අතන මෙතන

අන්තර්ජාලයෙන් දුර්ලභ පක්ෂීන් විකුණන ජාවාරම

 

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත හා දැඩි ආරක්ෂිත කුරුලු විශේෂ අන්තර්ජාලය ඔස්සේ කාලාන්තරයක් තිස්සේ විකිණීමේ ජාවාරමක් සිදුකරගෙන ගිය මාතලේ පුද්ගලයෙකු කුරුල්ලන් 19 ක්ද සමග අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් පෙරේදා (16 වැනිදා) සමත් විය.

වට්ස් ඇප් කණ්ඩායම් කීපයක් සකස් කර ඒ ඔස්සේ මාතලේ ප්‍රදේශයේ පක්ෂි ජාවාරමක් සිදුකෙරෙන බවට පරිසර ක්‍රියාකාරීන් දෙදෙනෙකුගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට තොරතුරු ලැබී තිබිණි. මෙම තොරතුරු මත පක්ෂි ජාවාරම පිළිබඳව වහා සොයා බැලීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගේ උපදෙස් මත වැටලීම් ඒකකයේ ප්‍රධානි බී.එස්.සුමනරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායම කටයුතු කර තිබිණි.

තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වූයේ මාතලේ නගරයේ පදිංචිව සිටින 28 හැවිරිදි අයකු වට්ස් ඇප් කණ්ඩායම් හතරක් ඔස්සේ මෙරටට ආවේණික ආරක්ෂිත හා දැඩි ආරක්ෂිත පක්ෂීන් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන යන බවය. මෙම පක්ෂීන්ගේ ප්‍රමාණය අනුව මිල ගණන් තීරණය කරන බවද අනාවරණය කර ගැනීමට වනජීවී නිලධාරීහු සමත්වූහ.

සැකකරු මාතලේ, උඩතලවින්න ප්‍රදේශයේ උපන් අයෙකු බව පැවසේ. ඔහු පක්ෂීන් මිලදී ගැනීම සහ අලෙවි කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදුකර තිබේ. වනජීවී නිලධාරීන් කණ්ඩායම පරිසර ක්‍රියාකාරීන් දෙදෙනාගේද සහාය ඇතිව මුලින්ම කරනු ලැබුවේ පක්ෂි අලෙවිකරුගේ වට්ස් ඇප් කණ්ඩායමේ සාමාජිකයන් වීමය. සැකකරු වට්ස් ඇප් මාර්ගයෙන් අලෙවි කිරීමට නියමිත පක්ෂීන්ගේ ඡායාරූප පවා සතියෙන් සතිය පළකර තිබිණි.

සැකකරු සමග වට්ස් ඇප් ඔස්සේ පරිසර ක්‍රියාකාරීන් ගොඩනගා ගත් සුහදතාවය අනුව මෙරටට ආවේණික, දැඩි ආරක්ෂිත කුරුලු විශේෂයක් වන ලංකා සැළලිහිණි පැටවුන් දෙදෙනෙකු මිලදී ගැනීමට කතිකා කරගන්නා ලදී. මෙහිදී එක් පැටියෙකු අලෙවි කිරීමට නියමිත වූයේ රුපියල් තුන්දහස බැගිනි.

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ ප්‍රධානි බී.එස්.සුමනරත්න,වන සත්ත්ව නියාමකවරුන් වන හෂාන් රන්දික හෙට්ටිආරච්චි,තරංග ධම්මික, එරන්ද බණ්ඩාර සහ රියැදුරු ප්‍රදීප් නිරංජන් ඇතුළු කණ්ඩායම පෙරේදා (16 වැනිදා) මාතලේ නගරයේ පක්ෂි ජාවාරම සිදු කෙරෙන ස්ථානය වැටලීමට කටයුතු කළේ සූක්ෂම අයුරිනි.

