විශේෂාංග

අධ්‍යාපන අමාත්‍යංශය ආදී මානවයාට කිතුල් ඇට කැව්වලු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඔවුන්ට අනුබද්ධ ආයතන පර් යේෂණ කරන්නේ බොහොම දුක් මහන්සියෙනි. ඔවුහු වරින්වර සිය පර් යේෂණ මගින් රටේ අතීතය පිළිබඳ අලුත් කාරණා ද සොයා ගනිති. එහෙත් ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය තවමත් දැයේ දූ දරුවන්ට උගන්වන්නේ පැරණි සහ වැරදි කරුණු ඇතුළත් ඉතිහාසයකි!

අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන්, ‘අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව’ පාසැල්වලට බෙදාහැර ඇති ‘10 වන ශ්‍රේණියේ ඉතිහාසය’ පෙළ පොතේ එවන් වැරදි සහ යාවත්කාලීන නොවූ ඉතිහාස කාරණා ගණනාවක් ම ඇතුළත් ය. ඒවා වැඩිපුර ම ඇත්තේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු දැක්වෙන දෙවැනි පරිච්ඡේදයේ ය. ඒවා ඉගෙන ගන්නා දරු පරපුර, ඔවුන්ගේ පාසල් පාඩම ඔස්සේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මවා ගනු ඇත්තේ වැරදි චිත්‍රයකි.
ලියුම්කරු මෙම කාරණය හෙළිදරව් කර ගැනීම සඳහා භාවිත කරන්නේ පාසල්වල 10 වන ශ්‍රේණියට නියමිත ඉතිහාසය පෙළ පොතේ, 2018 වසරේ කෙරුණු පස්වන මුද්‍රණයයි. එහි එන ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධ ඇතැම් කාරණා සාවද්‍යය. පෙළ පොතේ 15 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට, ලංකාවේ විසූ ආදි මානවයන් ‘පිෂ්ටය බහුල ආහාර’ වශයෙන් ‘කිතුල් ඇට’ සහ ‘දෝතළු ඇටවල මද’ භාවිතකර තිබේ.

මෙය අතිශයින් ම හාස්‍යජනක කාරණයකි. ‘කිතුල්ඇට’ යනු කිතුල් ගසේ මලෙන් (කිතුල් මල) හට ගන්නා ‘ගෙඩි’ ය. සාමාන්‍යයෙන් ඒවා ලොකු මිදි ගෙඩියක් තරම් විශාල ය. එක් කිතුල් මලකින් එවන් ගෙඩි සිය ගණනක් සෑදෙයි. ජන ව්‍යවහාරයේ දී ඒවා හැඳින්වෙන්නේ ‘කිතුල් ඇට’ නමිනි. කිතුල් ඇට, ආහාරයට ගත හැකි දෙයක් නොවේ. ඉදුණු ‘කිතුල් ඇට’ මහත් ගිජුකමින් ගිල දැමීම උගුඩුවන්ගේ සිරිතයි. එහෙත් උන්ට ඒවා දිරවන්නේ නැති තරම් ය. එබැවින් කිතුල් ඇට කෑ උගුඩුවන්, මල පහ කිරීමේ දී කෙඳිරිගාමින් මහත් අර්බුදයකට මුහුණ දෙති. එයින් ‘කිතුල් ඇට කාපු උගුඩුවා වගේ’ යැයි ජන වහරක්ද නිර්මාණයවී තිබේ. තැලුණු කිතුල් ඇට මිනිස් සිරුරෙහි ස්පර්ශ වූ විට අධික කැසිල්ලක් හට ගනියි. ‘බයිසිකල් රේස්’ බහුල අලුත් අවුරුදු කාලයට, ඇතැම් ප්‍රතිවාදී ක්‍රීඩකයන් පසු බැස්සවීම පිණිස සමහරු කිතුල් ඇට තලා කලවම් කළ වතුර ගසති. ඉතින් ආදි මානවයන් ඒවා ආහාරයට ගත්තේ කෙසේ ද? යන්න ගැටලුවකි.

