විශේෂාංග

අද දකින්නට නැති එරබදු මල

සිංහල අවුරුදු සමයේදී අප කුඩා කාලයේ ඇසුණු ඔංචිලි වාරම් දැන් ඇසෙන්නේ නැත. ඇසුණත් ඇසෙන්නේ රූපවාහිනී හෝ ගුවන්විදුලි නාළිකාවලිනි. ඔංචිලි වාරම් විතරක්ද? එරබදු මල් ද පෙනෙන්නට නැත.

ඔංචිලි වාරම්, එරබදු මල් කොවුල් නද, රබන් සුරල් ආදී මේ සියල්ල අවුරුදු අසිරිය මැවූ සංකේතයන්ය. එහෙත් අද ඒ බොහෝමයක් අතීත මතක සටහන් අතරට එක්ව අවසන්ය. ඒ නිසාම සොබාදහමත් සමග මනාව බද්ධ වූ අලුත් අවුරුදු මංගල්‍යය ටිකෙන් ටික වාණිජකරණයෙන් හා පුහු ආටෝප සාටෝපවලින් වැසී යාමට පටන්ගෙන ඇත. ඉස්සර මෙන් එරබදු මල් පිපෙනා අවුරුද්දක් අද අපට දක්නට නැත්තේ ඇයිදැයි අපි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ, මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් විමසුවෙමු.

‘‘එරබදුවල විද්‍යාත්මක නාමය Erythrina varigata එරබදු රනිල කුලයට අයත් ශාකයක්. අවුරුදු කාලයට මල් පිපෙන එරබදු, දේශීය ශාකයක්.
අප්‍රිකාවේ වැඩි වශයෙනුත්, මීට අවුරුදු 10-15 කට විතර කලින් ඉඳන් ශ්‍රී ලංකාවෙත් එරිත්‍රයිනා ගෝල් වැස්ප් (EGW) කියලා රෝගයක් ගැන වාර්තා වුණා. මේ රෝගය ඇති කරන්නේ බිඟුන් විශේෂයක්. ඒ හානිය ඉතාමත් බරපතළයි. එරබදු සුලබව දකින්න නැතිවීමට ප්‍රධාන හේතුවක් හැටියට මේ රෝගයට ගොදුරු වීම බලපාන්නට ඇතැයි සැලකෙනවා…’’

පලතුරු හෝ වෙනයම් ආර්ථික භෝගයකට මෙවැනි රෝගී තත්ත්වයක් වැලඳුණේ නම් ඒ ගැන සොයා බැලීමට ඇතිවන උනන්දුව බොහෝ විට වැටට සිටුවූ එරබදු ගැන ඇතිවුණේ නැත.

‘‘එරබදුවලට මේකෙන් ඇතිවුණු බලපෑම් ගැන හොයා බලන්න කවුරුත් උනන්දු වුණේ නෑ. ඒවා නිශ්ශබ්දවම අභාවයට ගියා. අනෙක ඉස්සර මේවා බොහෝ වෙලාවට දකින්න ලැබුණේ වැටවල. අද වන විට වැට සංස්කෘතියකුත් නෑ. ඒ වෙනුවට තියෙන්නේ තාප්ප…’’
ඉස්සර නම් වතුපිටි මායිම් වෙන් වූයේ එරබදු, වැට එඬරු, ග්ලිරිසීඩියා. කොරකහ වැනි ශාකවල දඬුවලින් තෙත්, වියළි කලාප අනුව වැටට සිටු වූ ශාකද වෙනස් විය. වැට ජන ජීවිතයේ අංගයක්ද විය. ඒ වැට ජීවී වැටකි.

‘‘වැට අපේ සාහිත්‍යයේ, ජනප්‍රවාද ජනකවිවල නිරූපණය වුණා. වැට අතරින් එබී බැලීම වගේ දේවල්, වැටෙන් එහා මෙහා සිට අසල්වැසියන් කෑම බීම හුවමාරු කරගත්තා වගේම අඟ හිඟත් පිරිමසා ගත්තා. ඒ විතරකුත් නෙවෙයි, පෙම්හසුන් පවා වැට අතරින් හුවමාරු වුණා… ඒත් තාප්පවලින් වටවීමත් එක්ක අපේ ජීවිතත් ඒවා තුළ කොටුවුණා. සම්බන්ධකම් ඈත් වුණා….’’

අසල්වැසි සබඳකම් ගිලිහී යද්දී අපට නොදැනුවත්වම එරබදු ද නොපෙනී ගියේ ය. යළි අපට ‘එරබදු’ සිහිපත් වූයේ එරබදු මල් දකින්නට නැති බව පෙනෙද්දීය.

‘‘එරිත්‍රයිනා වර්ග කීපයක්ම තිබුණත් ලංකාවේ දකින්න ලැබෙන්නේ මේ කියන වර්ගය සහ යක් එරබදු කියන වර්ග. යක් එරබදුත් දකින්න අඩුයි.
එරබදු ඖෂධයක් හැටියටත්, ගුණදායකයි. ආයුර්වේදයේදී එය භාවිත වෙනවා. කොළ, මැල්ලුමක් හැටියටත් ආහාරයට ගන්න පුළුවන්…’’
අපේ රටේ ඇති එරබදු වර්ග දෙකට අමතරව තවත් වර්ග විදේශයන්ගේ සිට රැගෙනවිත් තිබේ. තද රතු පැහැ මල් පිපෙන වර්ගයද එකකි. තේවතුවල ඇකෙරියා මෙන් වගාකරන ලඩප් (Ladap) නම් වර්ගයක්ද ඇත. උද්‍යානවලද මෙම ඇතැම් විදේශීය ශාක දැකිය හැකි වේ. එහෙත්, විදේශීය විසිතුරු ශාක ගැන ඇති උනන්දුව අපේ ශාක ගැන නැතිවීම කනගාටුවකි.