මාතලේ නගරයේ පිහිටි මෙම නිවස පිටුපස මඩුවක රඳවාගෙන සිටි පක්ෂීන් වනජීවී නිලධාරීන් සොයා ගත්තේ ඒ අනුවය. පැටවුන් ලී කුඩු සහිත පෙට්ටිවලට සහ කූඩුවලට දමා නිවස ඇතුළත තබා තිබිණි. මෙරටට ආවේණික දැඩි ආරක්ෂිත පක්ෂියෙකු වන ලංකා සැළලිහිණින්, ආරක්ෂිත පක්ෂියෙකු වන ලබු ගිරව්, මෙරටට ආවේණික දැඩි ආරක්ෂිත පක්ෂියෙකු වන අළු ගිරව් පක්ෂීන් 19 දෙනකු වනජීවී නිලධාරීන් භාරයට ගන්නා ලදි.

ලංකා සැළලිහිණින් වැඩුණු පක්ෂියෙකු සහ පැටවුන් තිදෙනෙක්, ලබු ගිරව් වැඩුණු පක්ෂීන් හතරක්,ලංකා අළු ගිරව් මධ්‍යම ප්‍රමාණයේ වැඩුණු පක්ෂීන් හයක් සහ පැටවුන් හතරදෙනෙක් මෙලෙස වනජීවී නිලධාරීන් භාරයට ගත්තේය.

මෙම සැකකරු මීට පෙර ගංජා ජාවාරමේ නිරතවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකි. අනතුරුව ඔහු පක්ෂීන් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මාතලේ ප්‍රදේශයේ කැලෑවල ගස්වල බෙන ආශ්‍රිතව පක්ෂීන් බිත්තර දමන අවස්ථා දිගින් දිගටම නිරීක්ෂණය කර, එම පැටවුන් අල්ලා සැකකරුට අලෙවි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර,එක් පක්ෂියෙක් සැකකරු මිලදී ගෙන ඇත්තේ රුපියල් දහසකටය.

මෙම සැකකරුට කුරුලු පැටවුන්ට ආහාර කැවීම, රැකබලා ගැනීම ආදී කටයුතුවලට මනා පළපුරුද්දක් තිබෙන බව වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණයවී ඇත. ලංකා සැළලිහිණි පැටවෙකු රුපියල් තුන්දහසකටද, කතා කරන ලබු ගිරවෙකු රුපියල් දස දහසකටද, වැඩුණු ලබු ගිරවෙකු රුපියල් හයදහසකටද, කතා කරන සැළලිහිණියෙකු රුපියල් තිස්පන් දහසකටද අලෙවි කරන බව සැකකරු වනජීවී නිලධාරීන්ට පවසා තිබේ.

ඔහුගෙන් නිතරම පක්ෂීන් මිලදී ගන්නා ස්ථිර ගැනුම්කරුවන් කිහිපදෙනෙකුම සිටින බවද අනාවරණයවී ඇත. වට්ස් ඇප් ඔස්සේ පක්ෂීන් ඇණවුම් කිරීමේදී මුලින්ම සැකකරුගේ ගිණුම් අංකයට මුදල් බැරකළ පසුව බස් රථ රියැදුරන්ගේ මාර්ගයෙන් අදාළ ප්‍රදේශවලට යැවීමට සැකකරු කටයුතු කර තිබේ.

සැකකරු වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ මාස හයක පමණ කාලයක සිට පක්ෂීන් අලෙවි කිරීම සිදුකරන බවය. නමුත් මෙම ජාවාරම ඊට වැඩි කාලයක සිට සිදුකරගෙන ගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා (16 වැනිදා) මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත. පක්ෂීන් 19 දෙනා ගිරිතලේ සත්ත්ව රෝහලට යැවීමට කටයුතු කෙරුණි. ඒ එම පක්ෂීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩිදුර වාර්තාවක් ලබාගැනීම සඳහාය.

මෙම සැකකරුට පක්ෂීන් අලෙවි කිරීමේ ජාවාරමේ නිරතවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සාලිය කුමාර ගුණසේකර