දෝතළු යනු පුවක් වල්ලක් ආකාරයට පල දරන ගෙඩි විශේෂයකි. ඒවා වෙරළු ඇටයක් තරම් කුඩා ය. දෝතළු ගෙඩියේ ලෙල්ල පැඟිරි ගතියෙන් යුක්ත ය. එය කටේ තැවරුණ හොත් කසන්නට පටන් ගනී. තෙත් කලාපීය ගම්වල පුවක් නැති අවස්ථාවල, බුලත් විට සඳහා දෝතළු ගෙඩිවල ඇටය සැපීම සිරිතකි. ඒ හැර එහි ආහාරයට ගත හැකි තරම් මදයක් නැත. ආදි මානවයන් පිෂ්ට ආහාර පිණිස ඒවා කෑවේ කෙසේ ද? යන්න තවත් ගැටලුවකි.
ඉතිහාස පෙළ පොතේ පාඩම්වල එන පුරාවිද්‍යා කැණීම් සහ පර් යේෂණ වැඩි හරියක් ම කෙරුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. ඒවායෙහි යෙදුණු විද්වතුන් කියන්නේ, ආදි මානව දිවිසැරිය සම්බන්ධයෙන් තමන් කළ පර්යේෂණවල දී, පිෂ්ටය සහිත ආහාර වශයෙන් කිතුල් ඇට හෝ දෝතළු කෑ බවක් අනාවරණය නො වූ බවයි.

මෑතක් වන තුරු ම දැන සිටි ආකාරයට, අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව ජනාවාස සාධක, අදින් වසර 1,25,000ක් පමණ පැරණි ය. ලංකාවේ ආදි මානව ජනාවාස සම්බන්ධයෙන් මෑතක හෙළිදරව් වුණු පැරණිතම පුරාවිද්‍යා කාල නිර්ණ සාධකය එයයි. මේ කතාව තම දරුවන්ට උගන්වන 10 ශ්‍රේණියේ ඉතිහාස පෙළ පොත, සිය 13 වැනි පිටුවෙහි එම සාධක හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් බූන්දල, පතිරාජවෙල ප්‍රදේශයේ අඩි 45ක් ගැඹුරු කැණීමකින් ලැබුණු බව කියයි. එය වැරදි තොරතුරකි.

බූන්දල, ‘පතිරාජවෙල’ ප්‍රදේශයෙන් මෙම තොරතුර වාර්තා වූයේ 1972 වර්ෂයේ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ප්‍රධානත්වයෙන් කළ පර් යේෂණ ඔස්සේ ය. ඔහු එවකට කටයුතු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂවරයා වශයෙනි.

ලියුම්කරු මේ ගැන කළ විමසුමේ දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා පැවසුවේ, ‘අපි වළවල් නම් හෑරුවේ නෑ. ඔය ජනාවාස සාධක හමු වුණේ පතිරාජවෙල ප්‍රදේශයේ වෙරළාසන්න වැලි නිධිවල තිබිලයි. ඒවායින් සොයා ගත් ගල් ආයුධ අදින් වසර 1,25,000ක් පමණ පැරණි බව ඔප්පු වුණා. අඩි 45ක් ගැඹුරු කැණීමක් කළාය කියලා කියනවා නම් ඒක වැරදියි’, යනුවෙනි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂවරයකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතා ද පසු කාලයේ ලංකාවේ ප්‍රාග් මානව ඉතිහාසය සම්බන්ධයෙන් පර් යේෂණ රැසක් කළ විද්වතෙකි. ඔහු පවසන අන්දමට, 1972 වර්ෂයේ පර් යේෂණයට ලක් කෙරුණු බූන්දල සහ පතිරාජවෙල යන භූමි ප්‍රදේශ වෙරළබඩ වැලි කඳුවලට අයත් වෙයි. බොරලු සහිත එම වැලි කඳු, පුරාවිද්‍යාත්මකව හඳුන්වන්නේ ‘ඉරණමඩු පාංශු සැකැස්මට’ අයත් වැලි නිධි වශයෙනි. ඒවා හට ගෙන ඇත්තේ පෘථිවි ඉතිහාසයේ ප්ලයිස්ටෝසීන යුගයේ ය. ‘ඉරණමඩු පාංශු සැකැස්මට’ අයත් වැලි නිධි මුල්වරට සොයා ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ලංකාවේ ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ඊ. ජේ. වේලන්ඩ් මහතා (E.J.Wayland) මහතා ය.

