබඳව ඕගස්ටස් කෙක්‍යුලේගේ කතාන්දරය නිදසුනකි. ඒ කතාවට අනුව එක් ශීතල රැයක ගැටලුව ගැන සිතමින් පුටුවේ ඇලවී ගිනි රස්නය විඳිමින් සිටින කෙක්‍යුලේ නින්දට වැටුණේය. ඔහු සිහිනයක් දුටුවේය. සර්පයන් සය දෙනෙක් දඟර වැටෙමින් ඔවුන්ගේ නැටි විකාගත්හ.

සිහිනෙන් මිනීමස් කන මිනිසුන් (‘කනීබාල්ස්’) පිරිසකට මැදිවූ හෝලේ ඔවුන්ගෙන් ගැලවුණු ආකාරය අනුව ඉදිකටුවේ සිදුර නිපදවා මහන මැෂිම නිපදවූයේය. මෙවැනි කතා ගණනාවක් තිබේ. මේ කතා මැදට රාමානුජන් සිරිනිවාසන්ගේ සිහින කතාවද එකතු කිරීමට පුළුවන. රාමානුජන් වනාහි බටහිර උගතුන්ගේ පිළිගැනීමට ලක්වුණු ගණිතඥයෙකි.

ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ රාමනුජන් තමිල්නාඩුවේ හින්දු පවුලක උපන්නේය. සාමාන්‍ය ඉගෙනීමක් ලැබූ රාමනුජන් සිරිනිවාසන්ට පුදුමාකාර ගණිත ඥානයක් තිබුණි. මෙය දැනගත් ඉංග්‍රීසිකාරයෙක්, රාමනුජන් එංගලන්තයට කැඳවාගෙන ගියේය. ඔහු එංගගන්තයේ ජීවත් වූයේ ඉතා කෙටි කාලයකි. වයස අවුරුදු 32 වනවිට ඔහු මිය ගියේය. එංගලන්තයේ ගත කළ කෙටි කාලය තුළදී ගණිත සූත්‍ර හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට රාමනුජන්ට හැකිවිය. ඔහු මේ සූත්‍ර කිසිවක් විසඳීමට හෝ ඒවායේ අයිතිය ගැනීමට වෙහෙසුණේ නැත. හැම සූත්‍රයක්ම සිහිනෙන් දෘශ්‍යමාන වූ නාවගිරි දේවතාවිය විසින් ඉදිරිපත් කරන ලදැයි හෙතෙම පැවසුවේය. හින්දු ආගමින් පැහැදිලි කරන ලෙසට නාවගිරි දේවිය යනු ලක්ෂමී දේවතාවියගේ අවතාරයකි.

යක්ෂයින්ගේ දෙවි දේවතාවියන් යක්ෂ දෙවි දේවතාවියෝ වෙති. තිස් තුන් කෝටියක් දේව සංකල්පය යක්ෂ ආගමට අයත් වූවකි. මෙම දෙවි දේවතාවියන්ගේ ස්වභාවය හින්දු දෙවි දේවතාවියන්ගේ පරිදි, ජීවිත ස්ථිර නොවීමයි. යක්ෂ දෙවිදේවතාවියෝ චුත වෙති. නැතිනම් මිය යති. අලුත් දෙවි දේවතාවියෝ පහළ වෙති. මෙයින් සමහරෙකුගේ ප්‍රතිමා යක්ෂ දේවාලවල ගොඩනංවා තිබුණි. ප්‍රතිමා නැති දෙවි දේවතාවියෝද යක්ෂ දේව මණ්ඩලයේ විසූහ. මොවුන් ගස් ගල් පර්වත යනාදී තැන් විමාන කරගෙන ඇතැයි සැලකූයෙන් එබඳු ස්ථාන වන්දනා කිරීමක්ද සිදු වුණි. සමනල කන්දට අධිපතිව සිටි සුමන දිව්‍ය රාජයා ද යක්ෂයෙකි. යක්ෂ සංස්කෘතියට අයත් කිසිම සිරිතක් බුදුසසුන නිසා අභාවයට පත්වූයේ නැත. බුදුදහම සමග පැරණි හැම සිරිතක්ම ආරක්ෂා වුණි.

