ක්‍රීඩා

අන්තිම මොහොත වෙනකම් මේක රහසක් හැටියට තියාගන්න කිව්වා – සංගක්කාර

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ද සතියේ පුවත බවට පත්වූයේ බ්‍රිතාන්‍යයකු නොවන කුමාර සංගක්කාර, මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති බවට පත්වීමය. මාලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී.ය. යනු කුමක්ද?

වසර 1787 දී ආරම්භ කෙරෙන මාලිබෝන් ක්‍රිකට් සමාජයට මේ වසරේදී වසර 232 ක් සපිරෙයි. ක්‍රිකට් වංශකතාව සමගින් ගහට පොත්ත සේ සබැඳි මෙම ක්‍රීඩා සමාජයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ඉටු වූ සේවය අති මහත්ය. එබැවින් ඔවුන්ව හදුන්වනුයේ ක්‍රිකට් වංශකතාවේ නිර්මාතෘවරුන් ලෙසය. මාලිබෝන් ක්‍රීඩා සමාජයෙන් ඉටුවු සහ ඉටුවෙමින් තිබෙන සේවාවන් අතුරින් සුවිශේෂීම කාර්යයක් වනුයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදනයේදී ඔවුන්ගේ සෘජු දායකත්වයයි. එවැනි තීරක බලයක් සහිත වෙනත් ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් නොමැති තරම්ය.

ඒ අනුව ඔවුන් මුල් වරට 1788 වසරේදී ක්‍රිකට් නීති රීති සංශෝධනය කිරීමක් සිදුකරන ලදී. වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නීති වෙනස් කිරීම් සිදුකරන නමුත් එම නීති රීතීන්හි හිමිකම් අයිතිය තවමත් ඇත්තේ මාලිබෝන් ක්‍රිකට් සමාජය සතුවය. ‘ක්‍රිකට් ලෝකයේ රන් දෙවොල’ යන අන්වර්ථ මාලිබෝන් ක්‍රිකට් සමාජය හැඳින්වෙන්නේ එය ක්‍රිකට් වංශ කතාවේ මතුමහල් තලයේ රැඳෙන බැවිනි.

වසර 1814 දී මාලිබෝන් සමාජයට යම් සුවිශේෂී වසරක් විය. එනම් එම වසරේදී ලෝක පූජිත ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ හිමිකාරිත්වය ඔවුන්ට හිමිවීමයි. එමගින් ඔවුන්ට තිබුණු ජාත්‍යන්තර වශයෙන් පැවැති පිළිගැනීම තවදුරටත් ඉහළ නැංවිණි. මාලිබොන් ක්‍රිකට් සමාජය එරටේ කොයිතරම් වැදගත්කමක් ඉසිලුවාදැයි කියතොත් එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර නොවන තරග සඳහා සහභාගි වන අවස්ථාවන්හිදී ඔවුන් හැදින්වූයේ එම්.සී.සී. යන නාමයෙනි.

එසේම මාලිබෝන් ක්‍රිකට් සමාජය මගින් සංවිධානය කරනු ලබන කොලින් කව්ඩ්රි දේශනය මගින්ද එම ක්‍රීඩා සමාජයට ජගත් ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ බොහෝ ආකර්ෂණයක් සේම ප්‍රසිද්ධියක් ලැබිණි.

වසර 232 ක ඉතිහාසයේ මාලිබෝන් ක්‍රිකට් සමාජය සභාපතිවරුන් 168 දෙනෙක් යටතේ පාලනය වී තිබේ. ඒ අතර බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ එක් නියෝජනයක් සේම නයිට් පදවිය දැරූ බ්‍රිතාන්‍ය ජාතිකයින් 13 දෙනෙක් කටයුතුකර තිබුණද, මෙතෙක් ඉතිහාසයේ ඔවුන්ගේ රටින් බැහැර හෙවත් බ්‍රිතාන්‍යයකු නොවන කිසිම අයෙකුට එම මුලසුන හෙබවීමට අවස්ථාවක් ලැබී නැත.

මේ වනවිට මෙම සමාජයේ පූර්ණ සාමාජිකත්වය සහිත පිරිස 18000ක් ක් සේම එහි ආශ්‍රිත සාමාජිකයින් ගණන 5000 ක් බවට වාර්තා තොරතුරු දැක්වෙයි. ඒ අතර එංගලන්ත ජාතිකයින්ට අමතරව ලොව පුරා විසිරී සිටින විවිධ රටවල්හි ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පාර්ශ්වයන් මෙහි සාමාජිකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. ඡන්ද අයිතිය හිමි එම සාමාජිකයින්ට ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන ඕනෑම තරගයක් නැරඹීමේ අවස්ථාව එමගින් සැලසී තිබේ.