ප්ලයිස්ටෝසීන හෙවත් අවසන් හිම යුගයේ, වරින්වර ඇති වුණු වර්ෂාධික දේශගුණ තත්ත්වය මෙන්ම, වරින්වර හට ගත් අධික වියළි සුළං සහිත ශීත දේශගුණ තත්ත්වයන් හේතුවෙන් මෙම බොරලු සහිත වැලි නිධි (ඉරණමඩු පාංශු සැකැස්ම) නිර්මාණය වුණු බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. දක්ෂිණ ලංකාවේ බූන්දල සහ පතිරාජවෙල යන ස්ථානවල පිහිටි වැලි කඳු ද, එසේ නිර්මාණය වුණු ඒවා ය. ඒවායෙහි ශිලා මෙවලම් ද හමු වේ. ‘ඉරණමඩු පාංශු සැකැස්මට’ අයත් පස් ස්ථර, පොළොවේ තැන්පත් වුණු ආකාරය මෙන්ම එකල පැවති පරිසරය අධ්‍යයනය කිරීම ද අතිශයින් ම වැදගත් විය. එයින්, ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මිනිසා විසූ වකවානුවේ භෞතික පරිසරය ප්‍රති නිර්මාණයකර ගැනීමට පොටක් පෑදීම, ඊට හේතුවයි.

‘පතිරාජවෙල ප්‍රදේශයේ වැලි කඳු පිහිටා තිබෙන්නේ, වර්තමාන මුහුදු මට්ටමේ සිට මීටර් 15ක් පමණ (අඩි 49ක් පමණ) උසිනුයි. මේවා පඬුවන් පැහැයේ සිට රතු පැහැයන් දක්වා විවිධයි. පර් යේෂණවල දී එයින් අදින් වසර 1,25,00ක් පැරණි මානව ජනාවාස සාධක, එනම් ගල් ආයුධ එයින් සොයා ගැනුණා, ඒක කැණීම් වළක් නෙමෙයි. ඔය පෙළ පොතේ තියෙන්නේ, ‘පොළොව මතුපිට සිට අඩි 45ක් ගැඹුරින් පිහිටි ඉරණමඩු සැකැස්මට අයත් බොරලු තට්ටුවෙන් ගල් යුගයට අයත් සාක්ෂි සොයා ගෙන තිබේ’ කියලයි. ඒක වැරදි විග්‍රහයක්’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.

ආචාර්ය මොහාන් අබේරත්න මහතා ද, 1996 වර්ෂයේ දී බූන්දල හා පතිරාජවෙල ප්‍රදේශයේ වැලි නිධි ආශ්‍රිතව පර්යේෂණ කළේ ය. එහි දී කෙරුණු ‘අක්‍ෂි උද්දීපන කාලනීර්ණ පර් යේෂණ’ අනුව බූන්දල තිබෙන ‘මධ්‍ය පුරාතන ශිලා සන්දර්භය’ අදින් වසර 80,000ටත්, පතිරාජවෙල තිබෙන ‘මධ්‍ය පුරාතන ශිලා සන්දර්භය’ අදින් වසර 1,50,000 කටත් කාලනීර්ණය කොට තිබේ. ඒ අනුව, පතිරාජවෙල ආදි මානව ජනාවාසය අදින් වසර 1,50,000ක් පැරණි ය. (ඔහු මෙම පර් යේෂණ කරන ලද්දේ, ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරන ලද ‘දර්ශනසූරී පර් යේෂණ නිබන්ධනය’ සඳහා ය.) 10 ශ්‍රේණියේ ඉතිහාස පෙළ පොත, මේ අලුත් කරුණු දරුවන්ට උගන්වන්නේ නැත. මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව පැවති මතය වූයේ, ලංකාවේ ආදි මානව ජනාවාස හා බැඳුණු ‘ගල් යුගය’, අදින් වසර 1,25,000කට ඉහත දී ඇරඹුණු බවයි. ඉන් පසුව එය අදින් වසර 3800ක් (හෙවත් ක්‍රිස්තු පූර්ව 1800) දක්වා, වර්ෂ 1,21,200ක පමණ කාලයක් මුළුල්ලේ පැවතිණි. ගල් යුගයේ අවසානය සනිටුහන් කෙරුණු අදින් වසර 3800ක් පැරණි සාධක හමු වූයේ 1980 දශකය මුල් භාගයේ මන්නාරමේ, මහාතිත්ථ වරාය පරිශ්‍රයේ කෙරුණු කැණීම්වලිනි.