‘‘පාරවල් අයිනේ, බඩවැටිවල හැදෙන ශාකවලට ලෙඩක් හැදුණත් ඒවා ගැන බලන්න කවුරුවත් නෑ. ඒ ගැන උනන්දුවකුත් නෑ. කැලේ ගස්වලට ලෙඩ හැදුණාම බලන්න කවුරුත් නෑ වගේ මේ ගස් ගැනත් කවුරුත් සොයා බලන්නේ නෑ. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ අපි දකින්නේ.. සොයා බැලීමක් ඇත්නම් ලෙඩ රෝග හැදුණත් පාලනය කරගන්න ක්‍රම තියෙනවා…’’

අවුරුදු කාලයට නොවැරදීම ඇසෙන ලයනල් රංවලයන්ගේ කජු වාරේ ගීතයේ, කජු වාරය ගැන කියැවුණද දැන් දැන් ගම්වල පවා කජු ගස් ඒ තරම් දකින්න නැත.

‘‘දැන් කජු පුහුලන් හිඟයි.. ඉස්සර මේ අවුරුදු කිට්ටු වෙද්දී කජුගස්වල පුහුලන් පිරිලා. පුංචි ළමයි ඒවා කඩාගෙන කෑව කතාත් දැන් අතීතයටම එකතුවෙලා.

ඉස්සර හත්මාළුවට වුවමනා කජු ගස් යට ගොස් එකතු කර ගැනීමත්, කජු ගහෙන් කඩා ගන්නට හැකි වුවද, දැන් සිදුවී ඇත්තේ කජු වෙළෙඳපොළෙන් මිලට ගැනීමය. මිලද අධිකය. හත්මාළුව ගැනද එතරම් උනන්දුවක් ඇතැයි පෙනෙන්නට නැත. කජුවල ක්‍රීඩාද තිබුණි. වළ කජු ගැසීම එකකි. කජු පුහුලන් රස ගුණ ඇති පලතුරක් වුවද, කජු ගස් හිඟවූ විට පුහුලන් ගැන කවර කතාද?

අවුරුද්දට කැවුම් බදින විට කෝඳුරුවන් වෙනුවෙන් කැවුමක් එල්ලා, තබන සිරිතක් අපේ අම්මලාට තිබිණි. ඒ කැවුමට කීවේ කෝඳුරු කැවුම’ කියාය. කෝඳුරු කැවුමේ කෝඳුරුවන් වසන්නේ දැයි බැලීමට අපිද උනන්දු වීමු. දැන් කෝඳුරු කැවුම් තබන්නට කෝඳුරුවන්ද නොමැති සෙයකි. ඊටද ඇතැම් ගෙවල්වල කෝඳුරු කැවුම් තබා කැවුම් බැදෙන්නේම නැත. සියලු කැවිලි කඩයෙනි.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසන පරිදි, කෝඳුරුවන් හිඟ බවක් පෙනුණද හේතුවක් නිශ්චිතව දැක්වීම අපහසුය. කෝඳුරුවන් වැඩි වශයෙන් සිටියේ අත්තික්කා ගෙඩි ආශ්‍රිතව බැවින් අත්තික්කා ගස් හිඟ වීමද ඊට බලපාන්නට ඇති බව ගුණවර්ධන මහතාගේ අදහසයි.

අවුරුදු කාලයට කොවුල් නාදය අසන්නට නම් අපි තවමත් වාසනාවන්ත වෙමු. කොළඹ හතේ පවා මේ දිනවල කොවුල් නද අසන්නට හැකිය. ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ කොවුලන් නම් ක්‍රමයෙන් වැඩිවී ඇති බවයි. එබැවින් කොවුලන්ගේ හිඟයක් නොමැත. සිංහල අවුරුද්ද සොබාදහම හා පරිසරය සමග අතිශයින්ම බද්ධ විය. අවුරුදු ක්‍රීඩා, සිරිත් විරිත් ආදී බොහෝමයක් එය සනාථ කරයි.

අපි පුංචි කාලයේ නම් අවුරුදු එනතුරු ඇඟිලි ගනිමින් බලා සිටියේ අලුත් ඇඳුම් සහ තෑගි භෝගද ලැබෙන නිසා මෙන්ම අවුරුදු ක්‍රීඩා ද කළ හැකි නිසයි. අද වන විට අපේ දරුවන්ගේ අවුරුදු පොතපත අතර සිරවී ඇති අයුරු දකින විට අපට ඇත්තේ කනගාටුවකි. කාට නැතත් දරුවන් වෙනුවෙන්වත් සැබෑ සිංහල අලුත් අවුරුද්ද ඉතිරිවිය යුතු යැයි අපට සිතේ. දරුවන් සොබාදහමට පරිසරයට, සමීප කරන තරමට අවුරුද්දේ අසිරිය මතු දිනෙක යළිත් අපට විඳින්නට හැකිවනු ඇත.

සියල්ල වෙනස්වීම ලෝදහම නම් අවුරුද්ද වෙනස් නොවී තිබේදැයි කෙනකු අසන්නට පුළුවන. නැත. මේ වෙනස සොබාවිකත්වය විසින් ඇති කළ වෙනසක් නොවේ. මේ වෙනස ඇති කළේ අප විසිනි. එසේ නම් එය වෙනස් කළ යුත්තේද අපම නොවේද? ඒ වෙනස කළ විට යළිත් ‘එරබදු වසන්තය’ ගැන කටපුරා කියන්නට අපට හැකිවනු ඇති.

ධම්මික සෙනෙවිරත්න