සාමාජිකයෙක් ලෙස අයැදුම්කරන පුද්ගලයෙක් සඳහා වර්තමානයේ එහි සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරනු ලබන පුද්ගලයින් තුන්දෙනෙකුගේ කැමැත්ත සේම සමාජයේ අතිරේක කමිටුවෙන්, මාලිබෝන් සමාජ කමිටුවෙන්, වර්තමාන සේම හිටපු නියෝජිතයින්ගේ අනුමැතිය හිමිවීම අනිවාර්ය වේ. මෙම කඩඉම්වලින් තොරව සාමාජිකයෙකු වීමට නම් ඔහු යම් සුවිශේෂී චරිතයක් විය යුතුය.
මාලිබෝන් ක්‍රිකට් සමාජය පටන්ගත් දා පටන් මෑතක් වනතෙක්ම එහි සාමාජිකත්වය හිමි වූයේ පිරිමි පාර්ශ්වයන්ට පමණකි.

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව මාලිබෝන් සමාජය තුළ ස්කොෂ්, ගොල්ෆ්, චෙස් ආදී ක්‍රීඩාවන්ද පැවැත්වෙයි.


මේ තනතුරට කෙනෙක්ව නම් වෙන්නේ කොහොමද?

මෙතෙක් මේ සඳහා පත්කෙරුණේ මේ එම්.සී.සී එකේ සාමාජිකත්වය දරන, ජාත්‍යන්තරව ක්‍රිකට් ක්‍රීඩා කරන ලද හෝ ඉහළ තනතුරු දරන බ්‍රිතාන්‍ය ජාතිකයන් විතරයි. ධුරයේ සිටින සභාපති විසින් තමයි ඊළඟ සභාපතිවරයාව යෝජනා කරන්නේ.

ඒ සඳහා ඔබව තෝරාගත් බව කොහොමද දැනගත්තේ?

දැනට සිටින එහි සභාපති ඇන්තනී වෙෆ්‍රර්ඩ් මට පසුගිය ජනවාරි මාසයේ කතා කරලා, මාව මේ වෙනුවෙන් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා කියල ඒ ගැන මගේ කැමැත්ත විමසුවා. නමුත් මම කාලය ඉල්ලුවා මගේ තීන්දුව දෙන්න. මොකද මේ දේ භාරගන්නවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම කරන්න මට පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න මට ඕනි වුණා.

ඒ යෝජනාව කළේ යම් කොන්දේසියකට යටත්වද?

ඔහුගේ එකම ඉල්ලීම වුණේ, මේ සඳහා මම කැමැති වේවා, අකැමැති වේවා මේ වෙනුවෙන් මට ආරාධනයක් ලැබුණු බව අදාළ මොහොත දක්වා රහසක් හැටියට තියාගන්න කියන එකයි.

එම්.සී.සී එකට ඔබේ ඇති නෑකම මොන වගේද?

මම 2011 දී ලෝඩ්ස්වල කවුඩ්රි දේශනය කළා. ඒ සමගින්ම මට එම්.සී.සී එකේ යාවජීව සාමාජිකත්වය ලැබීමෙනුත් මා හා ලෝඩ්ස් ක්‍රීඩාංගණය අතර විශේෂ සබඳතාවක් ඇතිවුණා. කුෂිල් ගුණසේකර ගොඩනගපු මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, මම ඇතුළු අපි කිහිපදෙනෙක් භාරකරුවන් හැටියට සිටින ‘ගුණ ජය සතුට’ පදනම සමගත් එම්.සී.සී ය ඉතාම සමීපව කටයුතු කිරීම හරහා ගොඩනැගුණු සම්බන්ධයකුත් තිබෙනවා. මම කාලයක් පුරා එම්.සී.සී ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙක් වීමත් මේ සබඳතාවට හේතුවක් වුණා. ඒ සියල්ලට අමතරව එදා මගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය ගත්තොත් එංගලන්තයට යනකොට අනිත් හැමකෙනෙක්ම වගේ මගෙත් විශේෂ කැමැත්තක් වුණා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ශතකයක් ලැබීම.

මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, ටී.එම් ඩිල්ෂාන් ඒ දේ කළා. මටත් පුළුවන් වුණා 2014 දි ඒ දේ කරන්න. එයත් ලෝඩ්ස් ක්‍රීඩාංගණය අයත් එම්.සී.සීය සමග ඇතිවූ එක්තරා නෑදෑකමක්.

