පිනි පලස

අතුගාන්න ඇවිත් කෝටිපතියෙක් වූ ඡායාරූප ශිල්පියාගේ කතාව

පාර අතුගාන මිනිස්සු බෙන්ස් එකේ දාගෙන යන කොල්ලා මේ දවස්වල සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක්?

මම නිතරම ඒ වගේ දේවල් කරනවා. ගණන් කරන්න බැරි තරමට ඔය වගේ දේවල් කරලා ඇති. මේක ජනප්‍රිය වුණා එච්චරයි. මම හිතන්නේ චේතනාව තමයි වැදගත්.

කොහොමද මේ සිද්ධිය වුණේ?

මම නිදහස් චතුරස්‍රය ළඟ වාහනය දාලා තියෙනකොට පවිත්‍රතා සේවකයන් වාහනයට වටවෙලා හිටියා. ඉතින් මම ඇහුවා වටයක් යමුද කියලා.

ඉතින්?

මුලින් එයාලා හිතුවේ මම විහිළුවක් කරනවා කියලා. ඊට පස්සේ කට්ටියම එක පයින් කැමති වුණා.

වාහනයට නගිද්දි මොකද කිව්වේ?

එයාලගේ ඇගේ කුණු කියලා සෙරප්පු ගලවලා වාහනයට නගින්නද ඇහුවා. පත්තර පිටුවක් දාලා වාහනයට නගින්නද ඇහුවා. මම කිව්වා අපිත් මේ දාඩිය නාගෙන ඉන්නේ, අපේ ඇඟෙත් කුණු, මේවා යකඩ ගොඩවල්, ඒ නිසා ඒවා හිතන්නේ නැතුව නගින්න කියලා.

වාහනේ යද්දි මොකද කිව්වේ?

එයාලා උපරිම ත්‍රීවීල් එකක බස් එකක ගිහින් තිබ්බට මේ වගේ වාහනයක ගිහින් නෑ කිව්වා. වාහනේ යද්දි අත් දෙක උකුල උඩින් තියන් හිටියා මිසක් වාහනේට අතවත් තිබ්බේ නැහැ එයාලට සෙල්ෆි ගහන්න ෆෝන් තිබ්බේ නැහැ. හැබැයි එයාලා ඒ පුංචි දේ උපරිමයෙන් වින්දා කියලා මට හිතුණා.

කවුරු හරි කිව්වොත් ජනප්‍රිය වෙන්න මේ දේවල් කරන්නේ කියලා?

කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. මම දන්න කියන පිරිස අතරේ මම ජනප්‍රියයි. ඒත් ජනප්‍රිය වෙන්න මේ දේවල් කරනවා කියලා හිතලා කෙනෙක් ජනප්‍රියවෙන්න හරි හොඳ දෙයක් කරනවා නම් ඒකත් ලොකු දෙයක්නේ. ඒ විදිහට ලංකාවේ බහුතරයක් හොඳ වැඩ කළොත් ඒකම ඇතිනේ ලංකාව දිව්‍ය ලෝකයක් වෙන්න.

මේ වගේ තව මොනවද කරලා තියෙන්නේ?

අන්ධ මිනිස්සුන්ට දහස් ගණනින් ඇස් කණ්ණාඩි බෙදලා දීලා තියෙනවා. මගේ වාහනේ එළවළු දාගෙන ගිහිල්ලා ඒවා පැත්තටම බෙදනවා. පොඩි ළමයින්ට පොත්පත් බෙදනවා. මට හිතුණොත් පාරේ යද්දි ලොතරැයි විකුණන මනුස්සයෙක්ගේ ඔක්කොම ලොතරැයි ටික ගන්නවා. බත් විකුණන මිනිස්සුන්ටත් ඒ වගේ කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. මම හිතන විදිහට චේතනාව තමයි වැදගත් වෙන්නේ.

මේ වාහනය මොකක්ද?

බෙන්ස් සී200

තව වාහන තියෙනවාද?

