විශේෂාංග

අගුළු ලූ ෆ්ලැට් වලට හතේ හත වැදුනාද?

​කොළඹ මහල් නිවාස තවත් සති දෙකක් ලොක්ඩවුන් නොහොත් අගුළු දමන පුවතක් වාර්තා වූයේ පසුගිය සඳුදා නොහොත් නොවැම්බර් 23 වැනිදාය. මෙම අගුළු දැමීම දීර්ඝ කිරීමට හේතු වී ඇත්තේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීමය. මෙම ලොක්ඩවුන් එකට අදාළ වී ඇත්තේ මහල් නිවාස සංකීර්ණ අටකටය. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහල් නිවාස තුනක්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහල් නිවාස සංකීර්ණ පහක් සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එක් මහල් නිවාසයක්ය.

මෙම ලොක්ඩුවන් සීමාව දීර්ඝ කළ පසුදිනම විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ පවසා සිටියේ හුදකලා කොට අති කොළඹ පළාතේ ප්‍රදේශවල අසරණව ඇති පිරිස ලක්ෂ 3 කට අධික බවය. මේ පිරිස අතරින් බහුතරය දෛනික ආදායම් ලබන පුද්ගලයන් බවද පැවසූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් කීයකට රු. 5000 දීමනාව සහ රු. 10,000 බඩු මල්ල ලබා දී ඇත්ද යන්න පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසය. එමෙන්ම රු. 5000 දීමනාව මසකට රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට රජය ක්‍රියා කරන්නේද යන්න ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

අපට පෙනී ගියේ මේ හැම මහල් නිවාසයකම පීඩනයට පත්ව සිටි පිරිසගේ ප්‍රශ්න සියල්ල එක සමාන බවය.

මේ මහල් නිවාසවලට යන විට පාර දෙපස වැඩිපුරම ගාල්කොට තිබුණේ ත්‍රිරෝද රථය, ත්‍රිරෝද රථ දෙතුන් සියයක් අතරින් Not For Hire යන ස්ටිකරය දැකගත හැකි වූයේ එක් ත්‍රීවීලරයක පමණි. ඒ කියන්නේ මේ සියලු ත්‍රිරෝද රථ මේ මහල් නිවාසවල පදිංචි නිවැසියන් බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන උපාය බවය. මේ මහල් නිවාස වටා ඇති සියලු කඩසාප්පු වසා ඇත. ඊටත් වඩා පේමන්ට්වල ඇති වඩේ කඩ, මඤ්ඤොක්කා බදින කඩ, අච්චාරු කඩ, එළවළු කඩ, පලතුරු කඩ මෙන්ම මාළු කඩද දුටු ගමන් හඳුනාගත හැකිය. ඒත් අද ඒවා සියල්ල පාළුවට ගොස් ඇත.

මේ මහල් නිවාසවල ජනතාව කොතරම් ආහාර හිඟයකින් පෙළෙනවාදැයි අප මුලින්ම තේරුම්ගත්තේ පසුගිය බදාදා වනාතමුල්ලේදීය. උදේ වරුවේ වනාතමුල්ලට හැරෙන පාරත්, බේස්ලයින් පාරත් අතර ඇති වළේ ග්‍රවුන්ඩ් එක නොහොත් දුම්රිය ක්‍රීඩාංගණයේ වියළි ආහාර සහිත බඩුමලු දීම ආරම්භ වූයේ නගරාධිපතිනි රෝසි නෝනා මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මේ බඩුමල්ලට හාල් කිලෝ 10 ක්, හාල්මැස්සන්, පරිප්පු, තේකොළ, සීනි හා වටානා පරිප්පු ද ඇතුළත් විය. වටිනාකම රු. 2500 පමණ වනු ඇත. මෙම බඩු ගැනීමට තිබූ පෝලිම දුටුවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. මීටරේ සීමාව තියා සෙන්ටිමීටරේ සීමාව වත් එහි තිබුණේ නැත. මේ නිසාම පී.එච්.අයි.වරයා භාණ්ඩ බෙදීම තුන්වරක් අත්හිටුවන ලදී. පෝලිමේ දිග කිලෝ මීටර දෙකකටත් වැඩිය. අප උදෑසන යන විට දකින්නට තිබූ බඩු කන්ටේනර් ළඟ හවස 5.30 ට පමණ යන විට දැකගන්නට ලැබුණේ කලහකාරී තත්ත්වයකි. එතැනින් බැස පොඩ්ඩක් විපරම් කර බැලූ විට දැනගන්නට ලැබුණේ දවල් 1 පමණ වන විට ගෙනා බඩු සියල්ල හමාර වී ඇති බවය. එතැන ඉතා අපහසුවෙන් සිටි ගෘහණියක් ළඟට විත් අපට විස්තර කිව්වේ මෙසේ ය.