එම්.සී.සී ය කියන්නේ මේ මෑතක් වන තුරු මහ රැජින හැරෙන්නට වෙනත් කිසිදු කාන්තාවකට ප්‍රධාන ක්‍රීඩාගාරයට ඇතුළුවීමට පවා අවස්ථාව නොදී සිය ස්ථාවරයන් ඉහළින්ම රැකගෙන ආපු ක්‍රිකට් සමාජයක්. එහෙම තැනක මේ තාක් පැවති සම්ප්‍රදාය වෙනස් කරලා පළමු වරට ඔබ වැනි බ්‍රිතාන්‍ය නොවන කෙනෙක්ට මේ වගේ තනතුරක් ප්‍රදානය කරන්න ඔවුන් හිතුවේ ඇයි?

මොන තරම් පැරණි සම්ප්‍රදායන් තිබුණත්, ඒවා පදනම් කරගෙන වෙනස් වන ක්‍රිකට් ලෝකයට අදාළ වන නැඹුරුවක් සහ දැක්මක් සහිතවයි මේ වන විට එම්.සී.සී ය කටයුතු කරන්නේ. ඔවුන්ගේ සම්ප්‍රදාය නූතන ක්‍රිකට් සමාජයට අදාළ වෙන්නේ නැතිනම් එහි ඉදිරි ගමනක් නැහැ කියන එක ඔවුන් තේරුම් අරගෙන සිටිනවා. ඒ වගේම මෙය එංගලන්තයේ තිබුණත්, එහි බ්‍රිතාන්‍ය සම්ප්‍රදායක් තිබුණත් එය ජාත්‍යන්තර ක්‍රිකට් සමාජයක් ලෙසයි ඔවුන් සිතන්නේ.

එම්.සී.සී ලෝක ක්‍රිකට් කමිටුව හරහා ක්‍රිකට් ලෝකයේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නත් මේ අය කැපවී කටයුතු කරනවා. එංගලන්තයේ කෝණයකින් නෙමෙයි, ජාත්‍යන්තර කෝණයකින් ක්‍රිකට් දෙස බලා, ක්‍රිකට්වල ඉදිරි ගමනට ධනාත්මකව සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන හිතලයි, ඒ සභාපතිතුමා මේ සඳහා ජාත්‍යන්තර නියෝජනයක් ලැබිය යුතුය කියලා යෝජනා කරලා තියෙන්නේ.

මේ සභාපතිත්වය වෙනුවෙන් ඔබට පැවරෙන වගකීම් මොනවද?

මේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිත්වය, වගකීම අනුව දෙදෙනෙක්ට පැවරෙනවා. එදිනෙදා කටයුතු වෙනුවෙන් ක්‍රීඩා සමාජ සභාපති කෙනෙක් වෙනම සිටිනවා. එයට අමතරව ප්‍රධාන විධායක නිලධාරිවරයකුත් සිටිනවා. මම කළ යුතු වන්නේ මේ සියලු කමිටු සමග එක්ව සාකච්ඡා කරලා, ඔවුන් සමග සමීපව කටයුතු කරලා, එම්.සී.සී යේ ජාත්‍යන්තර මුහුණුවර වැඩි දියුණු කරලා, එම්.සී.සී යේ ක්‍රිකට් පණිවුඩය ලොවට ගෙන යෑමට වගේම එම ක්‍රිකට් සමාජය මගින් ලෝකයේ ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කරන සමාජ සත්කාරක වැඩසටහන් පෙරට රැගෙන යෑම වැනි විශේෂ වූ කාර්යයන්.

මේ තනතුර වෙනුවෙන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවද?

විශේෂ වරප්‍රසාදයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම ගරු සේවයක්. එම්.සී.සී යට, එහි සාමාජිකයන්ට සහ ලෝක ක්‍රිකට් ක්‍ෂේත්‍රය වෙනුවෙන් කරන ස්වේච්ඡා සේවාවක්.

ඔබට මේ ලැබුණු තනතුරත් සමගින් එය බලපවත්වන ඉදිරි වසරක කාලයේදී ඒ වෙනුවෙන් ඔබට එංගලන්තයේම රැඳෙන්න වෙයිද?