ඔව්. ප්‍රියස් එකකුයි, ප්‍රාඩෝ එකකුයි තියෙනවා.

වෘත්තිය?

මම ඡායාරූප ශිල්පියෙක්. ෂයින් පොටෝග්‍රැපි කියන්නේ මගේ ආයතනය.

පොඩි කාලේ ඉඳන්ම ඒකද හීනය වුණේ?

නළුවෙක් වෙන්න ආසාව තිබුණා. ඒ නිසා මොඩ්ලින් කළා. දැන්වීම් කිහිපයක කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.

එතකොට මුල් රස්සාව මොඩ්ලින්ද?

නැහැ. මොඩ්ලින් කරන්නත් සල්ලි ටිකක් ඕනෙනේ. ඒ නිසා මම මුලින්ම කොළඹට ඇවිල්ලා කළේ ක්ලීනින් ජොබ් එකක්. ඒ කියන්නේ අතුගාන ජොබ් එකක්. එහෙම ඉන්න ගමන් තමයි නළුවෙක් වෙන්න හීන දැක්කේ.

එතකොට ෆොටෝග්‍රැපර් කෙනෙක් වෙන්නේ?

ටික ටික දැන්වීම් ලැබුණා. ඒත් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ කාලේ නිදහස් ඡායාරූප ශිල්පියෙක් විදිහටත් කටයුතු කළා.

ඡායාරූප ශිල්පියෙක් විදිහට ජනප්‍රිය වුණේ?

ඒකත් මුලින් කතා කළ වීඩියෝව වගේම එක පාර ජනප්‍රිය වුණා.

අර විදිහට ජීවිතයේ කට්ටක් කාලා තියෙන නිසාද මේ වගේ වැඩ කරන්නේ?

පුංචිම තැනක ඉඳලා ආපු නිසා මම හැමෝගෙම සිතුවිලි ගැන දන්නවා. මමත් එකපාර සල්ලි හම්බ කළේ නැහැ. මටත් මුකුත්ම නැති කාලේ මම සෑහෙන්න වාහනවලට කැමතියි. මම ආස වාහනයක මාව ඒ කාලේ කවුරුහරි දාගෙන ගියා නම් ඇත්තටම මට නම් ඇඬෙයි. සල්ලි කියන දේ අද තියෙයි හෙට නැතිවෙයි. මොකද සල්ලි නැති වුණාම තියෙන අපහසුතාව මම හොඳට දන්න කෙනෙක්. ඒ නිසා පුළුවන් කාලේ දෙයක් කරන්න ඕනේ. එහෙම වුණොත් ආපස්සට හැරිලා බලද්දි අපිට සතුටවත් ඉතිරිවෙලා තියෙයි.

මෑතකදී රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?

ඡායාරූප ශිල්පියෙක් විදිහට කාර්යබහුල වීමත් එක්ක ඒක මග ඇරුණා. ඒත් දැන් අවස්ථාවක් ලැබුණොත් ආයෙත් රඟපාන්න ආසාවක් තියෙනවා. මොකද මගේ ආසාව වුණේ ඒක නිසා.

විනෝදාංශත් ඇති?

ස්කේටින් කරනවා. වාහන පිස්සුව උපරිමයට තියෙනවා. වාහන පිස්සුව කොච්චරද කියනවා නම් ඩිලන්ත මාලගමුව කියන්නේ මගේ වීරයෙක්.

දැනට වාහන තුනක් තියෙනවා. වාහන එකතු කරන්නද අදහස?

එහෙමත් ආසයි. හැබැයි එක වාහනයක් තියෙන එක තමයි ලේසිම සහ සරලම කියලයි මම හිතන්නේ.

කවුරුහරි ඔය වාහන පැදලා බලන්න ඉල්ලුවොත්?

මගේ හැම වාහනයක්ම ඉල්ලන ඕනේ කෙනෙක්ට පැදලා බලන්න දෙනවා. මම හිතන්නේ මගේ වාහන අඩුවෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ මම.

ගයාශාන් විතානආරච්චි