‘‘කලින් දවසේ ආධාර බෙදන්න මහල් නිවාස ගාවට ඇවිල්ලා ආරවුලක් ඇතිවෙලා. කන්ටේනර් ටික හරවගෙන ගියා. අද උදේ 5 ඉඳන් පෝලිමේ ඉන්නේ කන්නවත් නැතිව. දැන් හවස හය හමාරයි. ගෙදර ළමයින් තනිකරලා ආවේ. මේ බඩු ටික අරන් ගිහින් උයලා දෙන්න කියලා. මේ අපිට දීපු තුණ්ඩුව පිටිපස්සේ පළාතේ දේශපාලකයෝ 3 දෙනෙක්ගේ සීල් තියෙනවා. පැය 4-5 පෝලිමේ හිටපු සමහරු සීල් එකක් නැහැ කියලා හරවලා හැරියා. දැන් ගෙනාපු බඩු ටික ඉවරවෙලත් පැය 5 ක් විතර වෙනවා. බඩු ගේන්නේ නෑ කියලා හරියට කියනවා නම් අපිට සාගතේ ගෙදර යන්න පුළුවන්. කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරු එකසිය දහනව දෙනාගෙන් අපට දැකගත හැකි වූයේ එක් මන්ත්‍රීවරයකු පමණි. ඒත් පාලක යූඑන්පීයේ නිසා මේ සිදුවීමේ ඇත්ත නැත්ත සොයා ගන්නට අපි එතැන සිටි පොහොට්ටුවේ වනාතමුල්ල සංවිධායකවරයාට කිට්ටු කළෙමු. සංවිධායකතුමාගේ අයියා කොළඹ නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයෙකි. පොදුජන පෙරමුණේ වනාතමුල්ල සංවිධායක ජගත් ලියනගේ මේ සිදුවීම පැහැදිලි කළේ මෙසේ ය.

‘‘මේ බඩු කලින් ඉවර වුණේ ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරු තමන්ගේ පාක්ෂිකයන්ට මුලින්ම වියළි ආහාර ටික බෙදාගන්න හින්දා. දැන් ඉන්නෙ අන්ත අසරණ පිරිස්. මං යෝජනා කළේ මහල් නිවාස ළඟටම ගිහිල්ලා පිළිවෙළින් තට්ටුවෙන් තට්ටුව ගෙයින් ගෙය පදිංචිකරුවන් ගෙනැල්ලා මේ බඩුමල්ල අතටම දෙන්න. එහෙම කළා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. දැන් ඉතින් වනාතමුල්ලේ මේ වියළි ආහාර නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට ගන්න පියවර මොකද්ද කියලා මම කොළඹ නගර සභාවෙන් අහනවා.’’

මේ අතර මේ කොළඹ නගර සීමාවේ ලොක්ඩවුන් කොට ඇති මහල් නිවාසවල නිවැසියන් සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාව වැදගත් තීරණයක් ගෙන තිබුණි. ඒ කොළඹ නගරයේ කොවිඩ් -19 නිසා අසරණව සිටින පවුල් වෙනුවෙන් රුපියල් 2500 ක සහන මල්ලක් ලබා දීමටය. මෙම බඩුමල්ල ලබාදීමේදී ප්‍රමුඛත්වය හිමිවන්නේ මේ ලොක්ඩවුන් කළ මහල් නිවාසවල පදිංචිකරුවන්ටය. එහෙත් මෙම සහන මල්ල ලබා දීමේදී නාම ලේඛනය සකස් කළ යුත්තේ කොළඹ නගර සභාවේ සිටින මන්ත්‍රීවරු එකසිය දහනවදෙනා අතරින් මහල් නිවාස අයිති කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයාය. ඒ කියන්නේ ලොක්ඩවුන් කළ මහල් නිවාසයක සිටින අසරණ පවුලක කුසගින්නට වඩා වැදගත් වන්නේ නාගරික මන්ත්‍රීතුමාට ඇති දේශපාලනික පාක්ෂිකභාවයයි.