මෙය ඇත්තටම ඔවුන් පළමු වතාවට කරන අත්හදා බැලීමක්. මෙහිදී ඔවුන් මා වෙනුවෙන් මගේ වගකීම් බොහොමයක් ඔවුන් අතරේ බෙදාගෙන, අවශ්‍යම තැන්වලදී පමණක් මගේ සහභාගිත්වය ලබා ගැනීමට පුළුවන් වන හැටියටත්, මම වෙසෙන ශ්‍රී ලංකාවේ මට සැලකිය යුතු කාලයක් රැඳීමට හැකිවන අයුරිනුත්, ඔවුන් අවස්ථාව සලසා සලසා දෙයි.

මේ තනතුරේ ඔබ වැඩ භාරගන්නේ ලබන ඔක්තෝබර් මාසයේ. මේ වෙනුවෙන් පූර්ව සූදානම මොන වගේද?

මෙතැන ඉඳලා ඔක්තෝබර් වෙනකම් සැලකිය යුතු කාලයක් තිබෙනවා. ඒ අතර කාලයේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වගේම, අළු බඳුන තරගාවලියටත් විස්තර විචාරකයෙක් හැටියටත් මම සහභාගි වෙනවා. මේ වැඩ අතරතුරේ වත්මන් සභාපතිවරයා සමග එකතුව වැඩ කරලා, අදාළ කමිටු රැස්වීම් ආදිය අවශ්‍ය අවස්ථාවල නිරීක්‍ෂණය කරලා සභාපති ධුරයේ රාජකාරි සහ වගකීම් පිළිබඳව පූර්ව දැනුමක් සහිතව ලැහැස්ති වෙන එක තමයි තිබෙන්නේ.

ඔබට ලංකවේ හෝ වෙනත් රටක හෝ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් පරිපාලනයකට මෙයට කලින් ආරාධනා ලැබිලා තිබෙනවද?

එහෙම ලැබිලා නැහැ. නමුත් ක්‍ෂේත්‍රයේ සමහරක් ප්‍රශ්න විසඳන්න අදහස් අරගෙන නම් තිබෙනවා. එයට අමතරව එම්.සී.සී ක්‍රිකට් කමිටුව සහ එහි තාක්‍ෂණ කමිටුවට බැඳිලා වසර කිහිපයක් පුරා සේවය කරලා තිබෙනවා.

මේ ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පරිපාලනයට ආරාධනා ලබන ඔබ ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරිපාලනමය තනතුරකට පත්වෙන්නත් බැරි නැහැ…?

ඒ ගැන මම මොකුත් හිතලා නැහැ. දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරිපාලනමය ව්‍යුහය වෙනස් කරලා ස්වාධීන වූ අක්‍ෂක කමිටුවක් සහ සභාපති කෙනෙක් හරහා වෙනම අයුරකින් තමයි ඔවුන්ගේ කටයුතු ගෙන යන්නේ. එය මේ තනතුරට වඩා වෙනස් යෙදීමක්.

සුද්දන්ගේ ක්‍රිකට් සම්ප්‍රදාය වෙනස් කරමින් ලැබුණු මේ ගෞරවය හරහා දැන් ඉතිං ‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම’ වගේ නම් වලට බොහොම සාධරණයක් වෙනවා නේද…?

ඇත්තටම මම එහෙම නමක් ගැන එදා ඒ වෙනකම්ම දැනගෙන හිටියේ නැහැ. සජිත් ඇමැතිතුමා මට කිව්වා ගෙවල් 35ක් හදාදෙන ව්‍යාපෘතියකට මුල්ගල තියන්න එන්න කියලා.

අර්ජුන අයියා වගේම අරවින්ද අයියත් මේ විදිහට සම්බන්ධවෙලා තියෙනවා කියලා කිව්වා. එතැනට ගියාට පස්සෙ තමයි ගමේ නම ප්‍රකාශයට පත්කළේ. එතකම් එහෙම දෙයක් මම දැනගෙන හිටියෙම නැහැ.

ඒ කටයුතුවල තියෙන්නේ දේශපාලන අරමුණක්ද නැතිනම් වෙනත් අරමුණක්ද කියන එක මට අදාළ කරගන්නේ නැහැ. කෙනෙක්ට ඉන්න ගෙයක් ලැබෙන එක විතරයි මට අරමුණු වුණේ. ඒ අරමුණින්ම එදා මම පොරොන්දු වුණා ඒ ගෙවල් 35ටම පුද්ගලිකව මගෙනුත්, මා සම්බන්ධ වෙනත් වටිනා ව්‍යාපෘතියක් හරහාත් දායකත්වයක් ලබාදෙන්නත්. එහෙම තමයි සිද්ධ වුණේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
ජයාරූප – ප්‍රදීප් දඹරගේ