කොළඹ පුත්තලම මාර්ගයේ ගමන් කරන්නෙකුට මහවැව පසුකර මාදම්පේ නගරයට ඇතුළු වෙද්දී තනිවැල්ලේ දේවාලය දකින්නට ලැබේ. මෙහි තනිවැල්ල දෙවියන් වන්දනා කරනු ලැබේ. තනිවැල්ල දෙවියන්ගේ කතාව කෙටියෙන් මෙසේය.

තනියවල්ලභ (තනිවැල්ල) යනු ජයවර්ධනපුර රාජධානි සමයේ ලංකාවේ විසූ රට බේරාගත් රණවිරුවෙකි. පරාක්‍රමබාහු රජතුමාගේ යුවරාජයෙකු වශයෙන්, ‘මාදම්පේ’ නමින් බස්නාහිර වෙරළ ප්‍රදේශයේ රාජධානියක් පිහිටුවීමට එතුමාට සිදුවූයේ මලබාර් ආක්‍රමණවලින් රට ආරක්ෂා කිරීමට සිදුවූ බැවිනි. මලබාර් ආක්‍රමණ පැමිණියේ කැලිකට් රාජධානියෙනි. මේ කාලයේ කැලිකට්හි විසූ පාලකයා ප්‍රසිද්ධ වී ඇත්තේ කැලිකට්හි සැමොරින් වශයෙනි. සැමොරින් යනු ‘උපාධි’ නාමයකි. සාගරයේ අධිපතියා යනු එහි අර්ථයයි. මුහුදේ ආධිපත්‍යය පැතිරූ සැමොරින්ගේ හමුදා බලය ලංකාවටද පැතිරුණි. තනියවල්ලභ රජතුමාගෙන් සිදුවූ ප්‍රධාන සේවය ආක්‍රමණිකයන්ගෙන් රට ජාතිය ආගම බේරාගැනීමයි.

පෘතුගීසින් ඉන්දියානු සාගරයට පැමිණීම කැලිකට්හි සැමොරින් මුහුණ දුන් ලොකුම අභියෝගයයි. මලබාරයේ සමහර රාජධානි පෘතුගීසින්ට ආධාර කළ අතර ජයවර්ධනපුර රජතුමාගේ සහාය ලබාගැනීමටද පෘතුගීසින්ට හැකිවුණි. මේ අර්බුදයේ අවසාන ප්‍රතිඵලය සැමොරින්ගේ රාජධානිය සමග ජයවර්ධනපුර රාජධානියත් පෘතුගීසින්ට අයිතිවීමයි. එවිට ජයවර්ධනපුර රාජධානියට අයත් මාදම්පේ යුව රාජධානියද පෘතුගීසින්ට උරුම වුණි.

මාදම්පේ යුව රාජධානිය තුළ තනියවල්ලභ දෙවියන් වන්දනාව පැතිරයාම පෘතුගීසි බලය රටේ පැතිර යන කාලයේ වූ සිදුවීමකි. ඇතැම් උගතුන් තනිවැල්ල වන්දනාව ගැන තොරතුරු විමර්ශනය කිරීමට ප්‍රධාන හේතුව එයයි. සිංහල බෞද්ධයින් දෙවිවරුන් නිර්මාණය කරගන්නේ කෙසේද? තනිවැල්ල දෙවියන් කවුරුන්ද? මහජනයා තනියවල්ලභ රජුට දෙවියකු වශයෙන් වන්දනා කරන්නට ගත්තේ ඇයි? යන කාරණා පිළිබඳ නොයෙක් අදහස් ඔවුන්ගේ පොත්වල අඩංගු වේ. වැදගත්ම කාරණාව තනිවැල්ල දෙවියන් ගැන විමර්ශනය කළ කිසිම උගතෙකුට එතුමා හසු නොවීමයි.