අප ගිය ලොක්ඩවුන් කළ මහල් නිවාසවල බොහෝ තැන්වල දක්නට ලැබුණේ අක්‍රමවත් ආකාරයේ භාණ්ඩ බෙදා හැරීමකි. ඒත් සිරිසඳ සෙවණ මහල් නිවාසය අසලදී අප දුටුවේ ඉතාමත් සංවිධාන්තමකව කෙරෙන භාණ්ඩ බෙදා හැරීමකි. එම මහල් නිවාස කිහිපය පසුකොට නිවාස සංකීර්ණය අග සිටින ගැහැනුන් කිහිප දෙනකු අප දැක කතාවට එක් වූයේ අනාරාධිතවය.

‘‘මම කෑම්ප් එකේ ක්ලීනින් වැඩ. මහත්තයා පිටකොටුවේ නාට්ටාමි. දැන් දෙන්නටම වැඩ නැහැ. කිසිම ආදායමක් නැහැ. පන්දාහ හම්බුණෙත් නැහැ. එළියට යන්නත් බැහැ. දවසක් හම්බ වෙච්චි කීර මිටියක් තම්බගෙන කෑවා.’’

අප ළඟට ටිකෙන් ටික ගැහැනියන් ළඟා වුණේ තමන් මෙතෙක් කල් හිත තුළ තෙරපි තෙරපී තිබූ අදහස් අහන්නට කිසිවකු නොපැමිණි නිසා විය යුතුය.

‘‘පොඩි ළමයා කිරි ඉල්ලලා අඬනකොට හරි දුකයි. පොඩි දරුවගේ කනේ කරාබු දෙක ගලවන් හොරෙන් බොරැල්ලට ගිහින් උකස් තියලා බඩු ටිකක් ගෙනාවා. අපි ඇත්ත කියන්න බය නැහැ මහත්තයෝ. මම බයිපාස් කරන්න ඉන්නේ. අද බඩු ටිකක් හම්බෙයි කියලා ​බෙහෙත් ගන්නවත් යන්න විදියක් නැහැ’’යි කියමින් එක් කාන්තාවක් තම ක්ලිනික් කාඩ්පත අපට පෙන්වන්නට විය. අවශ්‍යතාවයේ පිළිවෙළට ආහාර ගෝනි අසුරමින් සිටි මහල් නිවාස අසලට ගියේ ඒ ගැන තොරතුරු විමසීමටය. එතැන භාණ්ඩ බෙදා හැරීමට සිටි උදවිය ඇඳගෙන සිටි නිල්පාට ඇඳුමේ පොලිස් යැයි මුද්‍රණය කොට තිබුණි. අප එයින් එක් තරුණියකට කතා කළ විට ඇය ඇගේ නම රසිකා සංජීවනී බවත්, වෘත්තියෙන් මොන්ටිසෝරි විදුහල්පතිවරියක් බවත් අපට පවසන ලදී.

‘‘ඇයි ඕගොල්ලෝ පොලිසියෙන් නෙවෙයිද?’’

‘‘නෑ… නෑ… අපි පොලිසියෙන් නෙමෙයි. මෙතැන මහල් නිවාසේ එක තට්ටුවකින් තුන්දෙනා ගානේ තේරුවා. ඔක්කෝම අපි තමයි ඒ තට්ටුවේ ගෙවල්වලටම කෑම බීම බේත්හේත් ගිහින් දෙන්නේ. මේ පැත්තේ ඡන්ද ඉල්ලන්න ආව මැති ඇමැතිවරු එක්කෙනක්වත් අපිව බලන්න ආවේ නැහැ. ග්‍රාම සේවක හොයාගන්නත් නැහැ. පොලිසිය නැතිනම් අපි ඔක්කෝම මහල් නිවාසවලම මැරිලා. පී.එච්.අයි. මහත්තය නම් නිතර එනවා. අප ඉන්නා විට ප්‍රකට දේශපාලකයකුගේ යැයි කියන බෑග්මලු 20-30 ගෙන පුද්ගලයකු පැමිණියේය. ඔවුන් ආවේ නාම ලේඛනයක්ද රැගෙනය. ඔවුන් මේ බඩු මලු දෙන්නට ගියේ එම නාම ලේඛනයේ ඇතුළත් පුද්ගලයන්ටය.