එහෙත් ආචාර්ය මොහාන් අබේරත්න මහතාගේ පර් යේෂණ අනුව, ගල් යුගයේ ආරම්භය දැන් තවත් වසර විසි පන්දහසක් ඈතට, එනම් අදින් වසර 1,50,000ක් දක්වා ගෙන යා යුතුව තිබේ. ඒ අනුව, ලංකාවේ ආදිතම මානව ජනාවාස සාධක අදින් වසර 1,50,000ක් පැරණි බව කල්පනාවට ගත යුත්තේ ය. ඒවා හමු වන්නේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ වෙරළබඩ පිහිටි බූන්දල ආශ්‍රිත ‘ඉරණමඩු පාංශු සැකැස්මෙනි’. මේවා 10 ශ්‍රේණියේ පාසල් පෙළ පොතින් ගිලිහී ගොස් තිබේ.

ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ලංකාවේ විසූ මානවයන්ගේ ජීවන රටාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරුණු හෙළිකර ගැනුණේ, 1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ‘කැණීම් අංශය’ බිහිවීමෙන් පසුව ය. එහි ප්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ය. නව අංශයේ ප්‍රමුඛ කාර්යභාරය වූයේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයකර ගැනීමයි. ඒ අනුව, විජය කුමාරයා මෙහි පැමිණීමට පෙර ලංකාවේ විසූ ආදි මානවයා සහ පරිසරය අතර පැවති සම්බන්ධතාවන්, පුරා-පරිසර විද්‍යා දෘෂ්ටි කෝණයෙන් විමසා බැලීම, තේමාකර ගනිමින් නව පර් යේෂණ වැඩපිළිවෙළක් සැලසුම්කර ක්‍රියාත්මක කෙරිණි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ එය වර්ෂ 1968 සිට 2000 වසර දක්වා ක්‍රියාත්මක විය.

ඒ යටතේ, කිතුල්ගල ‘බෙලි ලෙන’, කුරුවිට ‘බටදොඹ ලෙන’, බුලත්සිංහල ‘පාහියන් ලෙන’ සහ කෑගල්ලේ අත්තනගොඩ ‘අළු ලෙන’ යන ගල් ලෙන් මුලින් ම කැණීම් කෙරිණි. ඒ අතර, 1963, 1971, 2005 සහ 2009 යන වර්ෂවල උඩවලවේ වනෝද්‍යානය තුළ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස මානව ජනාවාසයෙහි කැණීම් සිදු විය.

1985 වර්ෂයේ පටන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ද ප්‍රාග් ඓතිහාසික පර් යේෂණවලට එක් විය. 1985 දී ඔවුහු සීගිරියේ අලිගල සහ පොතාන ලෙන් කැණීම් කළහ. 2003 වසරේ දී වාරණ ලෙන් කණිනු ලැබිණි. පසුව 2008 සහ 2009 යන වර්ෂවල අත්තනගල්ලේ අලවල, පොත්ගුල් ලෙන ද කැණීම් කෙරිණි. මේ පර් යේෂණ කෙරුණේ මහාචාර්ය ගාමිණී අධිකාරී මහතාගේ මෙහෙයවීමෙනි. 2009 වසරේ දී මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් ඇඹිලිපිටියේ රංචාමඩම ආදි මානව සුසාන භූමිය කැණීම් කෙරිණි.

