ගොසිප්

අන්තිමට වෙච්ච වැඩේ

‘‘යූඇන්පී ආණ්ඩුවේ බොහෝ ඇමැතිවරු ජනාධිපතිතුමා එක්ක රහස් ඩීල් දැමීම ආණ්ඩුවේ ගමනට විශාල බාධාවක් කියලා කිරිඇල්ල ඇමැතිතුමා ඉතා වැදගත් කාරණයක් සති අග අරුණ පත්තරේට කියල තිබුණා.

ඔය ඩීල්කාරයො ඒ ලිපිය කියවලවත් හැදෙනවනම් ලොකු දෙයක්” රංජන් රාමනායක සුපුරුදු පරිදි ගිනියම් ප්‍රකාශයක් එළිදැක්වීය.‘‘වතුකම්කරුවන්ගේ ප්‍රශ්නය තාම ඇදෙනවා.” හේෂා විතානගේ මෙන්ම රංජිත් අලුවිහාරේද ඇමැති නවීන් දිසානායක දෙස බලා මතුකළේ එකම පැනයකි.

‘‘වතු කම්කරුවන්ගේ අතට රුපියල් 1000ක් දෙන එක මගේත් ස්ථාවරයයි. ඒත් ඊපීඑෆ්, ඊටීඑෆ් කැපෙන විදියට ඒක ඕනෑ කියල වෘත්තීය සමිති ඉල්ලීම් කළා. ඒ නිසා මේ ප්‍රශ්නය ටිකක් ඔද්දල් වුණා වගෙයි. නමුත් මම අගමැතිතුමා එක්ක කතා කරලා ඊළඟ අයවැයෙන් ආණ්ඩුව ගානෙ දිනකට රුපියල් පනහක් ඔවුන්ට ලබාදෙන්න එකඟ කරගත්තා. තේ ශක්ති අරමුදලේ සල්ලිත් ඒකට දානවා. ආණ්ඩුව එම මුදල් ඒ අරමුදලට යළිත් ලබාදෙන්නත් පොරොන්දු වුණා.” නවීන් දිසානායක පැහැදිලි කළේය.

‘‘අපේ ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ කෙනෙක් මිසක් පිටස්තර පක්ෂයක කෙනෙක් නොවන බව බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියල අභියෝග කළේ ජනාධිපති මෛත්‍රීට අපේක්ෂකත්වය දෙන්නේ නෑ කියල වෙන්න ඕන. එතකොට ජනාධිපතිතුමාට දැන් තමන්ගෙ ශ්‍රීලනිප පාක්ෂිකයන් අනාථ නොකර තනියම හරි ජනපතිවරණයට එන්න වෙනවා. එතුමා පොහොට්ටුවට අගමැති කමයි ආණ්ඩුවයි දෙකම දීලත් ඔන්න අන්තිමට වෙච්ච වැඩේ.” කාවින්ද ජයවර්ධන කීවේ කාගේත් සිනා මැදය.