‘‘බඩගින්නට හැමෝටම පොදු දෙයක්. දේශපාලකයන්, තමන්ගේ හෙංචයියලට විතරක් දෙන්න බෑ. ගේනවා නම් 716 ක් ගේන්න නැතිනම් බෑ. ඔය ටික ඔය කවුන්ටරයෙන් තියල යන්න. මෙතැන දේශපාලනය කරන්න එන්න එපා.’’ යැයි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු තරවටු කරන ලදී. මේ ලොක්ඩවුන් කළ මහල් නිවාස නිරීක්ෂණයේදී පෙනී යන්නේ බලයේ සිටින කිසිදු දේශපාලනඥයකුගේ සරණක් මොවුනට නැති බවය. මෙතැන ලොක්ඩවුන් කළ දින සිට ආරක්ෂාව භාරව අඛණ්ඩව සිටි පොලිස් නිලධාරින් වන්නේ නාඋරුත්ත හා ලක්මාල් යන දෙදෙනාය. අප පත්තරෙන් ආ බව අසා කිහිප දෙනෙක් අප වටකර ගන්නට විය.

’‘ආයි එනවා නම් පත්තර 716 ක් ගේන්න. අපේ විස්තර බලන්න. සති ගානකින් පත්තරයක් බැලුවේ නෑ! කෑමක් බීමක් නැතත් පත්තරයක්වත් කියව කියව ඉන්න තිබුණා. දැන් ටීවී බලලම එපා වෙලා.’’

අප මෙසේ සැරිසරණ විට අප හමුවට ආවේ ප්‍රේමරත්න නම් පුද්ගලයෙකි. ඔහු අනාරාධිතවම දුක්ගැනවිල්ල අපට පවසන්නට විය.

‘‘ඉඳිආප්ප විකුණලා ජීවත් වුණේ. දැන් පිටිත් නෑ. හැදුවත් කවුරුත් ගන්නෙ නෑ. උදේ ඉඳන් ගෙදර ටීවී බල බල ඉන්නවා.’’

ඔහු ගිය පසු පොලිස් කබාය දාගත් යුවතියක් කීවේ, ‘‘ඕවා බොරු. ආණ්ඩුව මිනිසුන්ට හොඳට සලකනවා’’ කියාය.

අපි කලින් කී පොලිස් නමින් කබායක් ඇඳ සිටි පුරුෂයන්ට හා කාන්තාවන්ට රජයෙන් රු. 1100 ක දිනක වැටුපක් ගෙවන බව අප දැනගත්තේ ඒ තැන සිටි තිඹිරිගස්යාය ප්‍රාදේශිය මහ ලේකම්වරියගෙනි.

එහි සිටි එක් පොලිස් නිලධාරියකුගෙන් විමසා සිටියේ මෙතරම් කලක් ලොක්ඩවුන් කර සිටි විට ජනතාවගේ හැසිරීම කෙසේද කියාය.

‘‘කාරණයේ බරපතළකම තේරුම් ගත්ත අය එක තැන ඉඳලා දිනුම ලැබුව, බරපතළකම නොදැන රස්තියාදු ගහපු සෞඛ්‍ය රීති අනුගමනය නොකරපු අය පරාද වුණා, ලෙඩ වුණා. සමහරු මේ තට්ටු දහය දොළහ උඩ ඉඳලා ඩ්‍රෙනේජ් බට දිගේ බහිනවා. කුඩු සික් එකට. අපි එළවනවා. පොලිසිය හැම තිස්සේම නීතියම බලලා හරියන්නේ නෑ. මනුස්සකමෙන් බලන්න ඕනෑ.’’

අපට ප්‍රශ්නයක් වූයේ මෙතරම් පොලිස් ආරක්ෂාවක් තිබුණද ‘මත්කුඩු’ මේ මහල් නිවාසවලට යන්නේ කොහොමද?

අන්තිමට අපට තේරුම් ගියේ තක්කාලිගෙඩි, කෙහෙල්ගෙඩි වැනි දේ ඇතුළත මේ කුඩු ප්‍රවාහනය කරන බවය.

‘‘ඕවා අල්ලන්න ගිහිල්ලා කුඩ්ඩෙක් 10 වැනි තට්ටුවෙන් පැනලා මැරුණොත් අනිත් කුඩ්ඩොත් බිමට පැනලා මැරෙයි. ඒ හින්දා අපි දැක්කේ නෑ වගේ ඉන්නවා. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දුන් භාණ්ඩ සහිත ගෝනියට රබර් ඇහැ දමා බැලුවෙමි. ප්‍රාදේශීය ලේකම්වරිය කිව්වේ එහි හාල් කිලෝ 15 ක් ඇති බවය. ඊට අමතරව එහි පරිප්පු, සෝයාමීට්, සැමන් ලොකු, හාල්මැස්සෝ, ලොකුලූනු, පොල්කිරි පැකට්, කිරි, පාන්පිටි, ලුණු කුඩු, සුදුලූනු, තේකොළ, සීනි, මිරිස් කුඩු, තුනපහ, මිරිස්, අර්තාපල්, නූඩ්ල්ස්, සබන් සහ ක්‍රීම් කැකර් ද තිබුණි.
බඩු මල්ලේ වටිනාකම රු. 5000 කි.

මෙසේ ගෝනිය දෙස බලාගෙන බඩු නිරීක්ෂණය කරන විට රු. 5000 කොල ටිකක් අතේ ඇති පුද්ගලයකු පැමිණ කැල්කියුලේටරයක් තියෙනවාද අසන්නට විය.

‘‘මහත්තයා රු. 35,000 කට සියයට 15 ගාණේ මාස 3 කට පොලිය කීයක් වෙනවද?’’

‘‘ඇයි සල්ලි පොලියට අරන්ද, මේ කොරේනා අස්සේ?’’

‘‘නෑ… නෑ.. රත්තරන් බඩු මං ගාව උකස් තියපුවල පොලිය එකතු කරනවා.’’

අපේ කතාබහ අසලට පොලිසිය වහා පැමිණි විට කොරෝනා පොලී මුදලාලි ලිස්සා ගියේ ඔරෝනා මූණක් දාගෙනය. අප ඉන්නා විට ආවේ එළවළු වෙළෙන්දෙකි. ඔහුගේ ෂොපින් උරයේ ඉඟුරු, අමුමිරිස්, කරපිංච සමග එළවළු 6 ක් පමණ විය. එය අලෙවි කිරීමට එළවළු වෙළෙන්දා අවසර පැතීය. මේ බෑග් එක රු. 500 ගානෙ වැඩියි. මිනිස්සු යන එන මං නැතුව ඉන්නේ 400ට දෙන්න.’’

පොලිසියට එළවළු වෙළෙන්දා අවනත විය. එළවළු ලොරිය බලාගෙන සිටියදී අහවර විය. අවසන් වරට අප මේ මහල් නිවාස බලන්නට යන විට ජංගම ඒ.ටී.එම්. යන්ත්‍රයක් බොහෝ මහල් නිවාස අසල නවත්වා තිබුණේ නිවැසියන්ගේ පඩි ලබා ගැනීමටය. එදින වෛද්‍ය සායනයක්ද පැවතුණි. වෛද්‍යවරුන් හා හෙදියන් මුළුමනින්ම පොලිතින් වැනි ඇඳුමකින් සැරසී සිටියේ වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණියාක් මෙනි.
මේ සෑම මහල් නිවාසයකම පාහේ කොවිඩ් රෝගීන් අතර පෑලියගොඩ මාළු මාකට්ටුවේ අලෙවිකරුවන් සිටින බව අපට තහවුරු වූ කරුණකි. මේ බොහෝ මහල් නිවාසවල ලබන ඉරිදා විඩාව නිවා ගැනීමට සංගීත සාදයක් පවත්වන්නට සංවිධානය කොට ඇති බව අපට දැනගන්නට ලැබුණි. අප මේ මහල් නිවාස අසල තොරතුරු සොයද්දී විටින් විට තට්ටු භාර පොලිස් කබායක් ඇඳගත් උදවිය අහවල් තට්ටුවේ කොවිඩ් මෙච්චර ප්‍රමාණයක් මේ දැන් පොසිටිව් වුණා’’ යැයි කිව්වේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නාක් මෙන්ය.

අපට අවසන පැහැදිලිවම පෙනී ගියේ මේ ලොක්ඩවුන් කළ මහල් නිවාසවල ජනතාව දේශපාලකයන්ගේත් දේශ සේවකයන්ගේත් වෙනස ප්‍රායෝගිකව වටහාගෙන ඇති බවය.

වජිර ලියනගේ