මේ සියලු පර් යේෂණවලින් ආදි මානවයන්ගේ ජීවන රටාව පිළිබඳව තොරතුරු රාශියක් හෙළිකර ගැනුණි. ඒ අනුව, ආදි මානවයන්ගේ ජීවන රටාව, තෙත් කලාපීය හෝ වියළි කලාපීය පරිසරය මත පදනම්ව ඇති බව පෙනුණි.

තමන් ජීවත් වන පරිසරයෙන් ලබා ගන්නා ශාකමය හෝ මාංශමය ද්‍රව්‍ය ඔවුන්ගේ ආහාර බවට පත් විය. මේ ආකාරයට ඔවුන්, විවිධාකාර සතුන් දඩයම් කිරීම සහ වනයෙන් පලතුරු වර්ග, අල වර්ග සහ තවත් ශාකමය ද්‍රව්‍ය (වල් දෙල් සහ ඇටි කෙසෙල් ආදී) නෙළා ගැනීම මගින් සිය ආහාර අවශ්‍යතාව සපුරා ගෙන ඇති බව අනාවරණය විය. ඔවුන්ගේ දඩයම් ආහාරවලට වල් ඌරා, ගවරා, ගෝනා, මුවා, අලියා, තලගොයා සහ වඳුරා ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් මෙන් ම මිරිදිය මසුන් හා බෙල්ලන් ද අයත් විය. එසේම ගස් ගොළුබෙල්ලන් ද ආහාරයට ගැනුණි. ඔවුන් ජීවත් වූයේ තැනින් තැනට සංචරණයෙහි යෙදෙමිනි.

එහෙත් 10 ශ්‍රේණියේ ඉතිහාස පෙළ පොතේ 10 වැනි සහ 16 වැනි පිටු කියවන කෙනෙකුට හැඟී යන්නේ, ආදි මානවයින් ගොළුබෙල්ලන් සිය ප්‍රධාන ආහාරයක් සේ සැලකූ බවයි.

ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරු පෙන්වා දෙන අන්දමට, මෙය වැරදි අර්ථකතනයකි. ආදි මානවයින් වැඩිපුර ම ආහාරයට ගෙන ඇත්තේ, දඩයම් කළ සතුන්ගේ මාංශ සහ වනයෙන් නෙළා ගන්නා ශාකමය ද්‍රව්‍ය (අල වර්ග සහ පලතුරු ආදී) ආදියයි. ඒවා ඝන ආහාර ය. ඒ අතරට, බෙල්ලන් ද ආහාරයට ගෙන තිබේ. ‘බෙල්ලෝ කෑවාට බඩ පිරෙන්නේ නෑ’ යැයි ඔවුහු පෙන්වා දෙති.

ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ, ‘මේ ගොල්ලෝ බෙල්ලෝ කාලත් තියෙනවා. ඒ වගේම පලඳනා (ආභරණ) සහ බිලී කොකු ආදිය හදා ගන්නත් බෙල්ලෝ ගේන්න ඇති. ගල් ලෙන්වල කළ පර්යේෂණවලින් පැහැදිලි වුණේ ඔවුන් ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල හමුවන සතුන් දඩයම්කර ආහාරයට ගත් බවයි. ඔවුන්ගේ කුස්සි කුණුගොඩවල වඳුරන්ගේ ඇටකටු ආදිය බහුලව තිබුණා’ යනුවෙනි.

2005 වසරේ කුරුවිට බටදොඹලෙනෙහි කෙරුණු කැණීම්වලින් හමු වුණු අවශේෂ අතරින් කිලෝග්‍රෑම් 78ක් ම තිබුණේ සත්ත්ව ඇටකටු ය. බෙලි කටු තිබුණේ කිලෝග්‍රෑම් 17.4ක් පමණි. ආදි මානවයන් බෙල්ලන් ගිජුව ආහාරයට ගත්ත ද? යන ප්‍රශ්නයට එය හොඳ පිළිතුරකි.

(ඉතිරි කොටස ලබන සතියේ)

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර