විශේෂාංග

අනතුරට අත වනන හැටි මෙන්න

 

‘‘රටේ නායිකාවගේ බඩේ ටයර් නොහොත් රැළි ගණන් කළාට රටක බලය ලැබෙන්නේ නැත’’

මේ චන්ද්‍රිකා මැඩම් ජනාධිපති කාලේ යූඇන්පියේ සිටි එවකට ජ්‍යෙෂ්ඨම යූඇන්පී නායකයකු කිව් කතාවකි. කතාව කියූ යූඑන්පී නායකයා විජයපාල මෙන්ඩිස්ය.

මේ රටේ ටයරයකට දැවී අවසන් ගමන් යන තරුණයන් සිටි භීෂණ යුගයක් තිබූ බව අද බොහෝ දෙනකුට මතක නැත. ඒත් ඉතිං දැන් නම් ටයර් සෑයවල්වල අවසන් ගමන් යන යුගයක් වර්තමානයේ නම් ඇති නොවන්නේ රට පුරා මහා ටයර් හිඟයක් ගැන කිය​ෙවන නිසාය.

අප මීට පෙරත් මෙරට වෙළෙඳපොළ තුළ ටයර් හිඟය නිසා වයර් මාරු වී ඇති අන්දම ගැන ලිපියක් ලිව්වත් මෙවර ටයර් ප්‍රශ්නය කරළියට එන්නේ ‘කට්ට නැති ටයර්’වලට දඩ ගහන ‘කනේ මයිල් ඉස්මයිල් වන’ තර්ජනයත් සමගය. අපට මුලින්ම සොයාගත යුතු වූයේ ටයර්වල කට්ට තියෙන්නේ ඇයි යන ප්‍රශ්නයයි. බොහෝ දෙනා කිව්වේ පාර සමග ඝර්ෂණය එයින් වැඩිවන බවය. ඒත් කට්ටවල අැති ප්‍රධාන ප්‍රයෝජනය වන්නේ වැහි දිනවලට කට්ට ඇති වාහනයක ටයරයේ ඇති කට්ට අස්සෙන් අනවශය ජලය රූටා ගොස් පාරත්, ටයරයත් අතර ඝර්ෂණය වැඩිවීම තමයි මේ කට්ටවල ඇති වැදගත්කම. කට්ට නොතිබුණොත් වෙන්නේ පාරත් ටයරයත් අතර වතුර තට්ටුව නිසා බ්රේක් ගැසූ විට වාහනය ලිස්සා යාමය. ඉදිරියෙන් එන හුළං ප්‍රවාහය පසුපසට යන්නේත් මේ කට්ට හරහාය. හොඳට කට්ට තියෙන ටයර් ඇති වාහනයක් වැහි දිනවල යනකොට ඒ ළඟින් යන කෙනකුට මේ බිම අතරින් විසිවෙන වතුර ටික ස්ප්‍රේ වෙනවා වගේ දැනෙන්නේ මේ නිසාය. ඒත් සමහර රේස් දුවන කාර්වල කට්ට ගෙවුණ වාහන ඕන තරම් දැක ගන්න පුළුවන්. ඒ, ඒ තරග වැස්සේ නොපැවැත්වෙන නිසාය.

දින තුනක් පුරා ගෙවී ගිය ටයර් සහිත වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ආරම්භ වූයේ පසුගිය සතියේය. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වාහන වල දෝෂ මෙන්ම ගෙවී ගිය ටයර භාවිත කිරීම ද දිනෙන් දින ඉහළ යෑම රිය අනතුරුවලට එක් හේතුවක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසූවේ රියැදුරන්ගේ නොසැලකිල්ල, අපරීක්ෂාකාරී බව, බීමත්ව රිය පැදවීම යන කරුණු ද රිය අනතුරුවලට හේතු වී ඇති බවයි. මෙම ප්‍රකාශය නිකුත් කිරීමට පැය 24 කට පෙර රිය අනතුරුවලින් ජීවිත 8 ක් මහමගට බිලි වී ඇති බවත් දෛනිකව පුද්ගලයන් 9-10 අතර සංඛ්‍යාවක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන බවත්, මේ අතර පොලිසියට අනුව දෛනිකව රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයන් සංඛ්‍යාව 30-40 බවත් මෙහිදී හෙළිදරව් විය. කට්ට පරීක්ෂාව ආරම්භ වූ සැනින්ම ඊට ප්‍රතිචාර දක්වූයේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය.

ගෙවීගිය ටයර් සහිතව ධාවනය කරනු ලබන වාහන සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂිකර්මාන්තයේ නිරත වෙන ‘බට්ටා’ වාහන ඇතුළු අනෙකුත් වාහන සඳහා ක්‍රියාත්මක නොකරන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම ඇමැති පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මේ වන විට වෙළෙඳපොළෙහි ටයර් හිඟයක් පවතින බැවින් ගොවීන්ට ඒ සම්බන්ධයෙන් සහනයක් සලසන්නැයි විපක්ෂ මන්තී රෝහණ බණ්ඩාර මහතා කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේ ඊට පිළිතුරු දෙමිනි.
ටයර් කියපු ගමන් අප මතකයට එන්නේ සාමාන්‍ය බස් රථ සේවයයි. මේ පොලිසියේ වාහන ටයර් පරීක්ෂාව ගැන පොලිසිය දෙආකාරයකට සලකන බවට මුලින්ම චෝදනා කරන ලද්දේ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නය.

පස්සර බස් රථ අනතුරෙන් පසු පොලිසිය පෞද්ගලික බස් රථවල ටයර් පරීක්ෂා කළත් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ටයර් පරීක්ෂා නොකිරීම නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක කිරීමක්. ටයර් ආනයනයද නවතා දමා ඇති නිසා ටයර් හිඟයක් රටේ පවතින බවත්, වෙළෙඳපොළේ පවතින ටයර්වල මිල ගණන් ද අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා හමුවේ බස් රථවල මගීන් ප්‍රවාහනය ද සීමාකර ඇති වකවානුවක වැඩි මිලක් ගෙවා ටයර් මිලදී ගැනීමට බස් හිමියන්ට සිදුවීම දැඩි අපහසුතාවක් වෙනවා. මෙම ගැටලුව නිසා පෞද්ගලික බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් වී තිබෙන බවද කී විජේරත්න මහතා එක් බස් රථයකින් සිදු වූ වැරැද්දට සියලුම පෞද්ගලික බස් රථ අපහසුතාවට පත් නොකළ යුතු බවද අවධාරණය කොට සඳහන් කළේ මේ ටයර් පරීක්ෂාවෙන් මුලින්ම පහර වැදුණේ පෞද්ගලික බස් කර්මාන්තයට කියාය.
මේ අතර ආණ්ඩුව ගත් ටයර් තහනම් තීරණය නිසාම ආණ්ඩුවේ ඉස්පිරිතාලවල සමහර ගිලන් රථවලට අත් වී ඇති ඉරණම ගැන ප්‍රකාශයක් නිකුත්කොට තිබුණේ පාරිභෝගික අයිතීන් දිනා ගැනීමේ සංගමයේ අසේල සම්පත්ය. ඔහු පවසා සිටියේ මෙරට බොහෝ රෝහල්වල ගිලන් රථ නොහොත් ඇම්බියුලන්ස් බොහෝමයක් ටයර් නොමැති වීම නිසා භාවිතයෙන් ඉවත් කොට ඇති බවය. එසෙම් ඔහු පවසා සිටියේ අධික වේගයෙන් යන ගිලන් රථවල ටයර් ගෙවී තිබීම අනතුරුදායක බවය. මෙම ටයර් හිඟය නිසාම පසුගිය 17 වැනිදා ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් තවත් රෝහලකට ගිලන් රථයකින් රෝගියකු ගෙන යාමේදී සිදු වූ ප්‍රමාදයෙන් මරණයක් වාර්තා වීම තරමට මෙරට වාහන ටයර් ප්‍රශ්නය ඔඩුදුවා ගොස් හමාරය.

මේ ටයර් කට්ට ගැටලුවේ නීතිමය පසුබිම පසුගියදා පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විසිනි.

‘‘කට්ට නොමැති ගෙවුණු ටයරයක් පාවිච්චි කරන පුද්ගලයකුට රුපියල් 3,500 සිට 25,000 දක්වා දඩයක් හා මාස 6 ක සිර දඬුවමක් නියම කළ හැකි බව මෝටර් වාහන පනතේ 145 වගන්තියේ සඳහන් වන බව ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පසුගිය සතියේදීය.

‘‘මේ දිනවල මාර්ග අනතුරු සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කරනවා. අපේ රටේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවක් පිහිටුවා තිබෙනවා. මෝටර් වාහන පනතේ 145 වන වගන්තියේ සඳහන් වෙනවා කට්ට් නැතිව ගෙවිච්ච ටයරයක් පාවිච්චි කරන කෙනකුට රුපියල් 3500 සිට රුපියල් 25,000 දක්වා දඩයක් නියම කළ හැකි අතර මාස 6 ක සිර දඬුවමක්ද නියම කළ හැකියි. මෙහි හාස්‍යයට කරුණ නම් මෙම අනතුර සිදු වූවාට පසුව මෙවැනි නීති ගෙනත් පොලිස්පතිවරයා 2021.03.21 නිල කාර්යාලයෙන් ලිපියක් යවනවා මේ සම්බන්ධව. 2021 ජනවාරි පස්වන දින සිට ලංකාවට ටයර් ආනයනය අත්හිටුවා තිබෙනවා. එම නිසා මෙම වාහන පරීක්ෂා කිරීම විශාල ගැටලුවක් බවට පත් වී තිබෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් මාර්ගවල වාහන හතළිස්පන්දහසක් පමණ ධාවනය වෙනවා.’’

ඇත්තටම මේ ටයර් කට්ට ප්‍රශ්නය ගැන කොළඹ ගෙන්දගම් පොළොවේ ටයර් කඩවල කියන්නේ මොනවාදැයි බලන්නට අපට අවශ්‍ය විය. බොරැල්ල, මරදාන ආදී ටයර් තොග කඩවල සුපිරි වාහනවලට නම් ටයර් අඩුවක් නැතිව තිබුණි. පොඩි පොඩි ටයර් අලෙවි කඩවල නම් ජනප්‍රිය සුසිකි ඇල්ටෝ, ඩිමෝ බඩ්ටා, වැගන්ආර් ආදී රථවල ටයර් නම් තිබුණේම නැත. බොහෝ තැන්වල බස් ටයර් ලෙස විකුණන්නට තිබුණේ ‘ඩැක්’ නොහොත් නැවත පුරවන ලද ටයර්ය.

‘‘ඔය ටයර් පුරවන්න රත්කරනකොට ටයර් එකේ හයිය නැතිවෙන්නේ නැද්ද?’’ ටයර් කඩයක සිටි දිගු රැවුල සහිතව දුම්කුඩු ස්වල්පයක් නහයට උරමින් සිටි ‘‘නානා’ ගෙන් ඇසුවෙමි.

‘‘මොන රත්විල්ලක්ද බොසා. ඔය වතුර නටන රස්නෙටත් අඩුයි. රිබීල්ඩ් කරන ටෙම්පරේඩර් එක. දැන ත්‍රිවීල්වලට දාන්නෙත් රිබිල්ඩ්. අලුතෙන්ම ත්‍රීවිල් ටයරයක් 3000 යි. රිබිල්ඩ් ටයරය රු. 1000යි.’’

පංචිකාවත්තේ වටරමුව පසුකොට අල්මා හන්දිය දෙසට යන විට ඇත්තේ අනතුරු සිදු වී ඇති වාහන රක්ෂණ සමාගමෙන් වෙන්දේසි වලින් ගන්නා ව්‍යාපාරික පිරිසකි.

‘හැප්පිච්ච, කොන්ඩෙම් ඇල්ටෝ එකක්, බට්ටෙක්, වැගන්ආර් එකක් ගේන ෙකාට මිනිස්සු පොරකනවා. ටයර්වලටයි, බැටරියටයි. ටයර් එක පැත්තෙන් හිල්වෙලා තිබ්බත් කට්ට තියෙනවා නම් ගෙනියනවා. දැන් ඔය ටයර්වල ලොකු හිල් තම්බලා වහලා ටියුබ් කෑලි තියලා රෙපයාර් කරන පිරිසකුත් බිහිවෙලා ඉන්නවා. සමහර වෙලාවට කන්ඩෙම් වාහනේ යාඩ් එකෙන් බාන්න කලින් ටයර්වලට සල්ලි ගෙවන අය ඉන්නවා.’’
රත්තරං බඩුවලට කොළඹ ප්‍රසිද්ධ හෙට්ටිවීදිය වගේ ටයර්වලට ප්‍රසිද්ධ ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතයි. එම ටයර් කඩවල නම් ටයර් ඕනෑතරම් පෙනෙන්නට ගොඩ ගසා තිබුණි. සෙකන්ඩ් හෑන්ඩ් ටයර් ගොඩ ගසා ඇත්තේ පාරේ කොස්ගස් හන්දිය පැත්තට වෙන්නටය. ටිකක් ටයර් බිස්නස් වැඩියෙන් පෙනෙන්නට තිබූ පැරමවුන්ට් නම් ආයතනයේ ප්‍රධානී දිලූප හමු වී ටයර් හිඟය ගැන කියූ විට ඔහුග් මුවඟට නැගුණේ සිනාවකි.
ලංකාවේ ඔක්කොම ටයර් වර්ග තහනමක් නැහැ. ටයර් වර්ග 2 යි තහනම්. ඩිමෝ බට්ටා එකටත්, ඇල්ටෝ එකටයි, ඩිමෝ බට්ට සයිස් එක 155×12. ඇල්ටෝ නම් 145/8GR 12 මේ දෙක තමයි ඉම්පෝට් තහනම් කළේ. දැන් මේවා ලංකාවේ හදනවා.’’

එතකොට වැගන්ආර්වලටත් ටයර් හිඟයි නේද?

ගිය සුමානේ ඒ ටයර් ආවා. එහෙම හිඟයක් නැහැ. කොහොමත් සයිස් 155x18CR13, 155x8CR 12, 155R 13, 165R13, 145/70R 12, 135/70R12 , 155/65×13, 175/70×13 ටයර් ඉම්පෝට් නැවැත්තුවේ නැහැ.
පසුගියදා පස්සරදී අනතුරට පත් වුණේ බස් රථයකි. බස් රථවල ටයර් සයිස් එක වන්නේ 900×20 ප්‍රමාණයයි. එම ටයරයක මිල රු. 36,000 ක්. ඒ කියන්නේ බස් එකට අලුත් ටයර් සෙට් එකක් දාන්න ගියොත් වැයවන මුදල රු. 250,000 කට අධිකය. බස් රථ ටයරයක රිබිල්ඩ් කරන්නට රු. 15,000 ක් වැයවේ.

‘‘දැන් ඉතින් ඔය බස් ත්‍රීවීල් ටයර් හිඟයි නේද?

‘‘මොන පිස්සුද? ඕනතරම් තියෙනවා.’’

හැමතැනම කියන්නේ ටයර් හිඟ බවකි. අප නැවතත් මේ ගැන දිලූපගෙන් අසා සිටියෙමු.

‘‘ඩිමෝ බට්ටා ටයර් 5000 යි., ඇල්ටෝ ටයර් 5000 යි සති 2 කින් හැදුව නම් මේ ප්‍රශ්නෙ ඉවරයි. ඕක වෙන්නේ දහ දෙනෙක් කඩ දහයකින් එකම ටයර් එක ඉල්ලුවාම හැමෝම හිතනවා ටයර් හිඟයි කියලා. ඇත්තටම මම වැගන් ආර් ටයර් ඕනකරන 20 දෙනෙක් ඩයරියේ ලියාගෙන ටයර් ගෙන්නල ඒ ගොල්ලන්ට කෝල් කරා. එකම එක්කෙ​ෙනක් විකරයි ඇවිත් ටයර් අරගන්නේ. අනිත් ඔක්කොම කිව්වේ යාළුවෙක්ට, පස්සෙ ගන්නම්. යාලුවට මේ ගැන කියන්නම්. නැතිවෙයි කියලා අරන් තියාගන්න බැලුවේ. පස්සේ ගන්නම් වගේ දේවල්. ඇත්තටම වෙලා තියෙන්නේ ටයර් තියෙනවා, ගන්න සල්ලි නැහැ.

ටයර් හිඟය නිසා ටයර් මිල ඉහළ ගියා නේදැයි අප ඇසුවිට දැන ගන්නට ලැබුණේ වෙනත් කතාවකි.

‘දැන් ටයර් වැඩිවෙන්න ඕන මිල වැඩිවෙලා ඉවරයි. ඉස්සර ටයර් 100 ක් ගෙනාවම දෙන මිලට දැන් දෙන්න බෑ. දැන් ගේන්නේ ටයර් 25 යි. එහෙම හිතලා අපි සේවකයෝ අඩු කළේ නෑ. කඩ කුලී අඩු වුණේ නෑ. කොරෝනාවට වහපු කාලෙත් වැඩ කරන අයට පඩි ගෙව්වා. ඉතින් 7000 ටයර් එක ඉබේම 7500 ට 8000 ට 8500 ට නග්ගනවා. ඊටත් වැඩිය නග්ගනවා නම් ඉතින් කළුකඩකාරයෝ තමයි. මේ ප්‍රශ්නය ඇති වුණේ කොවිඩ්වලට සියැට් පැක්ටරිය දවස් 10 ක් වහල තිබ්බා. ඒ ඩ්‍රොප් එක දිගටම බලපෑවා.’’

මේ වෙළෙඳුන් දැන් පවසන්නේ ලංකාවේ ටයර් හදන හොරන ෆැක්ටරියේ ටයර් උණු කැවුම් මෙන් විකිණෙන බවය.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී අශෝක් අබේසිංහ සජබ මන්ත්‍රීවරයා කිව්වේ ටයර් ආනයනය නිසා මාර්ගවල අනතුරු බහුලව සිදුවන බවය. එදාම එම පාටියේම කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ කිව්වේ ගෙවීගිය ටයර්වලට දඩ ගැසීමට පෙර ටයර් ගෙන්වන්නට කියාය.
පොලිසිය කියනවා ටයර් ගෙවිලා තියෙනවා නම් රුපියල් 3500 ක දඩයක් ගහනවලු. අඟල් 12, 13 ටයර් රටේ නැහැ. අද රජය ටයර් ගෙන්වන්නේ නැහැ. එහෙම තිබියදී නඩු දානවලු නීතියේ තියෙනවා. ඒත් රටට ටයර් ගෙන්වන්නේ නැහැ. ටයර් ගෙවිච්චා බලන්න පෙර ටයර් ගෙන්වන්න.’’යි කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ඒ නිසාය.

අන්තිමට කට්ට ගෙවුණ වාහනවලට දඩ ගැසීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය තාවකාලිකව අත්හිටුවූවා ගැනීමට රජයට සිදු විය. පවතින ටයර් හිඟය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර අවශ්‍ය ටයර් ගෙන්වීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ මේ දිනවල රට තුළ පවතින ටයර් හිඟය හේතුවෙන් ටයර් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය කිසියම් තීන්දුවකට පැමිණියාද යන්න පිළිබඳ කැබිනට් මාධ්‍ය හමුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි.

‘‘මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ අවශ්‍යතාව සම්බන්ධව පිළිගත්තා… අපේ රටේ රජයේ නිෂ්පාදනයේ සීමාවන් තිබෙනවා. ඒ සීමාවන්වලට අමතරව අවශ්‍ය දේවල් ගේන්න තීන්දු කරලා තියෙනවා.

මේ දිනවල ගෙවුණ ටයර් සම්බන්ධයෙන් පවතින පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙසේය.
ටයර් හිඟයක් පවතින අවස්ථාවක මෙවැනි මෙහෙයුමක් සිදුකිරීම අසාධාරණ බව බස් රථ හිමියන්ගේ සංගමය චෝදනා කර සිටිනවා. මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙනුයේ රජයේ වාහන නොව පෞද්ගලික අංශයේ වාහන බවට චෝදනාවක් පවතිනවා.

‘‘එහෙම නීති දෙකක් නෑ. බොහෝම පැහැදිලිව කියන්න ඕන ඒක පෞද්ගලික අංශය රාජ්‍ය අංශය වශයෙන් කියලා නැහැ. ටයර් ගෙවෙනවා නම් ගෙවෙනවා හැමෝගෙම. ඒ පරීක්ෂා කිරීම හෝ ඔවුන්ට දඬුවම් කිරීමේ ප්‍රශ්නය තාවකාලිකව අත්හිටුවලා තියෙනවා’’ යැයි අමාත්‍යවරයා පැවසීමෙන් පසු වාහන ටයර් කට්ට ප්‍රශ්නය තාවකාලිකව යට යන ලදී.

ටයර් අලෙවිකරුවන් කියන්නේ දේශීය ටයර් සඳහා ආයතන අනෙකුත් ටයර් නිෂ්පාදන නවත්වා ඩිමෝ බට්ටා සහ සුසුකි ඇල්ටෝ ටයර් 500 බැගින් නිෂ්පාදනය කළොත් මේ ටයර් ප්‍රශ්නය ඉවර වන බවය. කොයි හැටි වෙතත් ඇමැතිතුමා කියන්නේ අවශ්‍ය ටයර් ආනයනය කළ යුතු බවය. සීනි මාෆියාවට පසු හාල් මාෆියාව හටගත් අතර ටයර් මාෆියාව දැන් වේදිකාවට පැමිණ ඇතැයි සිතෙන්නේ මේ නිසාය.

වජිර ලියනගේ