අතන මෙතන

අනවසරෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් තේ වත්තේ විශාල වලක් හාරා අනවසරෙන් මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දමමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අද(5) දින බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රසෝ තේ වත්තේ සැකකරුවන් පිරිස අනවසරෙන් මැණික් ඉල්ලම් පස් ගොඩ දමමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර අදාල සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක්, ගොඩ දමා තිබු ඉල්ලම් පස් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අවුරුදු 50 ත් 55 ත් වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් එම වතු යායේම පදිංචිකරුවන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙට්රසෝ තේ වත්තේ ස්ථාන කිහිපයකම අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමේ නිරතව සිටි අය බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන්ට එරෙහිව මේ මස 11 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව බගවන්තලාව පොලිසිය කියා සිටියේය.

 

සිතාර ඉරාෂ්