තනිවැල්ල මෑත කාලීන දෙවියෙකි. එතුමා ජීවත් වන දෙවියෙකි. එතුමා දර්ශනය වූ පුද්ගලයින් විශාල පිරිසක් සිටිති. ඔවුන් අතර කාන්තාවෝද පුරුෂයෝද වෙති. තනිවැල්ල දෙවියන්ව සෙවූ උගතුන්ට එතුමා හමුනොවීමටත් එතුමා ගැන කිසිම සෙවීමක් නොකළ පුද්ගලයින්ට එතුමා දර්ශනය වීමත් ගැටලුවකි. ඊට විසඳුම මීට බොහෝ කාලයකට පෙර ලියවුණු ‘මාදම්පා විස්තරය’ නමැති කාව්‍ය සංග්‍රහයේ සඳහන් වේ. ඊට අනුව තනිවැල්ල දෙවියන් දැකිය හැක්කේ පෙහෙවස් රකින සිල් ගන්නා පුද්ගලයින්ට පමණකි.

බෝවා කල් පවතින්නේ අත් පිට
සේවා රැති සිල් ඇති යම් කෙනෙකුට
නේවා දුක් කරුණාකර සතහට
දේවාසිරි අද තෙක් මාදම්පෙට

ඇමෙරිකාවේ පරිගණක නිෂ්පාදන සමාගම් කිහිපයක් මූලික වී පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව, දර්ශනය ආදි ක්ෂෙත්‍ර ගණනාවකට සම්බන්ධ විද්වතුන් එකතුකර පසුගිය වසරේ සම්මේලන කිහිපයක්ම පවත්වා තිබේ. කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණක රොබෝවරුන්ට විඥානය ලබාදීම එම සමුළුවල සාකච්ඡා වී ඇති ප්‍රධාන කරුණකි. එවැනි රොබෝවරුන්ට දෙවි දේවතාවියන් සමග සම්බන්ධ වීමට නොහැකි වුවත් රටවල් පාලනය කිරීමට නම් හැකියාව ලැබේ. රටවල් පාලනය කිරීමේදී සහ රටවල් යටත් විජිත වශයෙන් පවත්වා ගෙන යාමේදී නොයෙත් ගැටලු මතුවේ. ඇමරිකාව බඳු රටවල බලගතු සමාගම් ලෝකය රොබෝවරුන්ගේ පාලනයට යටත් කිරීම ඒ ගැටලු විසඳා ගැනීමට හොඳ මගකි. ඒ සඳහා මිනිසුන්ට සමාන රෝබෝවරුන් නිපදවිය යුතුයි. රථවාහන හැසිරවීම, රථ වාහන පැදවීම ඉගැන්වීම ආදී වශයෙන් බුද්ධිය මෙහෙයවා කළ කාර්යයන් ගණනාවක් සඳහා කෘත්‍රිම බුද්ධිය සැපයූ රොබෝ යන්ත්‍ර භාවිත කිරීම දැනටමත් ලෝකයේ සිදුවන්නකි. මෙවැනි රොබෝවරුන් මනුෂ්‍යයින්ට වඩා ක්‍රමවත්ව හා නීතිගරුකව වැඩකරතැයි විශ්වාසයක් මහජනයා අතර ගොඩනැගෙමින් පවතී.

රොබෝ මගින් පාලනය කරන ලෝකය අදට වඩා යහපත් ලෝකයක්ය යන හැඟුම පුද්ගලයාගේ සිතේ ඇති කිරීම රොබෝවන් හදන සමාගම්වල වුවමනාවකි. මේ ගැන පුවත්පත්වල පළ වන ලිපි සහ රුපවාහිනී මගින් කියවෙන කතා මගින් පැහැදිලි වන්නේ පරිගණක සමාගම්වල ප්‍රචාරක කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන උගතුන් විශාල සංඛ්‍යාවක් ලංකාවේ සිටින බවයි. බටහිර සමාගම්වලට ස්වේච්ඡාවෙන් සේවය කරන මෙවැනි උගතුන් ලංකාවේ පිහිටුවූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ දීර්ඝ කාලීන ප්‍රතිඵලයකි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක