අතන මෙතන

අධිකරණයේදී සැරයන්ට තර්ජනය කල චූදිත රිමාන්ඩ්

බදුල්ල පොලිසියේ අධිකරණ  රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකුට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී තර්ජනය කළ බව කියන රිය අනතුරක නඩුවක චූදිතයෙක් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා 12 දින නියෝග කළේය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේදී (11) දා පදිකයින් සිවු දෙනෙක් හා යතුරුපැදිකරුවෙක් අනතුරට ලක්කරමින් සිදුවූ මෝටර් රථ අනතුරක් සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

ඔහු 12 දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිවේදියෙකු මගින් ඉදිරිපත් කළ ඇප අයැදුමට එරෙහිව පොලිස් නිලධාරියා කරුණු සැලකළේය.

කෙසේ නමුත් චූදිතයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් වරයා නියෝගකළේය.

ඉන්පසු විත්තිකරුවන් රදවා තිබෙන කූඩුවේ සිටම තමාට මරණීය තර්ජන එල්ලකළැයි පොලිස් නිලධාරියා විසින් මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කර තිබේ.

එය විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම චූදිතයා එම සිද්ධිය සදහා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකළේය.

 

අමිල ක්‍රිෂාන්ත